කිරින්ද පුහුල්වැල්ලේ අපි හදන පොහොර මැෂින් ලංකාවටම යි | සිළුමිණ

කිරින්ද පුහුල්වැල්ලේ අපි හදන පොහොර මැෂින් ලංකාවටම යි

මාතර පුහුල්වැල්ල, කිරින්දේ පිහිටි හරිත ලංකා Fertilizer and Machinery ආයතනය, රසායනික පොහොර භාවිතයෙන් විනාශ වූ ලංකා මහ පොළොව සුවපත් කිරීමේ කාර්යයෙහි නිරත තවත් එක් අභිමානවත් දේශීය සමාගමකි.

චීනයෙන් එන පොහොර නිෂ්පාදන යන්ත්‍රවලට අභියෝග කරමින් 100%ක් දේශීයව නිෂ්පාදනය කරන හරිත ලංකා යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කෙරෙනුයේ, කෘෂිකාර්මික ක්ෂේත්‍රය පමණක් ඉලක්ක කොටගෙන වීම විශේෂත්වයකි. රවිනාත් අසංක යනු, මෙම යන්ත්‍ර සූත්‍රවල නිර්මාණකරුවා ය.

ගස් අතු සහ කොළ සෙන්ටිමීටර දෙකේ කුඩා කැබලි බවට පත්කරන, Multi Chopper යන්ත්‍රය, ඔහුගේ පළමු කෘෂිකාර්මික නිර්මාණය යි. පොහොර හැළීමේ ක්‍රමවේදය 100%ක් නිවැරැදිව සිදු කරන කොම්පෝස්ට් සිෆ්ටර් යන්ත්‍රය සහ කාබනික පොහොර ඉතා කුඩා ඇට ලෙස නිපදවන ග්‍රැනියුලේටරය, ආදී වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේ විවිධ අවස්ථා සඳහා යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළ රවිනාත් ගේ නවතම නිර්මාණය වන්නේ, කාබනික පොහොර කුඩා කැබලි ලෙස නිෂ්පාදනය කරන කොම්පෝස්ට් Pelleting නවීන යන්ත්‍රයයි. කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය ඕනෑම වර්ගයක යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන ඔහු සිය කර්මාන්තය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" මම කරන්නේ, කාබනික පොහොර නිෂ්පාදනයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මැෂින් නිර්මාණය කරන එක. පටන් ගැන්මේ සිට මම සෑම මැෂිමක් ම නිර්මාණය කළේ එවැනි චේතනාවකින්. හැබැයි ඊට පසු මැෂිම ක්‍රියා කරවන ආකාරය සහ එහි සාර්ථකත්වය ප්‍රායෝගිකව පෙන්වා දීම සඳහා ඊට අදාළ පොහොර වර්ගයත් නිෂ්පාදනය කළා. පෙලට් සෑදීම ආරම්භ කළේ ඒ විදියට.

අද වන විට යාපනය, මඩකලපුව, අම්පාර ඇතුළු රටේ සෑම තැනකටම අපේ මැෂින් වර්ග නිෂ්පාදනය කොට ලබා දී තිබෙනවා. වැඩිම ඉල්ලුම තිබෙන්නේ, පෙලට් නිෂ්පාදනය කරන මැෂිම සඳහා යි. මොකද, ඒ මැෂිමේ තාක්ෂණය මේ වන විට මම හුඟක් දියුණු කර තිබෙනවා. මේ පොඩිම මැෂිමෙනුත් පැයකට පෙලට් කිලෝ 500ක් හදන්න පුළුවන්. දැනට අපි හදා තිබෙන ලොකුම මැෂිමෙන් පැයකට පෙලට් කිලෝ 8,000ක් හදන්න පුළුවන්. එය නිර්මාණය කළේ, ගම්පහ කර්මාන්ත ආයතනයක් සඳහා. පෙලට් නිෂ්පාදනය කිරීමෙහිලා මොඩර්න් සහ සාර්ථකම ශ්‍රී ලාංකේය නිර්මාණය ලෙස මේ මැෂිමට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ සහතික කිරීම් පවා ලැබී තිබෙනවා.

