මට පෙම්වතියක් ඉන්නවා | Page 2 | සිළුමිණ

මට පෙම්වතියක් ඉන්නවා

නීල පබළු“ ටෙලි නිර්මාණයේ පසන්ගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන හේෂාන් මල්ලව මුලින්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නේ “රෙඩ් මයික්“ කියන නමින්. පාසල් වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වූ හේෂාන් රාජ්‍ය නාට්‍ය උළෙල යෞවන සම්මාන උළෙල මධ්‍යම කෙටි නාට්‍යය සම්මාන සඳහා ජයග්‍රහණයන් හිමි කරගන්නටත් සමත් වූවෙක්. අද වෙද්දී වෘත්තියෙන් නාට්‍යය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙක්, නළුවෙක් මෙන්ම නිවේදකයෙක් විදියට කටයුතු කරන හේෂාන් මල්ලව සමඟයි මේ කතා බහ

මේ දවස් වල මොකද වෙන්නේ

රංගන ජිවිතේ ගත්තම මේ දවස් වල ඉන්නේ “නීල පබළු“ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් එක්ක. ඊට අමතරව නිවේදනය පැත්තෙන් සිරස ටීවී එකේ තරු ඉරිදා කියලා ඉරිදා හවස 3.30ට අලුත් වැඩසටහනක් පටන් ගත්තා. ඒක ලංකාවේ කලා තරු එක්ක කරන සුන්දර වැඩසටහනක්. ඔය කටයුතු දෙක තමයි මේ දවස් වල ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ.

අද වන විට පසන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සමාජය පැත්තෙන් ගත්තම මම මෙතෙක් කළ චරිත අතරින් පසන්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පසන් කියන්නේ වෙනස් චරිතයක්. ඉදිරියට තව දුරටත් ඒ චරිතය ප්‍රේක්ෂකයින් අතරට සමීප වෙයි සහ ඒ තුළින් ලැබෙන ප්‍රේක්ෂක පිබිදීම වැඩි වෙයි කියලා හිතනවා. මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා නීලපබළු අධ්‍යක්ෂක සඳුන් රාජකරුණාව.

කවදා හරි නළුවෙක් වෙන්නනේ සිහින මැව්ව ඒ ගමන ගැන අද මොකද හිතෙන්නේ?

පෙර පාසල් කාලේ ගුරුවරුන්වත් මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඒ කාලේ මට උගන්වපු ගුරුවරු මාව කලාවට නැඹුරු කළා. පෙර පාසල් කාලේදී ගුවන් විදුලියේ සින්දු කියන්න යනවා. ඊට පස්සේ මම පාසල් ගියේ මාතලේ විජය විද්‍යාලයට. පාසල් වේදිකාවේදි තමයි මගේ හැකියාවන් වැඩි දියණු කර ගත්තේ. ඒ හරහා තමයි කලාවට සම්බන්ධ වෙන්න මූලිකම අඩිතාලම වැටුණේ. එහිදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනැ පාසලේ විදුහල්පතිවරුන්ට සහ අපිට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරුවරුන්ට. මම මුලින්ම මාධ්‍යයට කියලා සම්බන්ධ වෙන්නෙ 2008 වසරේදී “හිරු FM කොමඩි King“තරගාවලියක් පැවැත්වුණා. මම එකේ අවසන් 11 දෙනා අතරට ආවා. ඒ නිසා මිනිස්සු අතරට ගියා. ඒ කාලෙම තමා නාට්‍යය හා රංග කලාව පිළිබඳ විෂයක් අපේ විෂය ධාරාවන් අතරට එකතු වුණේ. එතැනදී මම ඒ විෂය තෝරා ගන්නවා. මගේ මුල්ම ගුරුතුමිය වෙන්නේ දර්ශි පණ්ඩිතරත්න ගුරුමෑණියන්. ඊට පස්සේ වැඩිදුර නාට්‍යය හා රංගකලාව හදාරනවා ප්‍රසිද්ධ වේදිකාවේ කමල් පී අලහකෝන්, ජිවන සූරියපටබැඳි වගේ ගුරුවරු යටතේ. එතැනිනුත් පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මඟින් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. එහිදී මට ප්‍රසන්නජිත් අබේසූරිය, මහේන්ද්‍ර පෙරේරා, ජයලාල් රෝහණ වැනි ප්‍රවීනයින් යටතේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.

