සජිත් වෙනුවෙන් වජිර පෙරට | සිළුමිණ

සජිත් වෙනුවෙන් වජිර පෙරට

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු IMF විස්තීරණ ණය ගැනීමේ යෝජනාවට අදාළ විවාදයයි. මෙම විවාදය සමඟ ආණ්ඩුව තව තවත් ශක්තිමත් වන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළ අතර විරුද්ධ පක්ෂය කියා සිටියේ ආණ්ඩුවේ දෙදරීමක් ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවයි.

අරගල බිම සැණකෙළි භූමියක් වෙයි

කලක් අරගල භූමියක්ව පැවැති ෂැන්ග්‍රිලා හරිත පරිශ්‍රය ඉකුත් සෙනසුරාදා සැණකෙළි භූමියක් බවට පත් වූයේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව පැවැත්වූ “වසත් සිරිය” සිංහල අලුත් අවුරුදු උත්සවය හේතුවෙනි. හෙළ සිරිතට මුල් තැන දෙමින් මෙම අවුරුදු උත්සවය පැවැත්විණි. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම ගමක අසිරිය සිරි ගැන්වෙන භූමියක් බවට ෂැන්ග්‍රිලා ග්‍රීන් භූමිය මේ නිසා පත්ව තිබුණි.

අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු මෙන්ම එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් ද පැමිණ සිටියහ. අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, තායිලන්තය, පාකිස්ථානය, නෙදර්ලන්තය, පලස්තීනය, බංග්ලාදේශය, කියුබාව, මියන්මාරය, කුවේට් රාජ්‍යය, දකුණු කොරියාව හා වියට්නාමය යන රටවල තානාපතිවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔවුන් සියල්ලෝම ජන ක්‍රිඩාවලට සහභාගී වූයේ දැඩි කැමැත්තෙනි. ජනපති රනිල් වික්‍රමසිංහ ද ෂැන්ග්‍රිලා අවුරුදු උත්සව භූමියට පැමිණ සැණකෙළි භූමියේ ඇවිදිමින් සාම්ප්‍රදායික අවුරුදු සිරිය විඳ ගත්තේය. ඔහු එක් අවස්ථාවක තානාපතිවරුන් කිහිප දෙනෙකු සමඟ ගොස් එහි ඉදිකර තිබූ ගැමි ගෙදර ගෙවිලිය පිසිමින් සිටි කැවුම් අතරින් කැවුම් ගෙඩියක් ගෙන අනුභව කළේ එහි සිටියවුන් සමඟ බෙදා හදා ගනිමිනි.

එක මොහාතක විදෙස් දූත මණ්ඩල අසලට ගිය ජනපතිට ඔවුන් ජන ක්‍රිඩාවන්හි නිරතව සිටින ආකාරය දැකබලා ගත්තේ ය. ඒ අසලට ගිය ජනපති ඔවුන්ගෙන් මෙම අවුරුදු උත්සවය ගැන විමසද්දී ඔවුන් පිළිගුරු දුන්නේ “අපි ඉතාම කැමැතියි මේ උත්සවයට” කියමිනි.

“සෑම මාසෙකම වාගේ අවුරුදු උත්සවයක් තියෙනවා නම් අපි කැමැතියි. ඔබතුමා හොඳ වැඩක් කරලා තියෙන්නේ. අවුරුද්දකට කලින් මේක කඳවුරු බැඳගත්ත අරගල භූමියක්. හරියටම අවුරුද්දකට පස්සේ අද ජය කෙහෙළි නංවන සැණකෙළි භූමියක්.” තානාපතිවරු කියද්දී ජනපති හිස සලා සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.

මාධ්‍යවේදීන්ට කොට්ට පොර තරගයකට ජනපතිගෙන් ඇරයුම්

විදෙස් දූත මණ්ඩල නිලධාරීන්ගේ තරග ඉසව්වලින් වැඩිම ත්‍යාග සංඛ්‍යාවක් දිනා ගත්තේ චීන තානාපති කාර්යාල නිලධාරීන්ය. කොට්ට පොර තරග ඉසව්ව නරඹා ජනපති ඉදිරියට පැමිණෙන විට එහි රැඳී සිටි ජනමාධ්‍යවේදීන් ඔහුගේ ප්‍රකාශයක් ගැනීමට කැමරා මාන­ාගෙන ඉදිරියට පැමිණියේය. එකවරම ජනපති හැරුණේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක වෙතය.

