
කොරෝනා වසංගතය ගෙනාවේ මහා විනාශයක් පමණක් ම නොවේ. කළු වළාවේ රිදී රේඛා ද තිබිණි.
හිතපු නැති තරමට ගෙමිදුල් සුද්ද බුද්ද වූයේත්, ඒවා කලඑළි වී ගෙවතු වගා බවට පත් වූයේත්, ගෙවල්වලට ම කොටු වී ඉන්නට සිදු වූ ඒ වසංගත කාල පරිච්ඡේදයේ ය.
පන්නිපිටිය හිරිපිටිය පාරේ, එම්. කේ. සෙනෙවිරත්න සහ බී.කේ.සී.එස්. ශාන්ත, හිත මිතුරු අසල්වැසියන්ටත් එය එසේම විය.
අද SS Super Crop (Pvt) Ltd නම්, කාබනික පොහොර නිෂ්පාදන සමාගම බිහි වීම දක්වා පැමිණ ඇත්තේ, වසංගත සමයේ අසල්වැසි හිත මිතුරන් දෙදෙනකු වූ ඔවුන් දෙදෙනා තුළ එදා උපන් සිතිවිල්ලකි.
රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියකට සූදානම් වන එම්.කේ. සෙනෙවිරත්න, SS Super Crop ආයතනයේ අධ්‍යක්ෂවරයෙකි. සිය මිතුරා සමඟ ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපාරය පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"ඇත්තටම අපි දෙදෙනාම මේ අදහස ක්‍රියාත්මක කරන්නට පෙර ඉතා කැපවීමෙන් මේ පිළිබඳ අධ්‍යයනය කළා. අවශ්‍ය තැන්වලට ගොස් දැනුම ලබා ගත්තා. ලීටර් දාහේ ටැංකි හයකින් දියර පොහොර නිෂ්පාදනය කර තමයි, අපි මේ කර්මාන්තය කුඩාවට පටන් ගත්තේ. අද අපිට දියර පොහොර ලීටර 500 ධාරිතාව ඇති ටැංකි 400ක් සහ ලීටර 1,000ක් ගබඩා කළ හැකි ටැංකි 35 ක් තිබෙනවා.
අපි දියර පොහොර නිෂ්පාදනය කරන්නේ සාලයා, හුරුල්ලා සහ ලින්නා වැනි කුඩා මාළු, ෂුගර් මොලෑසස් හෙවත් උක් පැණිවල පැහෙන්නට තැබීමෙන්. ෂුගර් මොලෑසස් අපි ලබා ගන්නේ පැල්වත්ත සීනි කම්හලෙන්. ස්ප්‍රීන් රෝස් ලෙසත් හඳුන්වන ඒ අමුද්‍රව්‍යය සාමාන්‍යයෙන් ලීටර 13,000ක බවුසරයක් අපිට මාසිකව අවශ්‍ය වනවා. පුංචි මාළු අඹරා, උක් පැණි සමඟ පැහෙන විට එන්නේ දිවුල් මිශ්‍ර සුවඳක්. මේ අවට කිසි කිසිදු දුර්ගන්ධයක් නැහැ.
මාළු අපද්‍රව්‍ය ගත් විට නම් ඒවා පැසවද්දී යම් දුර්ගන්ධයක් එනවා. ඒ නිසාම අපි විවිධ අත්හදා බැලීම් කළා. හුරුල්ලා, සාලයා සහ ලින්නා, කිලෝ 10,000-15,000ක් පමණ අප මාසිකව මිල දී ගන්නවා. මිරිස්ස ධීවර වරායෙන් සහ පෑලියගොඩ මාළු මාකට් එකෙන් අපිට මේ අලුත් මාළු අවශ්‍යතාව සපුරා ගත හැකියි. අලුත් මාළු පල්ප කරන්නට මෝටර් යෙදූ ඇඹරුම් යන්ත්‍රයක් අප සතුයි. එම මාළු පල්ප තමයි උක්පැණිවලට මිශ්‍ර කරන්නේ. ඊළඟට ගිණිසීරියා සහ වල් සූරියකාන්ත අඹරා ගත් යුෂත් ඊටම මිශ්‍ර කරනවා. උක් පැණිවලින් මේ පැසවීම දින 21ක් සිදු කරනවා.