නළුවෙක් වෙන්න ආව ගමන කොහොමද නිවේදන පැත්තට හැරුණේ?

මම පාසල් වේදිකාවේ නිවේදන කටයුතු කරලා තිබුණත් මට හීනයක් තිබ්බේ නළුවෙක් වෙන්න. ඒ වෙද්දී සිරස සුපර් ස්ටාර් පටන් ගත්ත අවධිය. නිවේදනය පැත්තෙන් මගේ රෝල් මොඩ්ල් එක කමල් අද්දරආරච්චි මහතා. ඔය අතරතුර කාලයේ තමයි “CSN“ ක්‍රීඩා නාළිකාව ආරම්භ කළේ. ඒ වෙනුවෙන් නිවේදනයට දක්ෂතා තියෙන තරුණ තරුණියන්ගෙ හැකියාවන්වලට අවස්ථාවක් ලබාදෙනවා කියලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබ්බා. මම ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. ඒ වෙනුවෙන් 3000 - 4000ක් වගේ පිරිසක් සම්බන්ධ වෙලා හිටියා. නමුත් 4 දෙනයි තෝරා ගත්තෙ. ඒ හතර දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ලැබුණෙ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා නිසා. සහය නිෂ්පාදකවරයෙක් වශයෙන් ඒ පටන් ගත්ත ගමන තමයි අද මේ ඉන්න තැන දක්වා ආවේ.

ඔබේ නිවේදන වෘත්තියේ හැරවුම් ලක්ෂය රෙඩ් මයික්?

ඔව් ‘රෙඩ් මයික්’’ කියන්නෙ මගේ ජීවිතේට ලොකුම වාසනාවක් ගෙනාපු වැඩසටහනක්. මම මුලින්ම සම්බන්ධ වුණු “CSN“ ක්‍රීඩා නාළිකාව වසා දැමීමෙන් පසුව මම සම්බන්ධ වෙන්නෙ සිරස නාළිකාවට. සිරසට මාව තෝරා ගන්නේ චන්දන සූරියබණ්ඩාර මහතා. එහිදී මම මුලින්ම කළේ “ජන අසුන“ නමින් දේශපාලන වැඩසටහනක්. ඊට පස්සේ මෝනින් ෂෝ සහ ලයිව් ෂෝ බොහොමයක් කළා. ඔය අතරේ තමයි මේ රෙඩ් මයික් වැඩසටහන චන්දන සූරියබණ්ඩාර මහතා මට භාරදෙන්නේ. මේ 11-12 බෙල්ට් එකේ පිස්සුවක් නටපන් කියලා. ඒ කියන්නේ මෙතෙක් අපි දැකපු සම්ප්‍රදායක නිවේදකයාගෙන් එහා ගිය හැමෝම ආදරේ කරන ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න කියලා. ඒක තමයි ඔය කියන හැරවුම් ලක්ෂය සනිටුහන් කරන්නේ.

හේෂාන් මේ වෙද්දී වෘත්තියෙන් ගුරුවරයෙක්?

මාතලේ බෞද්ධ විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිලිබද ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. මගේ පළමු පත්වීම ලැබුණේ මගේ ගමටමයි. ඒ නිසා මම බොහොම ආදරෙන් ඒක භාර ගත්තා.

නළුවෙක් වෙන්න හීන දැකලා, ඒ හීනය සැබෑ කර ගත්තම ආයෙම ගුරු වෘත්තියට යන්න හිතුණේ ඇයි?