“ධනුෂ්ක මෙයාලට හොඳ ක්‍රීඩාවක් නැද්ද දෙන්න.” ජනපති විමසද්දී ධනුෂ්ක සිනා සෙමින් “නෑ සර්” යැයි පිළිතුරු බැන්දේය.

“ඇයි මෙයාලව කොට්ට පොර තරගයට දාන්න පුළුවන්නේ. මට ගහන්නේ නැතුව මෙයාලට එතකොට කොට්ට පොර ගහගන්න පුළුවන්නේ.” ජනපති කියද්දී සැමට සිනාව නතර කර ගත නොහැකි විය. කතුරු ඔංචිල්ලාව අසලට ගිය ජනපති එහි සිටියවුන්ගෙන් එහි අලගිය මුලගිය තැන් විමසන්නට වූවේ ඕනෑ කමිනි.

සාගල හා ටිරාන් කතුරු ඔංචිල්ලාවේ

අවුරුදු උත්සව භූමියට මැති ඇමැතිවරු ද පැමිණ සිටි අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කතුරු ඔංචිල්ලාව පදිද්දි පහළ සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද ඔවුන්ට විහිළුවක් කළේ අසල සිටි නිලධාරියකු සමඟය.

“දැන් අපිට ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ. ඔංචිල්ලාව උඩ යද්දී දෙන්නටම මේ භූමියම පේනවා.” කියමිනි.

ජනපති ඉරුදින මරදාන සුදුවැල්ලේ පැවැත්වූ බක්මහ උළෙලකට ද සහභාගී වූයේය. සඳුදා රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය ගැන සාකච්ඡාවක් පැවැතුනේ ජනපති ලේකම් කාර්යාලයේ දීය. ජනපති අඟහරුවාදා පෙරවරුවේ මාතර රාහුල විද්‍යාලයේ පැවැති සියවස් සමරු උළෙලට එක්වූ අතර එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ මුලසුන ගත්තේය.

මැයි දිනය හා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි. බදාදා පෙරවරුවේ ජනපති පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් විස්තීරණ ණය පහසුකම පිළිබඳ විවාදය ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවට ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් කිරීමටය.

ජනපති සිය කතාවෙන් පසු විපක්ෂ නායක සජිත්ගේ පැනයට පිළිතුරු දී පිටතට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂ ලොබියේදි මන්ත්‍රීවරු ඔහුව වට කර ගනිමින් විපක්ෂ නායකට කළ ඔච්චම ගැන විමසන්නට වූහ. “සර් විපක්ෂ නායකතුමාට කළ ඔච්චම අහලා විපක්ෂයේ හිටපු ස.ජ.බ මන්ත්‍රීවරුන්ටත් හිනා ගියා.” චාමර සම්පත් ඇම­ැතිවරයා කීවේ ද සිනාසෙමිනි.

“ උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කිරීමෙන් පසුව කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා. ඇත්තටම මේක අත්‍යවශ්‍ය සේවයක් කරනවට මිනිස්සු නම් කැමතියි.” මධුර විතානගේ මන්ත්‍රීවරයා ද කතාවට එකතු වූවේය.

“ජනාධිපතිතුමා එක අවස්ථාවකදී මේ අය සමඟ කතා කලා. රටේ ඇත්ත තත්ත්වය කිව්වා. ඒක අහන්නේ නැතුව වර්ජනය කරලා දැන් සාකච්ඡා ඉල්ලනවා. දැන් මොනවා සාකච්ඡා කරන්නද” ඇමැති ප්‍රසන්න රණතුංග දැරුවේ එවැනි ස්ථාවරයකි.

“මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිතුමා හමුවෙන්න අවස්ථාව ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ එතුමාමයි.” වජිර ඇගට පතට නොදැනී කියද්දී ජනපති රනිල් හිස සලා සිනාසෙමින් පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත පිය නැඟුවේය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඒ වන විටත් පාර්ලිමේන්තුවේ ජනපතිගේ කාර්යාලය වෙත පැමිණ සිටියහ.

විමල්ගේ පොත ගැන ජනපති කියු දේ

එදින ජනපති මුණ ගැසීමට මැති ඇමැතිවරු පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් ද පැමිණ සිටියෝය. එහිදි විමල් වීරවංශ අරගල ගැන පොතක් නිකුත් කිරීමත් එම පොත එළිදැක්වීමේ උත්සවයේදි කළ ප්‍රකාශයත් මෙහිදී සාකච්ඡාවට බදුන්විය.

“අරගලයේ උච්චතම දවස වෙච්ච ජුලි 09 දායින් පසුව හිටපු ජනාධිපති ඉල්ලා අස්වීමේ ලිපියක් ගැනත් එදා අගමැති වෙච්ච ඔබතුමා ඉවත් කිරීමේ ලිපියක් ආදී ලිපි දෙකක් කොළඹින් මාලදිවයිනට ගියා කියලා එයා කියනවා.” ඇමැති ශෙහාන් කීවේය.

“මේ කතාව ඇත්ත කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.” මන්ත්‍රී දොලවත්ත ද කීවේ එවැන්නකි.

“අමෙරිකානු තානාපතිතුමිය එතුමිය ගැන කියපුවා බොරු කියලා තියෙනවා. ශවේන්ද්‍ර ගැන කියපුවා බොරු කියලා ආරක්ෂක අමාත්‍යාංශය කියනවා.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ද කතාවට එකතු වූවේය.

“මමත් පොතක් අරගෙන කියවන්න ඕනේ.” කීවා මිස ජනපති වෙන කිසිවක් කීවේ නැත.

වජිර ස.ජ.බ. මන්ත්‍රීවරුන්ට කීවේ මොනවාද?

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඉතාම කාර්යය බහුල ජනතා නියෝජිතයෙකි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණි විට ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරුන් රැසක් වජිරගේ පසු පසින් පැමිණෙන්නේ ඔවුන්ගේ යම් යම් ගැටලු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමටය.

වජිර නිතරම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම ඊට හේතුවයි.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයට වජිර අබේවර්ධන පැමිණ අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම පැමිණ වජිර හමුවිය.

මේ අතර සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද විය. ඔහු පැමිණ සිටියේ අනුරාධපුරයේ ජනතාවට බලපාන පොදු ප්‍රශ්න කිහිපයක් වජිරට ඉදිරිපත් කිරීමටය.

එම ගැටලුවලට කඩිනමින් ප්‍රතිචාර දක්වන බව පවසමින් වජිර විමසා සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි.

“ඔහේ වැඩ කරගෙන යනවා” යනුවෙන් ඉෂාක් රහුමාන් පිළිතුරු දුන්නේය.

“මේ මන්ත්‍රීතුමා ඔයගොල්ලන් විපක්ෂ නායකතුමා ආරක්ෂා කරගන්න යනුවෙන් වජිර කියු කතාවට ඇස් උඩගිය ඉෂාක් රහුමාන්” ඒ ඇයි” යනුවෙන් විමසුවේ තරමක් මවිතයෙනි.

“ඔයගොල්ලන්ගේ හුඟ දෙනෙක් ආණ්ඩුවට එකතුවෙන්න කතා කරනවා. ඒ සේරම එක පාරට ආණ්ඩුවට ආවොත් සජිත් ප්‍රේමදාස මහත්තයට විපක්ෂ නායකකම නැතිවෙනවා. ඒක නිසා විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට සහාය දීලා විපක්ෂ නායකකම ආරක්ෂා කර ගන්න. ඕන නම් අපෙන් කට්ටියක් එවලා හරි විපක්ෂ නායකතුමා රැකගන්න ඕන.“ යනුවෙන් වජිර කියපු කතාවට ඉෂාක්ට සිනහව නතර කර ගැනීමට නොහැකි විය.

