පසුගිය කාලේ ජවිපෙට එකතු වුණු අය ජවිපෙ අවසානය ලියලා යයි | සිළුමිණ

පසුගිය කාලේ ජවිපෙට එකතු වුණු අය ජවිපෙ අවසානය ලියලා යයි

- ජවිපෙ රැස්වීම්වලට සෙනඟ ආවාට එතැන සැබෑ ජනමතය නෑ.  අද ජවිපෙ දේශපාලනය පටන් ගන්නෙම වෛරයෙන්
- මැතිවරණ වේදිකාවලටයි රැස්වීම්වලටයි යන වියදම් ගත්තාම දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩිම මුදලක් වැය කරන්නේ ජවිපෙයි

ඔබ 1979 දී ජවිපෙට සම්බන්ධ වෙනවා. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකු ලෙස කටයුතු කර 2008 වසරේදී ඉන් ඉවත් වෙනවා. ජවිපෙ සමඟ ඔබේ අත්දැකීම් විග්‍රහ කළහොත්?

මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙසයි ජවිපෙට සම්බන්ධ වෙන්නේ. ඉන් පසුවත් ජවිපෙ සමඟ කටයුතු කරලා මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුවත් නියෝජනය කරලා 2008දී මම ජවිපෙන් ඉවත් වෙනවා. ජවිපෙ සමඟ වැඩ කටයුතු කිරීමේදී ඉතාමත් සාධනීය අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීම් ලැබුවා. අපි දුක්ඛිත කාල පරිච්ඡේද ගතකළා. විජේවිර සහෝදරයා සමඟ එකතු වෙලා වැඩ කළා. ජවිපෙන් අපි අපේක්ෂා කළ ගමන වෙනස් වුණාට පසුව එනම්, තවදුරටත් ජවිපෙ මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කරන්න අසමත් කියන හේතුව යටතේ අපි ජවිපෙන් ඉවත් වුණා. ජවිපෙ කියන දේශපාලන ව්‍යාපාරය 1971,1989 අරගලවල හිටියා. එහෙත් 2002 අරගලයට සහාය දුන්නාද නැද්ද කියන එක මට ගැටලුවක්. 2022 දී ජවිපෙ නායකයන් මුලින් කිව්වා එය සංවිධානාත්මක එකක් එයට සහාය දෙන්නේ නැහැ කියලා. නමුත් පසුව එයාලා අරගලය කළා කියලා කියනවා. ඒ නිසා ඒ පිළිබඳ අවිනිශ්චිත තාවයක් තිබෙනවා. එහිදී අපි තේරුම් ගත් දෙයක් තමයි ඕනෑම දෙයක් කරන විට භාවිතයෙන් සිදු කරන පුද්ගලයාට තරම් එළියේ ඉඳලා දකින අයටවත් එයට ආශිර්වාද කරන අයටවත් එහි යථාර්ථය තේරුම් ගන්න බැහැ. ඒ නිසා පාසල් සිසුවෙක් විදිහට ආරම්භ කරන මතවාදය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් සහ විවිධ සමාජ වගකීම් යන සෑම අදියරකදීම මම ජවිපෙ වෙනුවෙන් කැප වුණා. ඒ පිළිබඳ කනගාටුවක් හෝ විශේෂ සතුටක් නැහැ. එය මා ලද සමාජ දේශපාලන අත්දැකීමක් කියලා මම හිතනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය­‍ෙයකුව සිටියදී ජවිපෙට සම්බන්ධ වෙන ඔබට 1988- 1989 ජවිපෙ මතක සහ ඉන් අනතුරුව බිඳ වැටුණ ජවිපෙ ගොඩනැඟීම පිළිබඳ කතා කළහොත්?

ඇත්ත වශයෙන්ම අපිට මුල් කාලේ ජවිපෙන් ලැබුණ උපදෙස් තමයි විශ්වවිද්‍යාල උපාධිය අරගෙන දේශපාලනය කරන්න කියලයි. අද වනවිට ජවිපෙට අවශ්‍ය උපාධිය කරගන්න බැරිව විශ්වවිද්‍යාලවල අවුරුදු ගණන් ඉන්න පිරිස්. අද පක්ෂයේ පූර්ණ කාලීනව ඉන්නේ එවැනි අයයි. මම 1981දී විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සිටියා. ඉන්පසුව අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වුණා. ඒ කාලයේ අපි අරගල, සටන් කළා. වධකාගාරවල සිටියා, ගෙවල්වලට යන්න බැරිව හැංඟිලා හිටියා. එදා අපි කරපු දේශපාලනයක් සමඟ අපි ඒ අත්දැකීම් අත් වින්දා.

වසර 2008න්් පසුව ජවිපෙන් ඉවත් වූ ඔබ යම් දේශපාලන බල කඳවුරකට සම්බන්ධ වෙනවා. ඒ ගැන සඳහන් කළහොත්?