මම අවුරුදු 10කට එහා මේ මාධ්‍යය කලාව එක්ක කටයුතු කළා. නමුත් පසුගිය කාලේ රටේ සිද්ධ වුණු දේවල් එක්ක මට තේරුම් ගියා රටට දෙයක් කරනවා වගේම මගේ පවුලට දෙයක් කරන්න ඕනේ කියන එක. කොරෝනා එක්ක අපි හැමෝටම සිද්ධ වුණානේ කොළඹින් ගමට ගිහින් ජිවත් වෙන්න. එතකොට මට අර අවුරුදු දහය තුළ මට හමුවුණේ නැති කෑල්ලක් හමුවුණා. ඒ තමයි කොච්චර වුණත් මගේ අම්මලා තාත්තලා සහෝදරියන් එක්ක ඉඳගෙන ගමේ මට තව දේවල් කරන්න පුළුවන් නේ කියලා. ඒ එක්කම තමයි මේ රජයේ පත්වීම ලැබෙන්නේ. ඒකත් එක්ක මට හිතුණා මම පොඩියට හරි ගොඩ නගා ගත්තු දෙයක් තියෙනවා නම් ඒ දේවල් වලින් තව අනාගත පරම්පරාවක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම හිතන්නේ මේ ගත්ත තීරණය තුළ මම පියවර දෙක තුනක් ඉදිරියට ගියා කියලා. මට මේ වෙද්දී මගේම කියලා දරු පිරිසක් ඉන්නවා. කවදා හරි මැරෙන දවසක ඒ අය දිහා බලලා හරි සතුටු වෙන්න පුළුවන්.

හේෂාන් පවුල ගැන කතා කළ නිසාම අහන්න හිතුණා, දැන්ම පවුලක් වෙන්න අදහසක් නැද්ද?

මේ වෙද්දී පෙම්වතියක් ඉන්නවා. ඉතා නොබෝ කාලයකින් අපි පවුලක් වෙයි.

සිනමා සිහිනයට කොහොමද මේ වෙද්දී තියෙන ඇරයුම?

ප්‍රදීප් මහේෂ්ගේ ඊළඟ සිනමා නිර්මාණයට මට ඇරයුම් ලැබිලා තියෙනවා. නමුත් මම ඒකට යන්න කලින් වේදිකාවේ සහ ටෙලි නාට්‍යය තුළ බොහෝ දුර තියෙනවා යන්න. මම තවම රංගනය කියන එක හදාරමින් ඉන්නේ. මේ රංගනය කියන විෂය තුළ මැරෙනකම්ම හදාරන්න දේවල් තියෙනවා.

මෙතෙක් ආ ගමන් මඟ ගැන තෘප්තිමත් ද?

තෘප්තිමත්. නමුත් වඩාත් තෘප්තිමත් නැහැ. මේ අවුරුදු 30ක ජිවිත කාලය තුළ මට තව බොහෝ දේවල් කරන්න තිබ්බා කියලා මටම හිතෙනවා. මේ කාලය ඒ මඟහැරුණු දේවල් නැවත ලබා ගනිමින් ඉන්න කාලයක් කිව්වොත් වඩාත් නිවැරදියි.

අනාගත බලාපොරොත්තු මොනවද?

මේ වෙද්දී මම කරන තරු ඉරිදා කියන ප්‍රෝග්‍රෑම් එක ලංකාවේ අංක එකේ ප්‍රෝග්‍රෑම් එක බවට පත් කර ගන්න තමයි මගේ බලාපොරොත්තුව. රෙඩ් මයික් හරහා මම සලකුණක් තිබ්බා වගේම ලංකාවේ ජනප්‍රියම කලා තරු සමඟ ඉරිදා සවස 3.30 සිට 5.30දක්වා කරන තරු ඉරිදා තුළිනුත් ලංකාවේ සලකුණක් තබන එක. ඒ එක්කම මගේ අධ්‍යාපනවේදී උපාධියට අවශ්‍ය කරන කටයුතු ටික මේ දවස් වල කරගෙන යනවා.

 

 

Comments