සීතාඑළියට ගිය දිනේෂ්, හදිසියේම බඹරකැලේ ගම්මානයකට ගියේ ඇයි ?

නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ජාතික හා ආගමික සමගිය සඳහා වූ තෝතැන්නක් ලෙස සැලකිය හැකිය. ඉන්දු ලංකා අනාදිමත් පුරාවෘත්තයන් සටහන් කරන වාල්මිකීගේ රාමායනයේද සඳහන් ශ්‍රී ලංකා ඉන්දියා ජනප්‍රවාදයන්හිද පවතින නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය ඉරිදා ගියේ, සීතා අම්මාන් කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන්ගේ ආරාධනයෙනි. මෙරට ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් භාග්ලේ, ඉන්දියානු රොටරි සමාජයේ ප්‍රදීප් ජෙයින් ඇතුළු ඉන්දීය දූත පිරිස, පූජ්‍ය නුවරඑළියේ චන්දිම හිමි, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී.රත්නායක. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. පුත්‍රසිගාමිනී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කිරීම අගමැති දිනේෂ්ගේ මෙම පැමිණීමේ අරමුණ විය.

"ඉන්දු - ලංකා මිතුදම තවත් ශක්තිමත් කරන්නත්, අපේ අධ්‍යාත්මික ගුණවගාව වැඩිකරන්නත් මෙම සීතා අම්මාන් කෝවිල නව භාවනා මධ්‍යස්ථානය ප්‍රයෝජනවත් "

ඉන්දීය මහ කොමසාරිස් කියද්දී අගමැති දිනේෂ් මෙසේ කිය. " මේ ඓතිහාසික භුමියේ මේ වගේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ඇරඹීමට ලැබීම භාග්‍යක්."

"ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය නිදහස් සටනට දායකත්වය දැක්වූ පිලිප් ගුණවර්ධනයන්ගේ, පුතා අද ලංකාවේ අගමැති වී මෙම භාවනා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමට පැමිණීම අපි හරියට අගය කරනවා" ඉන්දියානු රොටරි සමාජයේ ප්‍රදීප් ජෙයින් පැවසීය.

නුවරඑළියට ගිය අගමැති දිනේෂ්, යදාමිණි මන්ත්‍රීවරයාද සමඟ, හදිසියේ ම බඹරකැලේ ගම්මානයකට ගියේ එම ගම්වාසින්ටද නොදන්වාය. මෙම ගම්මානයේ පදිංචිව සිටින්නේ, මීට අවුරුදු 200කට ආසන්න කාලයකට පෙර මෙරට දුම්රිය මාර්ග තැනීමට ඉන්දියාවෙන් පැමිණි කම්කරුවන්ගෙන් පැවත එන පරම්පරාවයි. දිනේෂ්ට එම ගම හා ඈත සම්බන්ධයක් ඇත. ඒ ඔහු නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී පැල්පත්වල සිටි එම ජනතාවට නිවාස තනා දී ඇත්තේ ඔහුගේ අමාත්‍යාංශය ඔස්සේය.

" අනේ දිනේෂ් මහත්තයා, ඔබතුමා ආපු එක කොච්චර දෙයක්ද ? ඔබතුමා හදලා දුන්න ගෙවල් ටික විතරයි. ඉතිරි ගෙවල් ටිකේ වැඩේ කෙරුනේ නෑ."

"හරි අපි ඒක කරමු " අගමැති එකහෙළා කිවේය.

"අපේ කෝවිල් ගොඩනැගිල්ලේත් භාගයයි හදල තියෙන්නේ" ගම්වාසින් තව අඩුපාඩුවක් කිවේය.

වහා නුවරඑළිය දිසාපතිට දුරකතන ඇමතුමක් ගත් අගමැති දිනේෂ් , "මේ මිනිස්සුන්ගේ පරම්පරාව මෙහෙට ඇවිත් අවරුදු 200 වෙන වෙලාවේ පූජාවට මේ කෝවිලේ ඉතිරි කෑල්ල හැදෙන්න ඕනේ, වහාම වාර්තාවක් හදන්න" උපදෙස් දුන්නේය.

