නිර්මාණයක් කළාම අපට තිබෙන්නේ සතුට පමණයි | සිළුමිණ

නිර්මාණයක් කළාම අපට තිබෙන්නේ සතුට පමණයි

නව සංකල්ප , නව සොයා ගැනීම් සමාජයට දායාද කිරීම වගේම සමාජය එකී සංකල්ප වලට අනුගත කිරීම ඉතාමත් අසීරු කර්තව්‍යයක්. මෙතෙක් ලංකාවේ පැවති ගායක ගායිකාවන්ගේ ප්‍රසංග කලාව වෙනස් මානයකට ගෙන යමින් ගීත රචකයන් දෙදෙනෙක් පවත්වන සොඳුරු සුයාමයක වගතුග දැනගන්නට රසික ඩී. දුමින්ද හා සුගත් සෝමවීර සමඟ කතාබහ කරන්න අප හිතුවා.

 

ඔබ දෙපළගේ අලුත්ම ප්‍රසංගය ගැන මුලින්ම දැනගනිමු.

සුගත් සෝමවීර හා මම ලියූ ගීතවලින් තෝරා ගත් ගීත විසි එකකින් යුත් ගීත ප්‍රසංගයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහි ප්‍රවීණ ගායික ගායිකාවන් වගේම නවක ආධුනික ගායක ගායිකාවන් දාහත් දෙනෙකු ගීත ගායනා කිරීමට නියමිතයි. එය මැයි මාසයේ 13 වැනි දා හවස දෙකට ශ්‍රී ලංකා පදනම් ආයතනික ශ්‍රවණාගාරයේ සංකර්ශා නමින් පැවැත්වෙනවා. මෙය සිදු කරන්නේ නොමිලේ පවත්වන ප්‍රසංගයක් ලෙසයි. මෙහි විශේෂිතම ලක්ෂණය මෙතෙක් සම්ප්‍රදායක් ලෙස පැවතුණු ගායක ගායිකාවන්ගේ ප්‍රසංග හා පද රචකයන් තනිව කරන ප්‍රසංග වෙනස් කරමින් ගීත රචකයන් දෙදෙනෙක් ප්‍රසංගයක් පවත්වන මුල් ම අවස්ථාව වීමයි. මීට පෙර සුනිල් සරත් පෙරේරා හා අජන්තා රණසිංහ යන දෙපළ එක් වී ගීත පොතක් එළි දක්වා තිබෙන නමුත් ගීත රචකයන් දෙදෙනෙක් එක් වී ප්‍රසංගයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙනවා.

 

සංකර්ශා ලෙස මෙම ප්‍රසංගය නම් කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

සංකර්ශා කියන්නේ ආකර්ෂණය වැඩියි යන අර්ථයයි. ඒ නිසා ඒ නම මෙම ප්‍රසංගයට වඩාත් උචිතයි කියා අප හිතුවා.

 

ප්‍රසංගයට සහභාගි වන ගායික ගායිකාවන් නම් කළොත්..

මෙම ප්‍රසංගයට ප්‍රවීණ ගායික ගායිකාවන් හා ආධුනික, නවක ගායක ගායිකාවන් ගායනයෙන් දායකත්වය සපයනවා. ඒ අතරින් එඩ්වඩ් ජයකොඩි, ශශිකා නිසංසලා, චන්දන ලියනආරච්චි, ක්‍රිෂාන්ත එරන්දක, දයාන් විතාරණ, හර්ෂණ දිසානායක, ශානිකා සුමනසේකර, ගයාන් අරෝශ, මියුරු සෝමරත්න, තිළිණ සුදේශ් වන්නිනායක, ලක්ෂණා ලක්මිනි, දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර, ඩේසික කමලාංජන, යශෝදා සම්මාණී, සයුරි ප්‍රාර්ථනා, ඉසංකා අධිකාරි, රුවිනි වාසනා යන අය ඊට ඇතුළත්.

 

මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමට ඔබ දෙපළට සිතිවිල්ලක් පහළ වුණේ ඇයි?

