
කොණ්ඩය තරුණියකට ආභරණයක් සේම ආශීර්වාදයක් වන අවස්ථාත් නැතුවාම නොවේ. සුධීක්ෂා සමාධි ද එවන් වාසනාවක හිමිකාරියකි. බටහිර පන්නයේ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය ජාතික රූපවාහිනියේ විකාශය වන කාසි ටෙලි නාට්‍යයේ ගැමි චරිතයකට පණ පොවමින් අභියෝගාත්මක රංගනයක නියැළෙන්නීය. සුධීක්ෂා සමාධිව නොදන්නා ඕනෑම කෙනෙක් දිවිතුරාහි රෙහානා හොඳින් හඳුනයි. රාජිනීහි මානසික ආතතියකින් පෙළෙන බොළඳ රුවැත්තිය රෝස් මෙන්ම ඊර්ෂ්‍යාවෙන් කැකෑරෙමින් ජීවත් වන සංසාරිනි හි විශ්මි ද ඇයයි. මේ කුමන වෙස් ගත්තත් ඇගේ අනන්‍යතාව මෙන්ම ඇයට වාසනාව ගෙන ආවේ ඇගේ රැලි කොණ්ඩය බව නම් නොකියාම බැරිය.
මේ දවස්වල කුමන නාලිකාව බැලුවත් සුධීක්ෂා සමාධි දකින්න පුළුවන්. ගොඩක් කාර්යබහුලයි වගේ නේද?
මේ දවස්වල නාළිකා හතරක එකිනෙකට වෙනස් චරිත හතරකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. සතිය පුරාම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්කම තමයි ජීවත් වෙන්නේ.
ඔබට වැඩිපුරම ලැබෙන්නේ බටහිර පන්නයේ චරිත. ඒක ඔබව එකම සීමාවක කොටු කිරීමක් වගේ දැනෙන්නෙ නැද්ද?
නැහැ. ඒ චරිත හතර, හතර විදිහක්. කාසිහි වජිරා කියන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු ගැමි චරිතයක්. ඒකට මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මෙතෙක් කල් කළේ බටහිර පන්නයේ චරිතමනේ. වජිරා කියන්නේ මගෙ රංගන ධාරිතාව පෙන්නන්න පුළුවන් වුණු මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණු චරිතයක්. අනිත් චරිත තුනම බටහිර ආරේ වුණාට එකිනෙකට වෙනස්. ඒ නිසා මට ඒකාකාරී බවක් දැනුණෙ නෑ.
ඔබට වඩාත්ම අභියෝගාත්මක වුණු චරිතය මොකක්ද?
කාසි එකේ වජිරා කියන චරිතය සඳහා මට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න සිද්ධ වුණා. කතා කරන විදිහ. ඇවිදින විදිහ වගේම මගෙ කොණ්ඩය පවා වෙනස් කරන්න වුණා. සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේට එහා ගිහින් හැම ඉරියවුවකින්ම වෙනස් වෙන්න වුණා. දැනුවත්ව මං හිත හිතා කළ එකම චරිතය ඒක. ගොඩක් පරිස්සමින් මම මටම අවධානය දෙමින් කළ චරිතයක්. ඇවිදිද්දි මං මගෙන්ම ඇහුවා මේ හරිද කියලා. මටත් ඕන වුණේ ලොකු වෙනසක් කරන්න. මේක මටම අභියෝගයක් වුණු චරිතයක්. බලපු හැමෝම හොඳ ප්‍රතිචාර ලබාදුන්න නිසා මම හිතනවා ඒ වෙනස සාර්ථක වුණා කියලා. අධ්‍යක්ෂකට පවා ඒක අභියෝගයක් වුණා මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. ඒත් මුල් සීන් එක දැකපු ගමන්ම ඔහු කිව්වේ “මමත් හිතුවෙ නෑ සමාධි ඔයා ඒක කරයි කියලා. මං හිතුවෙ ඔයාව හදන්න වෙයි කියලා. හදන්න දෙයක් නෑ. ඔයා ඔයාගෙ චරිතෙ හොයාගෙන“ කියලා.
වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයට ද?
දිවිතුරා එකේ රෙහානට තමයි වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ. රෙහානට ලොකු පොඩි භේදයක් නැතුව හැමෝගෙම ආදරය එක විදිහට ලැබෙනවා. කොහේදි දැක්කත් ප්‍රේක්ෂකයන් ළඟට ඇවිත් කතා කරනවා. රාජිනීහි රෝස්ට වැඩිපුරම ප්‍රතිචාර දක්වන්නේ තරුණ පිරිස. රෝස් කියන්නේ ආදර කතාවක නිතර කෑගහල අඬන, ලද බොළඳ තරුණියක්. ඒ නිසා තරුණ පිරිස රෝස්ව හොඳින් හඳුනගෙන තියෙනවා.
සුධීක්ෂා සමාධි කියන රංගන ශිල්පිනියට වාසනාව ගෙනාවෙ ඔය රැලි කොණ්ඩය කියලා කිව්වොත්?