ජී.එල්. ආණ්ඩු පක්ෂයට ?

නිදහස ජාතික සභාව නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේ පිහිටි අගමැති කාර්යාලයට පැමිණියේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා හමුවීමටය.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සමඟ විනාඩි 20කට ආසන්න කාලයක් ජී.එල්. පීරිස් කතා කළේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිධුරයෙන් තමන් ඉවත් කිරීම ගැනද ජී.එල්. මෙහිදී කරුණු දක්වන්නට විය.

ඉන්පසුව අගමැති කාර්යාලයෙන් පිටතට පැමිණි ජී.එල්. පීරිස් මැතිසබයට ඇතුළු වුයේ ආණ්ඩු පක්ෂයේ දොරටුවකිනි.

දැඩි කල්පනාවක සිටිමින් ජී.එල්. පීරිස් ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ පිහිටි සභානායකගේ ආසනය දක්වා පැමිණියේය.

ජී.එල්. පීරිස් ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් අසල සිටින බව ඒ අවස්ථාවේ මුලාස‍නයේ සිටි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ දුටුවේය.

යම් කිසි ප්‍රකාශයක් සිදු කිරීමට ජී.එල්. පීරිස් මහාචාර්යතුමා සුදානම් වනවා කියු සිතූ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා “මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා” යනුවෙන් ප්‍රකාශ කළේ ජී.එල්. පීරිස්ට කතාකිරීමට අවස්ථාව ලබාදීමටය.

එහිදී කලබලයට පත් වූ ජී.එල්. පීරිස් වහාම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ගියේ මැතිසබයේ බොහෝ දෙනෙකු සිනහ සෙන අතරතුරය.

තමාට පැත්ත මාරු වු බව ජී.එල්. පීරිස්ට එවිට තේරුම් ගොස් තිබුණි.

ප්‍රසන්න ලයින් එක මාරු කරලාද?

ඇමැති ප්‍රසන්න රණතුංග පසුගිය ඉරිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුවට සහභාගී විය. සති කිහිපයක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පසු ඔහු සහභාගී වූ පළමු දේශපාලන වැඩකටයුත්ත එය විය.

එහිදී ඇමැති ප්‍රසන්න පැවසුවේ වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙන යෑමට තම පක්ෂය ජනාධිපතිවරයාට උපරිම සහය දක්වන බවය.

" සමහරු හිතනව මේ පක්ෂය දියකරන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ" ඇමැතිවරයා පැවසුවේ තිර හඬිනි.

" අපේ පක්ෂය ජනතාවට නිදහස දීපු පක්ෂයක.මිනීමරල,දේපළ මංකොල්ල කාපු නැති නායකයො ඉන්න පක්ෂයක්. මේ වගේ පක්ෂයක සාමාජිකයකු වීමත් මටනම් ආඩම්බරයි" ඔහු කීවේ බලය ගන්න පාරම්බාන දේශපාලන පක්ෂවල අතීත පැටිකිරියද සිහිපත් කරමිනි.

එම ජනහමුව අවසන්වීමෙන් පසුව ඇමැති ප්‍රසන්න හා නාමල් රාජපක්ෂ තේ මේසයට ආවේ ආගිය තොරතුරු කතා කරමිනි.

මහින්ද වෙනුවෙන් දිගටම කඩේ යන්නේ කවුද?

"අපි හිතාගෙන හිටියේ ඔබතුමා ලයින් එක මාරු කරල කියල. ඒත අද කතාව ඇහුවම අපේ අදහස වැරදි බව තේරුණා"

එහි සිටි අයකු කීය.

" මම මට දැනෙන ඇත්ත කතා කරනවා. මගේ කතා විලාසය වෙනස්. කියන්න ඕන දේ කෙළින්ම කියනව. මමනම් එදත්, අදත්,හෙටත් මහින්ද මහත්තය වෙනුවෙන් කඩේ යනවා කියල මම ඕනම තැනක කියනවා."