ඒවා ලීටර 400 ටැංකිවල දින 21ක් පැසුණාට පසු ලීටර 5,000 ටැංකිවල තැන්පත් කරනවා. එතැනින් තමයි, නළ මඟින් බෝතල් කිරිම සිදු කරන්නේ. කාබනික දියර පොහොර පැසවන කාලය තුළ අවශ්‍ය වන්නේ වියළි සිසිල් කාලගුණ තත්ත්වයක්. මේ රබර් ගස් යට සිසිල් සෙවණ ඊට තෝතැන්නක්. අපි මේ සඳහා ස්වාභාවික පරිසරයක් ම තෝරා ගෙන තිබෙන්නේ එම හේතුව නිසයි.
අනික, අපි හදන Organic Liquid එක පත්‍ර පෝෂකයක්. විශේෂයෙන් තේ, ගොයම් වගේම එළවළු පළාවලටත් ඉතාම පෝෂණීය දියර පොහොරක්.
ජෛව දියර පොහොර අප නිෂ්පාදනය කරන්නේ අපට ම ආවේණික ක්‍රමවේදයකට අනුවයි. ඒවා යෙදිය යුත්තේ, කාබනික ඝන පොහොර හා මිශ්‍ර කොට ගහේ මුලටයි. වගාවේ අවස්ථා දෙකක දී ගොවීන් එලෙස අපගේ ජෛව දියර පොහොර භාවිත කරනවා. නයිට්‍රජන් පොටෑසියම් ඇතුළු ශාක මූලයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ එහි අඩංගුයි.
අපගේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර සහ කාබනික ඝන පොහොර හෙවත් කොම්පෝස්ට් කියන තුන් වර්ගයයි. ඉදිරියේ දී pellets හෙවත් කැට පොහොර නිෂ්පාදනය සඳහාත් අප කටයුතු සූදානම් කරමින් සිටිනවා.
අපගේ කර්මාන්තශාලාව පුළුල් කිරීමේ දී, ගොවීන්ට වඩාත් පහසුවෙන් යෙදිය හැකි සහ පසට හෙමින් පෝෂණය උරා ගන්නා එම pellets නිෂ්පාදනයට ප්‍රමුඛතාවක් දීමට බලාපොරොත්තු වනවා.
අපගේ කාබනික ඝන පොහොර සඳහා ප්‍රධාන මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන්නේ ගව, එළු සහ කුකුළු පොහොරයි. මේවා අප සෑම මාසයක ම ටොන් 600 සිට1,000 දක්වා ප්‍රමාණයන් ඈත පළාත්වලින් මිල දී ගන්නවා.
වියළි ගොම ඇඹිලිපිටිය, පුත්තලම, හම්බන්තොට, තණමල්විල ප්‍රදේශවලිනුත්, එළු පොහොර ජාඇල, මිනුවන්ගොඩ වැනි පළාත්වලිනුත්, කුකුළු පොහොර කුලියාපිටිය, වෙන්නප්පුව, කොටදෙණියාව, හලාවත ප්‍රදේශවලිනුත් අප මිල දී ගන්නවා.
හම්බන්තොට සහ රන්න වැනි පළාත්වල දුෂ්කර ගම්මානවල සෑම ගෙදරකම පාහේ හරක් සිටින නිසා, ඔවුන් අප වෙත වියළි ගොම සපයා අමතර ආදායමක් උපයා ගන්නවා.
ඒ වගේම ග්‍රාමීය කාන්තාවන් ගොම වියළීම දැන් ඉතා උවමනාවෙන් කරගෙන යනවා. එය ඔවුන්ගේ ආර්ථිකයට හයියක් කරගෙන තිබෙනවා. මේ ආකාරයට හොඳ ප්‍රමිතියකින් වියළි අමුද්‍රව්‍ය ලබා දෙන එවැනි ගම්මානවලට සහ ඔවුන්ගේ ආර්ථිකයට පොඩි හරි දායකත්වයක් දෙන්න මේ කර්මාන්තය හරහා අපිට පුළුවන් වී තිබෙනවා. එය විශාල සතුටක්. විශේෂයෙන් වියළි ගොම කිලෝවකට රුපියල් 8- 12ක් දක්වා අපි එවෙලේම මුදල් ලබා දෙනවා.