වැදගත්ම දේ, පිටරට මැෂිමක් මිල දී ගන්නා කාබනික පොහොර නිෂ්පාදකයකුට එහි යම් ප්‍රශ්නයක් මතු වුණොත් අහන්න කෙනෙක් නැහැ. නමුත් මගේ මැෂිම ගන්න කෙනාට මතුවන ඕනෑම ප්‍රායෝගික ගැටලුවක දී පැය 24ක් ඇතුළත මම විසඳුම ලබා දෙනවා. යාපනේ වැනි ඈතම පළාතකට වුණත් දවස් දෙකක් ඇතුළත අවශ්‍ය විසඳුම අනිවාර්යෙන් ලබා දෙනවා. මං හදන මැෂිමට වග කියන්න මම මේ රටේ ඉන්නවා. මේ සෑම මැෂිමක් ම නිර්මාණය කරන්නේ මාතර කිරින්ද පුහුල්වැල්ලේ මගේම ගෙදර කර්මාන්තායතනය කරගෙන.

මගේ කතාව ටිකක් වෙනස්. මම කවදාවත් අනුන් යටතේ වැඩ කළ කෙනෙක් නෙවෙයි. යකඩවලට සහ යන්ත්‍ර සූත්‍රවලට මගේ ඇල්ම ඇති වුණේ ඉස්කෝලේ යන කාලේ පටන්ම යි. මම ගියේ අපේ ගමේ ම පාසල වූ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයට. හැම වෙලාවෙම ඉලෙක්ට්‍රොනික් සහ මිකැනිකල් අංශයේ අලුත් සොයා ගැනීම් ගැනයි මගේ අවධානය තිබුණේ. පොඩි පොඩි දේවල් කළාට, අද වගේ ඒ කාලේ අපේ පාසල්වලින් හරි තල්ලුවක් ඒ දේවල්වලට ලැබුණේ නැහැ. හිතේ හයියට, මගේ ම උවමනාවට ආපු ගමනක් මේ.

උසස් පෙළින් පස්සේ මම රස්සාවලට ඉල්ලුම් පත්‍ර දැම්මේ නැහැ. කැඩුණු වාහන අරගෙන හැදුවා. මගේ තාත්තා කළේ මේසන් වැඩ. පවුලේ ළමයි හය දෙනෙක්. අපේ අම්මත් හරියට මහන්සි වුණා. මම ඉල්ලන වෙලාවට පුළුවන් විදියට තාත්තා සල්ලි දුන්නා. මං පරණ යකඩ අරන් එක එක දේ හැදුවා. එක වෙලාවක පොඩි JCB මැෂිමක් අරගෙන ඒක හැදුවා. පාරවල් සුද්ද කරන්න, වතු සුද්ද කරන්න වගේ දේවලට කුලියට දීලා ඒකෙන් මම හම්බ කළා. ඒ අතර තවත් පොඩි JCB යන්ත්‍රයක් ගත්තා. ඒ දෙකම විකුණලා කැඩුණු ගොයම් කපන 'බුතයා' මැෂිමක් ගත්තා. හැබැයි ඒ වෙනකොට මං විවාහ පත් වෙලා පුතාලා දෙන්නත් ඉන්නවා. ස්ථිර රස්සාවක් නැති වුණාට මම මේ වගේ පොඩි පොඩි දේවල්වලින් මුදල් ඉපැයුවා. කොරෝනා ආවේ ඔහොම ඉන්න කොට.

රසායනික පොහොර තහනම් වුණා කාබනික පොහොර අනිවාර්ය වුණා. අපේ ගම්වලත් තුන් හාර සියයක් දෙනා ව්‍යාපාරයක් විදියට කාබනික පොහොර හදන්න ගත්තා. හැමෝම පොහොර හදද්දී මම වෙනස් දෙයක් කල්පනා කළා.

'හැමෝම පොහොර හදන එකේ මං හදනවා, පොහොර හදන මැෂිමක්...' එහෙම හිතලා කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රධාන අවශ්‍යතාව වන කොළ අතු කැපීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස, මල්ටි චොපර් මැෂිමක් හැදුවා. ඒ වෙලාවේ ලංකාවේ තිබුණේ චීනයෙන් ගෙන්වූ මල්ටි චොපර් මැෂින් විතරයි. ඒකත් ගෙන්වා ගැනීමේ ප්‍රශ්න තිබුණා. ඒ නිසා මගේ මැෂින්වලට හොඳ ඉල්ලුමක් හැදුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වූ රජයේ වැඩපිළිවෙළ යටතේ මාස 5ක් ඇතුළත මැෂින් 272ක් මගෙන් ගත්තා. අද වෙනකොට රට පුරා ඒ මැෂින් 296ක් මම නිෂ්පාදනය කර බෙදා හැර තිබෙනවා.