"ප්‍රසන්න ඇමැතිතුමා ගාව හැංගිල ගැහිලි නෑ. කියන්න තියෙන දේ කෙළින්ම කියනවා."නාමල් කීය.

"ප්‍රසන්න ඇමැතිතුමා මහින්ද මහත්තයට පණ ඇරල ඉන්නෙ. ඇම­ැතිතුමා හැමදාම මහින්ද මහත්තයට කතා කරන්නේ ජනාධිපතිතුමා කියල. ප්‍රසන්න ඇමැතිතුමා හැමදාම හරි පැත්තෙ හිටගත්ත කෙනෙක්. ඒකනේ හිටපු ගමන් පාර්ලිමේන්තුවේදි අපිටත් බර බරේ දාන්නෙ" ඒ සංජීව එදිරිමාන්නය.

වඩිවෙල් මහින්ද ගැන කි‍ව්වේ මොනවාද?

සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේස් මන්ත්‍රී භෝජනාගාරය වෙත දිවා ආහාරය ලබාගැනීමට යන අවස්ථාවේදී ඔහුට අතරමඟදී නාමල් රාජපක්ෂ මුණ ගැසුණේය.

උදය ගම්මන්පිල, ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු ද ඒ අසල සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ කතාබස් කරමින්ය.

“මොකද කරන්නේ ආණ්ඩුවට එකතු වෙනවාද? කියා නාමල් විමසුවේ වඩිවෙල් සුරේශ්ගෙන්ය.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරාධනා කරනවානම් මං එනවා. හැබැයි තාම අපිට කවුරුවත් ආරාධනා කරලා නැහැ” යනුවෙන් ප්‍රකාශ කළ වඩිවෙල් එතනින් යන්නට ගියේය.

යන්න ඕන නම් යන්න සජිත් කියයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පසුගියදා පැවැත්විණි. වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබීය.

විශේෂයෙන්ම මැයි රැලිය පවත්වන ආකාරය පිළිබඳවත්,ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පිළිබඳවත් එහිදී මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

"ආණ්ඩුව මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දීත් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණ. ඒකනෙ අපේ පක්ෂයෙන් එහෙට කට්ටිය යනවා කියලා news plant කරන්නේ."

එහෙම කිව්වේ සුජිත් සංජය පෙරේරා ය.

"මට මගේ මන්ත්‍රී කණ්ඩායම ගැන විශ්වාසයි. එහෙන් මෙහෙට යනවද මෙහෙන් එහෙට යනවද කියලා ඉස්සරහට බලාගමු"

සජිත් උත්තරයක් විදිහට දුන්නේ ඒක පමණි.

සජිත්ගෙන් විනය ක්‍රියාමාර්ග

ඒ අතර සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ එක්ව තවත් තීන්දුවක් ගත්තේය.ඒ, සමගි ජන බලවේගයේ විනය කමිටුව ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය යටතට පත් කිරීමය.

සජිත් - ඩලස් කතා කළේ මොනවාද?

මේ අතර ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් වලට ආරාධනා කරන ලෙස සජිත් රංජිත්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙළක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් පසුගිය (24) පාර්ලිමේන්තුවේ දී එක්විය. ඒ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.

"අපි ඔබතුමන්ලාට කතා කළේ ආණ්ඩුව ගෙනියන මේ දුර්දාන්ත වැඩපිළිවෙළට විරුද්ධව එකට එකතු එකතුවෙලා වැඩ කරමු කියන ආරාධනාව කරන්න. මේ බැන්ද පිළිවෙළ වඩාත් ශක්ති සම්පන්නව අපි ඉදිරියට ගෙන යමු" සජිත් මුලපිරුවේ එහෙමය.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් සජිත් අවධාරණය කළේය.

නායකයන් 125කට සිදු වු දේ වජිර හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය සෙනසුරාදා උදෑසනම ගාල්ලට පැමිණියේ ආරාධනා කර තිබූ විවාහ මංගල උත්සව කිහිපයකටම සහභාගී වීම සඳහාය.