අනික, වියළි කලාපයේ තද අව්ව නිසා හරි ඉක්මණින් මේ වර්ග තුනම ඉතා හොඳින් වේළෙනවා. වල්සූරියකාන්ත සහ ගිණිසීරියා අවශ්‍යතාව නම් මේ හිරිපිටිය අවටින් අප සපයා ගන්නවා. මේ පළාත්වල තවමත් වල්සූරියකාන්ත සහ ගිණිසීරියා ශාක ඕනෑ තරම් තිබෙනවා. අර්ධ නාගරික පළාතක් වූවත් මෙමඟින් මේ ප්‍රදේශවල ජනතාවටත් යම් කිසි ආදායමක් උත්පාදනය කරගන්න පුළුවන් වී තිබෙනවා.
අප පොහොර නිෂ්පාදනයේ දී සෑම අලුත් කාණ්ඩයක් ම පොහොර ලේකම් කාර්යාලයේ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනවා. නමුත් ඊට කලින් SGS ලංකා රසායනාගාර හරහාත් අපි පරීක්ෂණ සිදු කරනවා. ඉන් පසුවයි, අපි පොහොර ලේකම් කාර්යාලයේ පරීක්ෂණ සඳහා අපගේ සාම්පල ඉදිරිපත් කරන්නේ.
අපි SS Super Crop කාබනික පොහොර ව්‍යාපාරය පටන් ගත්තේ 2021 ජුනි මාසයේ ලීටර 1,000 ටැංකි හයකින්. මුලින්ම අපි අපේ දියර පොහොර නිෂ්පාදනය දුන්නේ තේ වවන ගොවීන්ට. දළු කඩලා මේ දියර පොහොර ස්ප්‍රේ කළාම ඊළඟ වාරයේ සිට තේ දල්ල මොලොක් ගතියෙන් වැඩියි. ප්‍රමාණය සහ බරත් වැඩියි. නෙළුව, සිංහරාජය, රත්නපුර ප්‍රදේශවල තේ ගොවීන් අතර තමයි, අපි මුලින්ම අපගේ දියර පොහොර ප්‍රචලිත කළේ. පාවිච්චි කළ තේ ගොවීන්ගෙන් යළි යළිත් හොඳ ඉල්ලුමක් ආවා.
රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළට අපිත් ටෙන්ඩර්කරුවන් ලෙස ඉදිරිපත් වුණේ ඉන් අනතුරුව යි.ඒ සඳහා අපටත් අවස්ථාව ලැබුණා.ඒ අනුව, 2021- 22 මහ කන්නය සඳහා තමයි අප මුලින්ම දියර පොහොර ලීටර් 45,000ක් සැපයුවේ. ඒ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුලේගම, උඩුබද්දාව සහ හොරොම්බාව ගොවිබිම්වලට. ඊළඟට, ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ කෙලිවෙඩ්ඩි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දියර පොහොර අවශ්‍යතාව ලබා දුන්නා. ඊටත් පස්සෙ තමයි, ඝන පොහොර නිෂ්පාදනයට අපි අතගැසුවේ.
මේ ආකාරයට 2021- 22 මහ කන්නයේ ලීටර් 45,000ක්, 2022 යල කන්නය සඳහා කාබනික දියර පොහොර ලීටර් 96,000ක්, ජෛව දියර පොහොර ලීටර් 135,000 ක් සහ කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 1,200 ක් ලබා දී තිබෙනවා.
22- 23 මහ කන්නය සඳහා කාබනික දියර පොහොර ලීටර් 25,000ක්, ජෛව දියර පොහොර ලීටර් 25,000ක් සහ කාබනික ඝන පොහොර (කොම්පෝස්ට්) මෙට්‍රික් ටොන් 350ක් ඒ ආකාරයෙන්ම ලබා දී මේ වන විට කන්න තුනක් අප සම්පූර්ණ කර තිබෙනවා.