ඒ වෙලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා 50% ක් ගෙවීමේ පදනම මත පොහොර නිෂ්පාදකයින් ට රජය විසින් මේ මැෂින් ලබා දුන්නා. මොකද, කාබනික පොහොර නිෂ්පාදනයේ පළමු පියවර ලෙස, හරිම ප්‍රමාණය වන සෙන්ටිමීටර දෙකේ ප්‍රමාණයට කොළ අතු කපා ගැනීම මේ මැෂිමෙන් නූලට තිතට සිද්ධ වුණා. ඒ වෙලාවේ වෙළෙඳපොළේ තිබූ මැෂින්වලින් කැපුණු කෑලි ලොකුයි. එක්කෝ හොඳටම කුඩු වුණා. ලංකාවේ කොයි තරම් මැෂින් හැදුවත් මගේ මැෂිම විතරයි, ගැටලු zero මැෂිමක් ලෙස අනුමැතිය ලැබුණේ. එය මට විශාල ආඩම්බරයක්. රජයේ ඇණවුම ලැබුණු ඒ වෙලාවේ මම සේවකයන් අට දෙනෙක් දාලා මගේ පූර්ණ අධීක්ෂණය යටතේ මාස හයක් ඇතුළත වැඩේ සම්පූර්ණ කළා. විශේෂත්වය වන්නේ, මේ සෑම මැෂිමක් ම ඩිසයින් කරන්නේ සහ හදන්නේ මම මයි.

ඒ වගේම, මේ වෙනකොට මම මොඩර්න් තාක්ෂණයෙන් යුතු පෙලට් මැෂින් විසි ගණනක් නිෂ්පාදනය කර තිබෙනවා. හදන සෑම මැෂිමක් සඳහා ම අවුරුදු දෙකක වගකීමේ සහතිකයක් ලබා දෙනවා. අදටත් ඒ මැෂින්වල ප්‍රශ්න නැති තරම්.

මගේ මූලික අවධානය තිබෙන්නේ පොහොර නිෂ්පාදන මැෂින්වලට නිසා මම පොහොර සහනාධාරයට එකතු වුණේ පසුගිය 2022- 2023 මහ කන්නය සඳහා යි. ඒ, මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය සහ දෙණියාය ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පෙලට් ටොන් 500ක් ලබා දෙමින්. ඊට කලින් විවිධ සමාගම්වලට තවත් පෙලට් ටොන් 500ක් විතර දී තිබෙනවා..."

රවිනාත් පවසන ආකාරයට, මැෂින් නිෂ්පාදනය මෙන්ම පොහොර නිෂ්පාදනය ද ඔහුට සතුට ගෙන දෙන ව්‍යාපාරයකි. ඒ අනුව, හරිත ලංකා පොහොර නිෂ්පාදන පෙළ යටතේ, hybrid විශේෂිත කැට පොහොර සහ සාමාන්‍ය කාබනික කැට පොහොර ලෙස, පොහොර දෙවර්ගයක් නිෂ්පාදනය කෙරෙයි.

" ඒ විතරක් නෙවෙයි, අපි කුරුඳු, වී, එළවළු, පලතුරු සහ මල්වලට සහ ගෙවතු වගාවටත් වෙන වෙනම පොහොර වර්ග නිෂ්පාදනය කරනවා. ඒ ඒ වගාවට අවශ්‍ය පෝෂණ සංඝටක අවශ්‍ය ප්‍රමාණවලින් මයි, මේ පොහොරවලට ඇතුළත් කර තිබෙන්නේ.

ඉදිරියට එන කන්නය සඳහා ජෛව දියර පොහොර නිෂ්පාදනය කිරීම සඳහාත් අප කටයුතු සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය රසායනාගාර හදා අවසන්. සාමාන්‍යයෙන් ජෛව දියර පොහොර අප හදන්නේ අපගේ පෙලට් පොහොරවල ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා යි. මේ කන්නයේ පටන් තමයි, අප වෙළෙඳපොළට එම ජෛව පොහොර නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ.

අපගේ පොහොර නිෂ්පාදන සඳහා අවශ්‍ය ගිණිසීරියා, වල්සූරියකාන්ත, පොල් අතු සහ කෙසෙල් කඳන් සපයා ගන්නා ක්‍රමවේදයක් අප සකසා තිබෙනවා. ඒවා පිරිසුදුවට, කිලෝ ගණනට කපා ගෙනැවිත් අප ආයතනයට භාර දෙන්නට පුළුවන්. අප අත්පිට මුදලට ඒවා මිල දී ගන්නවා. ඒ අනුව, පුහුල්වැල්ල, කිරින්ද අවට හුඟ දෙනකුට ඒ ඔස්සේ යම් ආර්ථිකයක් ගොඩ නැඟී තිබෙනවා.