ආරාධනා කර තිබූ විවාහ උත්සව දෙකකට උදෑසන කාලයේම සහභාගී වූ වජිර අනතුරුව ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට පැමිණියේ වජිරව මුණගැසීමට එහි පැමිණ සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ වෘත්තිකයන් පිරිසක් හමුවීම සඳහාය.

“ගොඩක් වෙලාද ඇවිල්ලා. මම පොඩ්ඩක් පරක්කු වුණා. වෙඩින් දෙකකට ගිහින් ආවේ. ඒකයි ටිකක් පරක්කු වුණේ.” වජිර කාර්යාලයට ගොඩවෙනවාත් සමඟම වෘත්තිකයන්ගෙන් ඇසුවේය.

“එහෙම පරක්කුවක් නැහැ ඇමතිතුමා. අපිත් ඇවිත් වැඩි වෙලාවක් නැහැ.” එක් වෘත්තිකයෙක් පැවසුවේය.

“අපි මේ තකහනියක්ම ඇමතිතුමාව මුණගැසෙන්න තීරණය කළේ වර්තමානයේ වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබෙන ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව කරුණු කිහිපයක් දැනගන්න. මොකද ඇමතිතුමා වෘත්තිකයන් විදිහට සමාජයේ විවිධ අය අපිට දිනපතා මුණගැහෙනවා. මේ අයත් රටේ විවිධ දේවල් පිළිබඳව අපිත් සමඟ සාකච්ඡා කරනවා. ඉතින් මේ අය කියන සමහර කරුණු කාරණා දිහා බැලුවාම අපිටම තේරෙනවා ඇතැම් අය වහසි බස්වලට අහුවෙලා ඉන්නේ කියලා.

ඉතින් ඒකයි අපි තීරණය කළේ මේ ගැන ඔබතුමන්ගෙම අහලා මේ කියන කතාවල ඇත්ත නැත්ත පිළිබඳව අපිට මුණගැහෙන අය දැනුම්වත් කරන්න.” 

තවත් අයෙක් සාකච්ඡාවට මුල පිරුවේය.

“ඒකනම් බොහොම හොඳයි. මොකද මාත් දැක්කා නිවුස්වල, ෆේස්බුක් එකේ එහෙම වැරදි තොරතුරු සමාජ ගත වෙමින් තිබෙනවා. තමන්ට පුළුවන් විදිහට මේ පිළිබඳව ජනතාව ඇත්ත තොරතුරුවලින් දැනුවත් කරන එකනම් බොහෝම වටිනවා.

ඇතැම් දේශපාලන කණ්ඩායම් ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ත්‍රස්තවාදය පාලනය කිරීමට මෙවැනි පනතක් ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙනවා. මේ පනත ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්.

ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි නිදහසින් පසුව අවුරුදු 75 ක කාල සීමාව තුළ දේශපාලන පක්ෂ නායකයන් වගේම පාර්ලිමේන්තුවේ සිටි රාජ්‍ය නායකයන් 125 කට පමණ අධික පිරිසක් ඝාතනය කර තිබෙනවා. නමුත් ඒ එක මරණයකවත් සැබැ ඝාතකයන් හසු වෙලා නැහැ. ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන් සිවිල් පුරවැසියන් ලක්ෂ ගණනක් ඝාතනය කර තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින තැන සිල් ගෙන සිටි සිල් ඇත්තන් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කළා. ඒ විතරක් නෙමෙයි දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාවටත් සිය ගණනක් මරණයට පත්වෙන්න බෝම්බ ගසා තිබෙනවා. අරන්තලාවේත් එසේමයි.

එම නිසා මෙවැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් අවශ්‍ය කර තිබෙනවා. මෙම පනත 2018 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අවස්ථාවේදී කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස මමත් අත උස්සා මේ සඳහා සහයෝගය පළකර තිබෙනවා. එදා කැබිනට් මණ්ඩලයේ මේ සඳහා සහයෝගය ලබාදුන් කණ්ඩායම අද විපක්ෂයේ වාඩි වී සිටිනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ ඒ අය මේ අවස්ථාවේදී මේ පනතට විරුද්ධව ඡන්දය ලබාදෙයි කියලා.“ වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදී.

Comments