ගිය වතාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ගොඩ බෝග සඳහාත් අපගේ පොහොර ලබා දුන්නා. ගොවීන්ගේ ප්‍රතිචාරය ඉතා ඉහළයි. බෝංචි ඵලදාවෙන් ඔවුන් වෙනදාට මුර 4-5ක් කඩන එක, මුර 6-7ක් දක්වා ඔවුන්ගේ අස්වනු වර්ධනය වී තිබුණා. ඒ වෙලාවේ බෝංචි වගාවට වැළඳී තිබූ කහ පුල්ලි රෝගය අපගේ මේ ජෛව පොහොර භාවිතයෙන් අඩු වූ බව ඔවුන් පැවසුවා.
කොම්පෝස්ට් සමඟ කලවම් කර ජෛව පොහොර යොදන්නේ ගහේ මුලට. එවිට හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය ඉතා හොඳින් සිදු වනවා. බෝංචි වගාව සඳහා බදුල්ලේ එළවළු ගොවීන් අනුගමනය කර තිබුණේ මේ ක්‍රමවේදය යි..."
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති බී.කේ.සී.එස්.ශාන්ත, SS Super Crop ආයතනයේ අනෙක් අධ්‍යක්ෂවරයා යි. සිය මිතුරා සමඟ ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපාරය පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"ඇත්තටම අපේ පොහොර නිෂ්පාදනය සඳහා සපයා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ අප බොහෝ සැලකිලිමත්. අප වියළි ගොම, කුකුළු සහ එළු පොහොර ලබා ගන්නා ගොවීන් වෙත අවශ්‍ය ඇසුරුම් බෑග් පවා සපයනවා. එම අමුද්‍රව්‍යවල වියළි බව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා. ඇතැමුන් කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී වැව් මඩ භාවිත කළත්, අප එක දශමයක් හෝ වැව් මඩ එකතු කරන්නේ නැහැ. ඩොලමයිට්, පොස්පේට්, පෙල්ස්පාර් පාෂාණ පමණයි අප ප්‍රධාන අමුද්‍රව්‍යවලට අමතරව, එකතු කරන්නේ.
දියර පොහොර සඳහා භාවිත කරන කුඩා මාළු ලබා ගැනීමේ දී පවා, ඒවා අලුත් මාළු බවට අප සහතික කර ගන්නවා. මොකද, මුල් කාලයේ අපටත් වැරැදුණු තැන් තිබුණු නිසා.
අපේ කර්මාන්තය හරහා සෑම විටම තිහකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා බිහි වනවා. මේ හිරිපිටිය අවට ඉන්න අය නිසා ඔවුන් බොහොම කැමැත්තෙන් පැමිණෙනවා.
අප නිෂ්පාදනය කරන පොහොරවල සාර්ථකත්වය පිළිබඳ අප සෑම විටම පසු විපරමක් කරනවා. ඒ සඳහා ගොවිබිම්වලට යනවා. ඒ වගේම, අපි ම ආදර්ශ කුඹුරක් කරගෙන යනවා. අපේ පොහොර පමණයි, ඒ සඳහා අප භාවිත කරන්නේ. අපගේ පොහොර පමණක් භාවිත කොට ගත හැකි සාර්ථකත්වය, අපි මේ ආදර්ශ කුඹුර හරහා අත්විඳ තිබෙනවා. ඒ වගේම, අපගේ පරිශ්‍රයේ ඇති ගෙඩි පිරුණු මේ කුඩා කොස් ගහ අවුරුදු තුනෙන් මේ විදියට ඵල දැරුවේ අපගේ ජෛව සහ කාබනික පොහොර මිශ්‍රණය යෙදීමෙන්. මේ විදියට අපි සෑම විටම ආදර්ශ වගාවන් කර, අපගේ පොහොර භාවිතය පිළිබඳ සාර්ථකත්වය අප ම අත්හදා බලනවා.