ඒ වගේම අනෙක් අමුද්‍රව්‍ය ලෙස එප්පාවල රොක් පොස්පේට්, එළු, ගව සහ කුකුළු පොහොර මේ සඳහා අප යොදා ගන්නවා. හැටන් සහ කුලියාපිටිය පළාත්වලින් කුකුළු පොහොර කිලෝවක් රුපියල් 15/- සහ 18/- අතර මුදලකට අප මිල දී ගන්නවා. බුත්තල, වැල්ලවාය සහ හම්බන්තොට ප්‍රදේශවලින් වියළි ගොම පොහොර කිලෝව රුපියල් 10/- ගණනේ මිල දී ගන්නවා. 20%ක් දහයියා සහිත, බිත්තර දමන කිකිළියන් ගේ පොහොර තමයි, කුකුළු පොහොර ලෙස අප මිල දී ගන්නේ.

pellet නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳ අප බොහෝ සැලකිලිමත්. මොකද, ගුණාත්මක බවින් ඉහළ ප්‍රතිඵල ලබන්නට නම් අමුද්‍රව්‍යවල ප්‍රමිතියත් උසස් විය යුතුයි. පොහොර අලෙවියෙන් පමණක් අප නතර වන්නේ නැහැ. සෑම විටම පසු විපරමක් සිදු කරනවා. එවැනි පසු විපරම් කිරීමේ දී ගොවීන්ගෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරය පිළිබඳ අපට සතුටු වන්නට පුළුවන්. ඒ වගේම, 'මේ කන්නයේදී ත් මේ පොහොර ම දෙන්න...' කියා ගොවීන්ගෙන් ලැබෙන ඉල්ලීම්, ඔවුන්ගේ විශ්වාසය හරිත ලංකා වෙත ලැබී තිබෙන බවට හොඳ සාක්ෂියක්. එය අපව තවත් ධෛර්යමත් කරනවා.

දැනට සේවකයන් 22ක් අප කර්මාන්ත ආයතනයේ මැෂින් සහ පොහොර අංශයේ සේවය කරනවා. පොහොර සහනාධාරය නිෂ්පාදනය කරන කාලවල දී, සේවක සංඛ්‍යාව තවත් බඳවා ගන්නවා. ඉදිරියේදී මගේම තැනක කර්මාන්තායතනය පිහිටුවන්න සැලසුම් කර තිබෙනවා. මං හදන්නේ කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රසූත්‍ර පමණයි. මොකද, මගේ ගනුදෙනුව තිබෙන්නේ මහ පොළවත් සමඟ වන නිසා. ඒ වගේම, මාතර පුහුල්වැල්ලෙන් මුළු ලංකාවට ම මැෂින් හදන එකයි මගේ ලොකුම ඉලක්කය.

මාතර දිස්ත්‍රික් ලේකම්, වයි. වික්‍රමසිරි, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකුහේවගේ සහ මාතර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සියලුම නිලධාරීන් මට ලබා දුන් සහාය නිසයි, පෙලට් පොහොර නිෂ්පාදනය සහ මැෂින් නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන ඒම හරහා මේ තරම් දියුණුවක් ලබන්න පුළුවන් වුණේ.

රසායනික පොහොරවලින් විනාශ වූ ලංකා මහ පොළොව යළි පණ ගන්වන ජාතික කාර්යයට, මැෂින් සහ පොහොර නිෂ්පාදනය යන දෙආකාරයෙන් ම දායක වෙන්න ලැබීම මට සතුටක්. මගේ පවුලේ අයත් ඊට වක්‍රව හෝ දායක වීම තවත් සතුටක්. මගේ ලොකු පුතා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 9 වසරේ. එයා තමයි හුඟක් වෙලාවට මගේ මැෂින් ඩිසයින් කරන්න උදව් කරන්නේ. බිරිඳගෙන් ලැබෙන සහයෝගයත් ඒ වගේමයි. මගේ සේවක මණ්ඩලය, කැළුම් වැනි හිතවතුන් ඇතුළු මා වටා සිටින මේ හැමෝම නිසයි ජාතික වගකීමක් ඉටු කරමින්, පුද්ගලිකව අපිටත් දියුණු වෙන්න අවස්ථාව ලැබී තිබෙන්නේ.

ඉතින්, කාබනික පොහොර නිෂ්පාදනයේ යෙදෙන්නට කැමැති ඕනෑම නිෂ්පාදකයකුට අපගේ මේ සුවිශේෂී යන්ත්‍ර සූත්‍ර හෝ පොහොර පිළිබඳ දැන ගන්නට අවශ්‍ය නම්, 0716 969173 සහ 0715 778792 අංකවලින් අප ඇමතිය හැකියි..."

Comments