කොණ්ඩය කියන්නේ ඇත්තටම මට ආශීර්වාදයක්. කවුරුහරි කෙනෙක් අද සුධීක්ෂා සමාධිව දන්නව නම් ඒ මගේ කොණ්ඩය නිසා. මගෙ කොණ්ඩෙට ආදරේ කරන ෆෑන්ස්ල පිරිසක් වෙනම ඉන්නවා. මේ කොණ්ඩෙ නොතිබ්බ නම් සමහර විට අද සමාධි කියලා කෙනෙක් නොඉන්නත් තිබුණා. මගේ නිර්මාණ බොහොමයකට හේතු වුණේ මේ කොණ්ඩය. දිවිතුරාහි චාමර ජයවීර අයියා කතා කරලා ඇහුවෙත් ඔයාගෙ කොණ්ඩෙ ඇත්තටම කර්ලි ද ඔය ඔයාගෙ ස්වාභාවික කොණ්ඩෙම ද කියලා. රාජිනී එකේ රෝස්ගෙ චරිතයට ඕන කරලා තිබුණෙත් රැලි ගැහුනු කොණ්ඩයක්.
සමාධි කියන්නේ මේ දිනවල බොහොම කාර්යබහුල කෙනෙක්. දැනට විකාශනය වන නාට්‍ය 4 ම රූගත කිරීම් කරන්නෙත් මේ අතරතුරමයි. චරිත පැටලිලා එහෙම නැද්ද?
මං රංගනයට දායක වෙන්නේ පුදුමාකාර ආසාවකින්. මං මේක එන්ජෝයි කරමින් ආසාවෙන් කරන නිසා එපා වීමක් වෙන්නෙත් නෑ. රඟපෑම කියන්නේ මාව ජීවත් කරවන මගේ හුස්ම ටික. මොන වැඩේ තිබුණත් හුස්ම ගන්න එක අමතක වෙන්නෙ නෑ වගේම මට ඇක්ටින්. මේ නාට්‍ය ඒතරම්ම වටිනවා. මට මගේ හුස්ම කවදාවත් පැටලිලා නෑ. මේක් අප් දාලා කොස්ටියුම් ඇඳලා ස්ක්‍රිප්ට් එක අරන් සෙට් එකට ගියහම ඒ ඒ චරිතයට ඔටෝ අනුගත වෙනවා. මේ තාක් වැරදිලා නම් නෑ.
සමාධිගෙ රංගනයට පිවිසීම ගැන සඳහන් කරනවා නම්?
2014 චිත්‍රපටයක සම්මුඛ පරීක්ෂණයකින් මං ඒකෙ ප්‍රධාන චරිතයට තේරුණා. හිස මුඩු කරන්න තිබුණු නිසා ඒක ගිලිහුණා. නමුත් ඒ හරහා මට ශාන්ත සොයිසාගේ වරාමලී ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැන තමයි මගේ ගමනේ ආරම්භය. පොඩි පොඩි චරිත කරමින් අවුරුදු 8ක් තිස්සේ ආපු ගමනක් මේක. ඒත් ප්‍රේක්ෂකයන් මාව අඳුනගන්න පටන් ගන්නේ දැන්. පළමු වතාවට ගිය අවුරුද්දේ තමයි සුමති ටෙලි සම්මාන උලෙළට නිර්දේශ වුණෙත්. රාජිනී, දිවිතුරා සහ කාසි ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 අතරෙ තිබුණා. ඒ වගේම ජනප්‍රියම නිළියන් අවසන් තුන් දෙනා අතරේ මාත් හිටියා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. ගොඩක් කාලයක් බලාගෙන හිටියා මගේ කාලය එනකල්. ඒත් මං හිතන්නෑ තාමත් මේ මගේ කාලය කියලා.
ලස්සන ජයසේකරගේ විලන් සිනමාපටය ඔස්සේ රිදී තිරයටත් පිවිසුණා. මැයි මාසේ ඒක රිලීස් වෙනවා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා හිතනවා. තවත් ඉගෙන ගෙන අත්දැකීම් ලබලා තව ඉස්සරහට මගෙ හොඳම කාලය ඒවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
යොවුන් වියේ ආකර්ෂණීය නිළියක් වුණාම ආදර ඇරයුම්වලින් අඩුවක් නැතුව ඇති නේද?
ආදර ඇරයුම් නම් ඕන තරම් එනවා. ඒත් ගොඩක් තැන්වල තියෙන්නේ හැඟීමක් මිසක් සැබෑ ආදරයක් නොවෙයි. ඒවා විවාහයකින් කෙළවර වීමක් නැහැ. හොඳ ලස්සන පවුල් ජීවිතයකින් කෙළවර වෙන අවංක ආදරයකට මං හරි ආසයි. හරිම කෙනෙක් මුණ ගැහුණොත් ආදරය කියන්නේ සුන්දර දෙයක්. ඒත් මෙතෙක් මට එහෙම කෙනෙක් හමුවෙලා නැහැ. ඒ වගේ කෙනෙක් මුණ ගැහෙනකල් බලාගෙන ඉන්නවා.