පළාතෙන් පළාතට උෂ්ණත්වය සිසිලස කුමක් වුවත් ක්ෂුද්‍ර ජීවී වර්ධනය සඳහා අපගේ පොහොරවලින් දැඩි බලපෑමක් තිබෙන බව සනාථ වී තිබෙනවා. එය SS Super Crop පොහොරවල සුවිශේෂී ගුණාංගයක්.
තව දෙයක් කිව යුතුයි. දැඩි උත්සාහයෙන් අප මේ කර්මාන්තය කරගෙන යන්නේ, මේ සඳහා අප තුළ තිබෙන කැමැත්ත සහ ආසාව නිසයි.
ඒ නිසා වැටීම් නැඟීම් වැනි මොන තත්ත්වයක් යටතේ වුවත් අප ඉදිරියට යනවා. රජයේ පොහොර සහනාධාරය සඳහා ලබා දුන් නිෂ්පාදන සඳහා මුදල් ලැබීමේ ප්‍රමාදය තමයි දැනට තිබෙන ලොකුම බාධාව. ඒවා හැදෙනවා නම් අපිටත් ඔළුව උස්සන්න පුළුවන්. ඇත්තටම අපිටත් අවශ්‍ය, රජයත් අපහසුතාවට පත් නොවන ආකාරයට කර්මාන්තකරුවන් විදියට අපිත් හිස ඔසවා, මේ ව්‍යාපාරය කරගෙන යන්නයි. මේ මහ පොළොව සුවපත් කරන කාර්යයට දායක වෙන්නයි.
මේ මොහොත වන විටත්, ජෛව දියර පොහොර ලීටර 50,000ක්, කාබනික දියර පොහොර ලීටර 100,000ක් සහ කාබනික ඝන පොහොර ටොන් 2500ක් අප සූදානම් කර ගෙන තිබෙනවා. තවම පොහොර සහනාධාරය පිළිබඳ තීරණයක් නැහැ. රජයේ තීරණය සහ ප්‍රතිචාරය ලැබෙන තුරු පොහොර නිෂ්පාදනය කරන් අපි දැන් බලාගෙන ඉන්නවා.
කොරෝනා සමයේ ඇත්තටම මං මේ ඉඩමේ බවබෝග වවන්න ගත්තා. ඒ වැවීම එක්කයි, ආසාව ඇති වුණේ. ඊළඟට අපි දෙදෙනා එක්ව පොහොර හදන්න කතා වුණා. ඒ 2021 අවුරුද්දේ. ඒ උත්සාහය තමයි අද අපිව මෙතැනට ගෙනැවිත් තිබෙන්නේ. පුංචි වගා බිමක් හැටියට පටන් ගත් මේ බිම තමයි අද අපේ ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාව, කුඩා රසායනාගාරය සහ කාර්යාලය පවත්වාගෙන යන්නේ.
ඉදිරියේදී අපි අපගේ කර්මාන්තශාලාව තවත් පුළුල් කොට, පෙලට් සෑදීම සඳහා සැලසුම් කර තිබෙනවා අපි ළඟ හොඳම අමුද්‍රව්‍ය තිබෙන නිසා, පෙලට් නිෂ්පාදනය වෙත යොමුවීම ඉතා ඉක්මණින් සිදු වනවා. එවිට තව තවත් මේ පළාතේ ජනතාවට රැකියා අවස්ථා බිහි කරන්නටත්, ඈත ග්‍රාමීය පළාත්වල ජනතාවගෙන් අමුද්‍රව්‍ය මිල දී ගැනීම මගින් ඔවුන්ගේ ආර්ථිකයට හයියක් වෙන්නටත් අපිට හැකි වේවි.
ඒ වගේම ගොවි බිම් සරු සාර කර, රසායනික පොහොරවලින් විනාශ වූ මේ මහ පොළොව යළි නීරෝගි කරන කාර්යයට මීට වඩා දායක වන්නට අපට හැකි වේවි. ඒ සඳහා අපේ සහාය අවශ්‍ය ඕනෑම කෙනකුට පුළුවන් මේ අංකවලින් අප අමතන්න. 0774274333, 0773757111.
ඡායාරූප මාලන් කරුණාරත්න