වසර ගණනාවක් තුළ අප දෙදෙනා ගීත ගණනාවක් ලියා තිබෙනවා. ඒ නිසා සුගත් සෝමවීරගේ යෝජනාවක් මත ප්‍රසංගයක් පැවත්වීමට අප තීරණය කළා. ගීතය කියන්නේ පද රචකයා, සංගීතවේදියා හා ගායකයා යන තුන්දෙනාගෙම එකතුවක්. ගීතයක මුල් අඩිතාලම දමන්නෙ ගීත රචකයයි. නමුත් වර්තමානය වන විට ගීතයක් සමාජ ගත වුණාම මිනිසුන්ගේ සිතේ පැලපදියම් වෙන්නේ ගායන ශිල්පියාගේ නිර්මාණයක් ලෙස පමණයි. එසේ සමාජගත වන ස්වභාවය මත පද රචකයා කැපී පෙනෙන්නේ ඉතාමත් අවම වයි. ඇතැම්විට ඔවුන් ගැන සඳහන් නොකරන තරම්. ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ ගීත ලියූ ගී පද රචකයන් ජීවිතයෙන් සමුගත්තා. ඔවුන් ජීවත්ව සිටි කාලයේ දී වගේම මිය ගිය විටත් ඔවුන්ට මූල්‍යමය වගේම සමාජ වටිනාකමක් ලැබුණේ නැහැ. ඒ නිසා ගී පද රචකයන් ලෙස අපගේ භූමිකාවට වටිනාකමක් එක් කිරීමටත් අප එයින් බලාපොරොත්තු වෙනවා. තනි ගමනක් යන්නේ නැතුව අපට එකතු වෙලා හෝ ගමනක් යා හැකි බව පෙන්වීමත් මෙහි අරමුණක්. ඒ වගේම මේ ප්‍රසංගයේ මුලිකම අරමුණ දැනට සමාජගතවී තිබෙන නිර්මාණවල අපේ අයිතිය ලකුණු කිරීමයි.

 

ගී පද රචකයන්ට සමාජ මේ වටිනාකමක් නොලැබීමට හේතුව මොකද්ද?

එහි වැඩි වගකීම් පැහැර හැරීමක් කර තිබෙන්නේ මාධ්‍යයි. අතීතයේ රූපවාහිනියේ වගේම ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය කරන විට ගී පද රචකයා සිහිපත් කළා. නමුත් වර්තමානයේ එවැන්නක් සිදු වන්නේ නැහැ. ඒවගේම වර්තමාන නිවේදක නිවේදිකාවන්ට පවා ඒ පිළිබඳ කිසිදු දැනීමක් නැහැ. ඒ නිසා ගී පද රචකයන් ගේ වටිනාකම ගිලිහීමට ප්‍රධාන දායකත්වයක් සපයන්නේ මාධ්‍යයි. ගී පද රචකයා නිර්මාණයක් කරන්නේ වාණිජ පරමාර්ථයකින් තොරවයි. අපගේ කොටස අප කවදාවත් ඉල්ලලා නැහැ. අප යම් නිර්මාණයක් කළාම අපට තිබෙන්නේ සතුට පමණයි. මේ වන විට ඒ සතුටත් අපට හිමි නැහැ.

 

ගී පද රචකයන්ගේ ගීත ප්‍රසංග කිරීමේ මුල්ම වෙඩි මුරයත් සමඟ මෙය රැල්ලක් බවට පත් වෙයිද?

අපෙන් පසුව තවත් පසු පරම්පරාවක සහෝදර පිරිසක් ප්‍රසංගයක් පවත්වන බවට ආරංචියක් ලැබුණා. ඇත්තටම එයින් අපගෙ එක් පරමාර්ථයක් සාක්ෂාත් වූවා යන හැඟීමක් අපට දැනෙනවා

 

නොමිලේ ප්‍රසංගයක් පැවැත්වීමට හිතුවේ ඇයි?

මෙම ප්‍රසංගය ආරම්භ කරන්නේ හවස දෙකට. එය හවස පහ දක්වා පැවැත්වෙනවා. එවැනි කාල පරාසයක මෙම ප්‍රසංගය පවත්වන්නේ දුර බැහැර සිට පැමිණෙන කෙනෙකුට වුවත් එය රස විඳ නැවත ගම්බිම් බලා යෑමට පහසු නිසයි. ටිකට්පත් වලින් මූල්‍යමය වටිනාකමක් අප ලැබුවොත් අපගේ ගීත නිර්මාණ තුළින් හදවතට කතා කරන සමාජ පන්තිය අපෙන් ගිලිහෙන පුළුවන්. අප නිර්මාණ කරන්නේ ජනප්‍රිය සංස්කෘතියට නෙමෙයි. අප නිර්මාණ කර තිබෙන්නේ ආර්ථික හා සමාජයීය හැලහැප්පීම් සමඟ නිතර ඝට්ටන වන සමාජ පන්තියටයි. එසේ ජීවන අරගලයත් සමඟ පොරබදන මිනිස්සුන්ට ටිකට් එකක් රැගෙන ප්‍රසංගයක් නැරඹීමට අවකාශ නැහැ. ඒ නිසා මෙම ප්‍රසංගය නොමිලයේ පවත්වන්න අපි හිතුවා. මේ සඳහා වාණිජමය ආයතනවලින් මූල්‍යාධාර නොලැබුණත් විදේශගත වී සිටින ගී පද රචකයන් ගෙන් ලැබුණ මූල්‍ය ආධාර හා සහයෝගය නිසා එය සාර්ථකව කිරීමට අපට අවකාශ ලැබුණා.

ඡායාරූප: දයාන් විතාරණ

Comments