එයා සිදත් වෙත්තිමුණිගේ පුතා... | සිළුමිණ

එයා සිදත් වෙත්තිමුණිගේ පුතා...

ප්‍රසන්න විතානගේ ගේ ගාඩි සිනමා සිත්තමේ ප්‍රබලම භූමිකාව වූ ටිකිරිට පණ පොවමින් සිය ප්‍රථම සිනමා අත්දැකීම ලැබූ ඩිනාරා පුංචිහේවා දෙවැනි සිනමා අත්දැකීම ලෙසින් පසුගියදා තිරගත වූ ආරියරත්න ඇතුගලයන්ගේ සහෝ හි ප්‍රධාන චරිතය රඟන්නීය. විදෙස් සම්මාන උලෙළ රැසක් නියෝජනය කරමින් සම්මානිත වූ මෙම සිනමා පට දෙකෙහි උණුසුම් ප්‍රතිචාර විඳිමින් සිටින ඇය මෙවර රසඳුන කතාබහට එක් වුවාය.

ඩිනාරා කියන්නේ දැන් ගොඩක් ජනප්‍රිය, කාර්යබහුල චරිතයක්. කොහොමද මේ දවස්වල ජීවිතේ?

මම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. සහෝ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණු නිසා එහි ප්‍රචාරක වැඩවලටත් සම්බන්ධ වුණා. ඒ වගේම ගාඩි චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වෙනවා. පසුගිය 29 ගාඩි චිත්‍රපටය දින 100 සම්පූර්ණ කළා. ඒක ලොකු ජයග්‍රහණයක්.

ඔබ විවාහකයි. වගකිව යුතු කාර්යබහුල රැකියාවක නියැළෙන ඔබේ සැමියා ගැනත් කතා කරමු නේද?

ඔහු සංජය වෙත්තිමුණි. වෘත්තියෙන් ගුවන් කපිතාන් කෙනෙක්. අපි දෙන්නට අපි දෙන්නගෙ රැකියා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ ගුවන් කපිතාන් කෙනෙක් කිව්වම ගොඩක් කාර්යබහුලයි කියලා. නැහැ, ඒක උදේ අටේ ඉඳන් හවස හතර දක්වා කරන රස්සාවක් වගේ නොවෙයි. සංජය ප්ලයිට් එකක දවස් දෙකක් ගියාම ඊළඟ දවස් 4 සම්පූර්ණයෙන්ම ගෙදර. ඒක ගොඩක් අය දන්නෙ නෑ. අනිත් රැකියා කරන අයට වඩා වැඩි කාලයක් අපි දෙන්නට එකට ඉන්න කාලය ලැබිලා තියෙනවා.

 

ඔබ දෙදෙනාගේ ආදරය ඇරඹෙන්නේ කොහොමද? ආදරවන්තයන් වෙන්නෙ කොහොමද?

අපි දෙන්න ඉස්සෙල්ලම හමු වෙන්නේ යාළුවෙක්ගෙ වෙඩින් එකකදි. එයාම ඇවිත් මාත් එක්ක කතා කළා. එදා අපි කතාබහ කරල වෙන්වුණාට ඒ සතියෙම එයා මැසේජ් එකක් එව්වා. ඊට පස්සේ අපි හමුවෙලා, කතාබහ කරලා අපි අපිව තේරුම් අරගෙන තමයි ආදරය කරන්න පටන් ගත්තේ.

 

ඔබ ආදරේ කරන්නේ ලොවක් දන්න ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුතෙක්ට කියලා දැන ගත්තාම මොකද හිතුණේ?

ඇත්තම කිව්වොත් මං ක්‍රිකට් ක්‍රීඩාව ගැන එතරම් අවබෝධයක් තිබුණු කෙනෙක් නොවෙයි. සිදත් වෙත්තිමුණි කියන නම අහල තිබුණට ඒ ගැන වැඩි දැනීමක් මට තිබුණෙ නෑ. ඒ නිසා ඒක මම සාමාන්‍ය විදිහට තමයි සැලකුවේ.

සංජයගෙ තාත්තා දෙන්නගෙ සම්බන්ධය දැනගත්තම මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

දැනගත්ත කියලා සංජයගෙ තාත්තගෙ කිසිම වෙනසක් තිබුණෙ නැහැ. සංජයගෙ අම්මා, තාත්තා කියන්නේ දරුවන්ගේ හැඟීම්, ආසාවන් ගැන හොඳ අවබෝධයක් තියෙන ඔවුන්ගේ සතුටට ඉඩ දෙන දෙන්නෙක්. මං ක්‍රිස්තියානි. ඒ වගේම සංජයගෙ අම්මා ක්‍රිස්තියානි. තාත්තා බෞද්ධ. එයාල විශ්වාස කරපු දෙයක් තමයි පුද්ගලයකුට හොඳ හදවතක් තියෙනවා නම් ජාති, ආගම් භේද අදාළ නෑ කියන එක. ඒ නිසා සංජයගෙ තාත්තාගෙන් අපට කිසිම බාධාවක් වුණේ නැහැ. ඇත්තම කියනව නම් ඒ පවුල කිසිම ලොකුකමක් නැති මහ පොළොවේ පය ගහල ඉන්න නිහතමානී පවුලක්.

