රැල්ලට ගහගෙන යන්න මගේ කැමැත්තක් නැහැ | Page 2 | සිළුමිණ

රැල්ලට ගහගෙන යන්න මගේ කැමැත්තක් නැහැ

ඇය ඇයටම ආවේණික වූ ගමන් මගක සෙමින් අඩි තබන්නීයක්. වේගයෙන් ගලන සින්දු රැල්ලේ ඇය උඩුගම් බලා පිහිනන්නියක්. සිනාසෙන තොල්, සුළඟක් වගේ ඇවිදින්, මගේ රන්කඳ, වැනි එකිනෙකට වෙනත් ප්‍රස්තුතයන්් පාදක කරගෙන ගීත ගායනා කරන ඇය නිපුනි නයනතාරායි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

ගොඩක් හොඳින් ඉන්නවා. මියුසික් වැඩකරගෙන වගේම මගේ රැකියාවේ වැඩකටයුතු කරගෙන සතුටින් කාලය ගත කරනවා.

ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ අලුත් ගීතවල විස්තර කිව්වොත්?

ගීත කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. ඒවා ඉදිරියේදී එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගීත අතර ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන රචනා කළ එක් යුග ගීතයක් මගේ හිතට බෙහෙවින් කා වැදුණා. එම ගීතය ගායනා කරන්නේ මම හා අනුරාධ අබේසිංහ අයියයි. ඒ වගේම මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි ලියූ සඳරුවන් ජයසිංහ සංගීතවත් කළ සුළඟක් වගේ ඇවිදින් ගීතයටත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. මීට අමතරව චන්දි කොඩිකාර ලියූ අනුරාධ අබේසිංහ සංගීතවත් කළ සිනාසෙන තොල් ගීතයට තවමත් පෙර ලෙසම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම අගය කරනවා.

ඔබගෙ ගීත නිර්මාණ අතර මළගිය ඇත්තො වැනි සාහිත්‍යමය කෘතීන් පාදක කරගත් ගීත නිර්මාණ තිබෙනවා. එය තුරුණු ගායිකාවකගෙ දකින දුර්ලභ තේරීමක්. එවැනි නිර්මාණ තෝරාගැනීමට විශේෂ හේතුවක් පවතිනවද?

මම හිතන විදිහට මගේ ජීවිතේට එකී සාහිත්‍යමය ආභාෂය ලැබෙන්නේ මම ඇසුරු කළ පිරිසත් සමඟයි. මම ක්ෂේත්‍රයට පිවිසෙන විට පූජ්‍යපාද රඹුක්කන සිද්ධාර්ථ හිමියන් ඇසුරු කිරීමට අවකාශ ලැබෙනවා. විශාරද දර්ශන වික්‍රමතුංග, ප්‍රවීණ ගීත පද රචක රවී සිරිවර්ධන, ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර වැනි දැවැන්ත චරිතවල ඇසුර මාව සාහිත්‍යමය වශයෙන් මාව පෝෂණය කරනවා වගේම එකී සාහිත්‍යය කොටස් මගේ ජීවිතයට එකතු කරනවා. ඒ නිසා එම ඇසුර මාව අර්ථවත් ගේය පද රචනා තෝරා ගැනීමට උදව් කරනවා.

නයනාතාරා කියන්නෙ රැල්ලට යන්නැති උඩුගම්බලා පිහිනන්නියක් කියා මං හැඳින්වුවහොත් එය නිවැරැදියි නේද?

මම ඉගෙන ගෙන ගත්තේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ රාගධාරී සංගීතය. නමුත් රාගධාරී සංගීතය පමණක් නෙමෙයි වෙනත් ශෛලින් අනුගමනය කරන්නත් මම කැමතියි. මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ නිසා බටහිර, ඉන්දීය ශෛලීන් අත්හදා බලන්න වගේම අනුගමනය කරන්නත් මම ලොකු උනන්දුවක් දක්වනවා. මම පෞද්ගලිකව ගීත තෝරාගැනීමේදී රසිකයන්ට දැනවෙන ගීත තෝරා ගැනීමට මම වග බලා ගන්නවා. එහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ පද රචනයටයි. ඒ වගේම ගීතය මුලින්ම මට දැනෙනවා ද කියන එක පිළිබඳව මම සලකා බලනවා. එහෙම බලනකොට නයනතාරා කියන්නේ රැල්ලට ගීත ගායනා කරන්නියක් නෙමෙයි. මම මට ආවේණික වූ තෝරාගැනීමක් කරන, මගේම හැඩයක් නිර්මාණය කරගත් කෙනෙක්. ඒ නිසා රැල්ලට ගහගෙන යාමේ කැමැත්තක් මට නැහැ.

ඔබ ගීත තෝරාගැනීමේදි ප්‍රේක්ෂක රසවින්දන පරාසය ගැන අවධානය යොමු කරනවද?

අනිවාර්යෙන්ම. මම හැමවිටම උත්සාහ කරන්නේ මගේ ගීත ගොන්නට ලස්සන වගේම රසිකයන්ට දැනෙන ගීතයක් එක් කරගැනීමටයි. එහිදී මූලිකව එකී නිර්මාණය මට දැනිය යුතුයි. නවක ගායන ශිල්පිනියක් ලෙස මට යම් යම් ආරාධනා ලැබී තිබෙනවා. ඒ ගීත ගායනා කළා නම් ඉක්මනින් ජනප්‍රිය වීමට අවස්ථාව ලැබෙනවා වගේම ඉක්මනින් මුදල් ඉපැයීමටත් අවකාශ ලැබෙනවා. නමුත් එකී කෙටිකාලීන මාර්ග මම මගේ ගමන් මඟට එක්කර ගන්නේ නැහැ.

ගීතයක් හිට් කරන්න විෂුවල් එක කොයිතරම් වැදගත්ද?

අතීතයේ ගීත පිළිබඳ විමසා බලන විට අපට මුලින්ම හිතට නැඟෙන්නේ විෂුවල් එකක් නෙමෙයි. එහිදී අපගේ සිතට නැඟෙන්නේ එකී ගායක ගායිකාවන්ගේ හඬ හා පද රචනයයි. ඒ ගීත අදටත් අප අහනවා වගේම ආදරේ කරනවා. නමුත් මෑතකදී සින්දුවකට මියුසික් වීඩියෝ එකක් නැතුවම බැහැ වගේ කාලයක් ආවා. නමුත් මේ වන විට එකී තත්ත්වය තරමක් සමනය වූ හැඩක් පෙනෙන්නට තිබෙනවා. මගේ මතය නම් ගීතයකට මියුසික් වීඩියෝ එකක් අත්‍යවශ්‍යම නැහැ. මගේ ගීත අතර ජනප්‍රිය තලයේ තිබෙන සිනාසෙන තොල් ගීතයට මියුසික් වීඩියෝ එකක් නැහැ. නමුත් එය සමාජ මාධ්‍ය හරහා ලක්ෂ පහළොවක් විතර නරඹා තිබෙනවා. ඒ නිසා රසවින්දනයට විෂුවල් එකක් අත්‍යවශ්‍යයි කියන මතය මම විශ්වාස කරන්නේ නැහැ.

අපි ඔබගේ පවුලේ විස්තරවලට යොමු වෙමු

මම ආදරවන්තියක්. ආදරණීය බිරිඳක්. ඒ වගේම සෙනෙහෙබර මවක්. එකී සියලු දේවල් එකතු වූ මම ගොඩක් සතුටින් ඉන්න ගැහැනියක් .

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකුම බලාපොරොත්තුව වෘත්තිමය ගායිකාවක් ලෙස හොඳ ගීත නිර්මාණ කරමින් ඉදිරියට යෑමයි. ඒ වගේම විවිධ හැදෑරීම් කරන්න මම ලොකු කැමැත්තක් දක්වනවා. එකී හැදෑරීම් සමඟ කාටවත් කරදරයක් නැතිව සැහැල්ලුවෙන් ජීවත්වීමයි.

Comments