 

සංජය දැනගෙන හිටියද යාළුවෙද්දි ඔබ රංගන ශිල්පිනියක් කියලා.

ඔව්. ඒත් ඒ වෙද්දි මගේ කිසිම නිර්මාණයක් එළියට ඇවිත් තිබුණේ නැහැ. ගාඩි චිත්‍රපටය කරලා තිබුණට ඒක ප්‍රදර්ශනය වුණේ මේ ළඟදි. ගාඩි ඉවර වුණාටත් පස්සෙ ඒ කියන්නේ දැනට අවුරුදු තුනකට කලින් තමයි අපි විවාහ වුණේ.

 

ඔහුගෙන් තහනමක් නැද්ද ඔබ රඟපානවට?

කිසිසේත්ම නැහැ. එයා හරි කැමැතියි මම රඟපානවට. අපි යාළුවෙලා ඉන්න කාලෙමයි ගාඩි චිත්‍රපටය ෂූට් කළේ. එයා ෂූටින් බලන්න ආවෙ නැතත් නිතරම වීඩියෝ කෝල්වලින් ෂූටින් දැක්කා. සහෝ කරද්දි නම් එයා ෂූටින් බලන්නත් ආවා. එයාත් පුදුම වුණා මේක ලේසිපාසු වැඩක් නොවෙයි කියලා. එයා තේරුම් ගත්තා මගේ ක්ෂේත්‍රය ගැන.

ඔබේ රංගනය ගැන ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඉස්සර එයා සිංහල චිත්‍රපට බලපු කෙනෙක් නෙවෙයි. දැන් නම් බලනවා. මාත් එක්ක සිනමා උලෙළ කිහිපයකටත් ආවා. ගාඩි චිත්‍රපටයේ ටිකිරිගෙ චරිතයට තමයි එයා වැඩියෙන්ම කැමැති. චිත්‍රපටය ගැන ගොඩක් අය හොඳ ප්‍රතිචාර දක්වන නිසා එයාටත් සතුටුයි.

 

සංජය කියන්නේ ක්‍රිකට් පවුලකින් එන කෙනෙක් නිසා එයාටත් ක්‍රිකට් හැකියාව ඇති. ඔහුත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්නෙක් ද?

එයත් ක්‍රිකට්වලට සම්බන්ධයි. ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් මැච් බලනවා. එයාර් ලයින් එකෙත් එයා සෙල්ලම් කරනවා. ක්‍රිකට් පවුලක් නිසා පුංචි කාලෙ ඉඳන්ම එයාටත් ඒ පිහිටීම තියෙනවා.

 

එතකොට සංජයගෙ මවුපියන් කැමති වුණා ද තමන්ගේ ලේළි රංගන ශිල්පිනියක් විදිහට බාර ගන්න?

සංජයට වගේම එයාගෙ පවුලෙ අයටත් මේක ටිකක් වෙනස් ක්ෂේත්‍රයක්. ඒත් එයාල ගොඩක් සහයෝගයෙන් තේරුම් අරන් වැඩ කරන පවුලක්. හැම වෙලේම දරුවන් ගැන හොඳ අවබෝධයක් තියෙන, ඔවුන්ගේ හැඟීම් ආසාවන්වලට ඉඩදෙන නිහතමානී පවුලක්. ඒ නිසා කිසිම බාධාවක්, ගැටලුවක් වුණේ නෑ. මං ලංකාවෙ කෙනෙක් වුණාට මාත් ක්‍රිකට් ගැන වැඩිය දැනන් හිටියෙ නෑ. එයාලගෙන් මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මගෙනුත් එයාලට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මාත් දැන් ටික ටික එයාලගෙන් ක්‍රිකට් ගැන ඉගෙන ගන්නවා. එයාලත් මං නිසා මේ ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වනවා.

 

සංජයගෙ මවුපියන් ඩිනාරා රඟපෑ චිත්‍රපට බලන්න එනවද?

සංජයගේ පවුලේ අය කලාවට ගොඩක් කැමැතියි. මං එන්න කලින් එයාලට එහෙම සම්බන්ධයක් තිබුණෙ නැහැ. දැන් එයාලා කලාවත් එක්කත් බැඳීමක් තියෙනවා. අපිත් එක්ක ෆිල්ම් බලන්නත් යනවා.

 

සංජය කියන්නේ ජනප්‍රිය පවුලක කෙනෙක් නිසා ඔබේ පවුලෙ අය එක පාරටම කැමැත්ත දෙන්න බය වුණේ නැද්ද?

ඇත්තටම නැහැ. මගෙ පවුලේ අය හරිම කැමැතියි සංජයට. සංජය කියන්නේ හරිම කරුණාවන්ත කෙනෙක්. එයාලට හරිම සතුටුයි සංජය වගේ කෙනෙක් අපේ පවුලට එකතු වුණු එක ගැන.

ඔබ තේරුම් ගත්ත විදිහට සංජය කියන්නේ මොන වගේ කෙනෙක්ද?

සංජය කියන්නේ ගොඩක් ආදරණීය, හරිම කරුණාවන්ත කෙනෙක්. හොඳ හදවතක් තියෙන තමන්ගේ පාඩුවේ, මහ පොළොවේ පය ගහල ඉන්න කෙනෙක්. අපි හැම තිස්සෙම විනෝදෙන් ඉන්නෙ. එයා එයාගේ පවුල නිසාවත් මං නිසාවත් මාධ්‍ය ඉදිරියට එන්න කැමැති කෙනෙක් නොවෙයි. ඇත්තම කිව්වොත් සංජය ජනප්‍රියත්වයට කැමති නැහැ. ප්ලයිට් එකේ යද්දි වුණත් එයා අකැමැතිම මයික් එකෙන් එනවුස්මන්ට් එක දෙන එකට මිසක් මිනිස්සු දෙතුන් සීයකගෙ වගකීම අරන් ෆලයි කරන එක නෙවෙයි. පවුලේ අය, යාළුවෝ එක්ක එයා විනෝදෙන් ඉන්නවා. සරලව ඉන්න කැමති කෙනෙක්. ඇත්තටම මං සතුටු වෙනව සංජය වගේ ජීවන සහකරුවෙක් මට ලැබුණ එක ගැන.

 

සංජය ඔබට කැමති වුණේ ඇයි කියලා කවදහරි කියලා තියෙනවා ද?

එයා නිතරම කියන්නේ මට හොඳ හිතක් තියෙනවා කියලා. මං ඔහුව හිනස්සනව කියලත් කියනවා. අපි දෙන්නගෙ කැමැති අකැමැති දේවලුත් බොහෝ දුරට එකයි. ඒ නිසා ජීවත් වීම පහසුයි. මමත් සතුටු වෙනවා. එයත් සතුටුයි.

 

ඩිනාරාගෙ ෂූටින් බලලා සංජය මේ ක්ෂේත්‍රය ගැන තේරුම් ගත්තනේ. ඔබට හිතුණෙ නැද්ද සංජයගෙ රැකියාව ගැනත් අත්දැකීමක් ලබාගන්න?

මමත් ඔහු යන ගුවන්යානයේ කොක්ෆිට් එකේ වාර ගණනක් ගිහින් තියෙනවා. ෂූටින්වලට ආවම එයාට තේරුණානේ මේක කොච්චර අමාරුද කියලා. ඒ වගේම මටත් කොක්ෆිට් එකේ යද්දි තමයි තේරුණේ මේක ගොඩක් අමාරු රාජකාරියක් කියලා. ගොඩක් අය හිතනවා ඔටෝ පයිලට් දාගෙන ඔහේ යන්න පුළුවන් කියලා. මිනිස්සු දෙතුන්සීයක් අරන් අහසේ යන්න ඇත්තටම සෑහෙන මානසික ශක්තියක් තියෙන්න ඕන. ඒ වගකීම හරි අමාරුයි. මමත් දැන් කිහිප සැරයක් ගිහින් දැකලා තියෙනවා. පළවෙනි සැරේ නම් මටත් බය හිතුණා. ඒත් දැන්නම් ගානක් නැහැ.

 

දැන් විවාහ වෙලත් අවුරුදු තුනක්නේ. දෙන්න තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම අදහසක් තියෙනවා. දැනට අපි දෙන්නා රැකියා ගැන වැඩිපුර ටිකක් හිතනවා. ඒ දේත් සිද්ධ වෙන්න තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම සිදුවේවි.

 

ඔබට ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන සඳහන් කළොත්?

ගෙදර ඉන්න හැම වෙලාවෙම වගේ ගෙදර වැඩවලට ලොකු සහායක් එයාගෙන් ලැබෙනවා. පුංචි කාලෙ ඉඳන් සංජයගේ හිතේ තිබුණ හීනයක් තමයි කවදා හරි ගුවන් කපිතාන් කෙනෙක් වීම. මගෙත් හීනය වෙලා තිබුණේ රංගන ශිල්පිනියක් වෙන්න. අපි දෙන්න අපි දෙන්නගෙ හීන ගැන දැනගෙන හිටියේ. දැන් ඒ හීන සැබෑ වෙලා. අපි සතුටින්, සහයෝගයෙන් ජීවිතේ ගත කරනවා.

 

ජීවිතේ ඉදිරි කාලය ගත කරන්න කැමති කොහොමද?

මං නම් කැමැති මේ ක්ෂේත්‍රයේ ම ඉන්න. එයත් කැමැති එයාගෙ ක්ෂේත්‍රයේම ඉන්න. ලෝකෙ වටේ සංචාරය කරමින්, සිනාසෙමින්, එකිනෙකාට උපකාර කරමින්, සතුටින්, සුවයෙන් ජීවත් වෙන්න තමයි අපි දෙන්නගෙම කැමැත්ත.

 

Comments