මම ජවිපෙන් ඉවත් වෙන්නේ යුද්ධය අවසන් අදියරේදී පක්ෂයේ ඇතිවූ දේශපාලන ගැටලු නිසයි. යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දෙන්නයි අපිට අවශ්‍ය වුණේ. ඒ ගැන අපි සතුටු වෙනවා. මම ජවිපෙන් ඉවත් වෙලා විමල් වීරවංශ මහතා සමඟ දේශපාලන ව්‍යාපාරයක් හදා ගත්තා. එය ජාතික නිදහස් පෙරමුණයි. ඉන් අනතුරුව එම පක්ෂයත් සමඟත් යන්න පුළුවන් දුර ගිහින් ගමන අවසන් කළා. ශ්‍රීලනිප ප්‍රගතිශිලී ව්‍යාපාරයක් ලෙස හොඳයි කියලා අද මම ඒ සමඟ ඉන්නවා. ඒ නිසා අද ශ්‍රීලංනිප ආසන සංවිධායකයකු ලෙසත් කටයුතු කරමින් දේශපාලන ක්‍රියාවලියේ ඉන්නවා.

වාමාංශික දේශපාලන ගමන් මඟක ගිය ජවිපෙ 2004 වසරේදී එය වෙනස් කරනවා පමණක් නොවෙයි, දක්ෂිණාංශික යැයි කියා ඔවුන් විසින්ම ලේබල් කරන ලද පක්ෂයක් සමඟ එකතු වී මැතිවරණයටත් ඉදිරිපත් වෙනවා. ඔබ මෙය දකින්නේ කෙසේද?

ජවිපෙ ඇතුළු ලංකාවේ වාමාශික ව්‍යාපාරයට වැරදුණේ සංස්කෘතිය හඳුනා ගන්නේ නැතුව පන්සලට පිටුපාලා ගොස් දේශපාලනය කිරිමෙනුයි. ඒ අයට තමන්ගේ දේශපාලන ගමන යා නොහැකි වෙන්නේ ඒ නිසයි. මම විශ්වාස කරනවා 1971 කරපු අරගලයත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ජවිපෙ අභ්‍යන්තර ස්වයං විවේචනය කුමනාකාරයෙන් තිබුණත් ජවිපෙ එදා සමඟි පෙරමුණ ආණ්ඩුව බලයට ඇවිල්ලා තියෙද්දි 1971 ඇමරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ගහපු ක්‍රියාවත් විජාතික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි මා දකින්නේ. 1971 අරගලයත් පැන නඟින්නේ 1989 විජාතික බලපෑමකට ලක් වීමෙනුයි. එතැනිනුත් අපි නැඟී ආ ව්‍යාපාරයත් අවසන් කරනවා. ඒ වගේම ප්‍රගිතශීලී ව්‍යාපාර සමඟත් අත් වැල් බැඳන් යන ගමනෙදිත් 2004 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සමඟ පරිවාස ආණ්ඩුවක් හදලා ඡන්දය ඉල්ලලා යන ගමනේදී විවිධ කුමන්ත්‍රණවලට හසු වුණා. ඒ නිසා බලයට එන්න පුළුවන් හොඳම අවස්ථාව අතහැරලා ජවිපෙ නැවත එළියට ගිහිල්ලා රාජපක්ෂ මහතාට මුලින් සහාය දීලා පසුව අතහැරලා මහින්ද රාජපක්ෂ ළඟට අධිරාජ්‍යවාදින් ගෙනැල්ලා තියලා ඉවත් වෙලා යෑමේ ප්‍රතිඵලය නිසා එයත් අසාර්ථක වුණා.

අරගලවලින් රාජ්‍ය බලය ලබා ගැනීමට හැකි බව ඇතැම් වාමාශික ව්‍යාපාර කියනවා. එවැනි ශක්තිමත් දේශපාලන ව්‍යාපාර මේ රටේ තිබෙනවාද?

මේ රටේ අරගල ඇති වුණාට ඒ අරගලවලින් දේශපාලන බලය ලබා ගැනීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජවිපෙටවත් වෙනත් වාමාංශික දේශපාලන ව්‍යාපාරයකටවත් හැකියාවක් නැහැ. ඒ අරගල අරගලකරුවන් විසින් සැලසුම් සහගතව කරපු අරගල නොවෙයි. කුමන හෝ තැනක කුමන හෝ කණ්ඩායමක් විජාතික බලපෑම් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ දෙයක්. මම විශ්වාස කරන්නේ නැහැ මේ යන රටාව අනුව ජවිපෙට මේ රටේ ජනතාවගේ ඡන්දෙන්වත් මේ නායකයෝ කිහිප දෙනත් සමඟ බහුතරය ඡන්ද අරගෙන ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි.

තනි පක්ෂයක් ලෙස මැතිවරණයකට ඉදිරිපත් වූ කිසිදු අවස්ථාවක ජවිපෙට විශිෂ්ට ජයක් නොලැබෙන්නේ ඇයි?

ජවිපෙ ලොකු රැස්විමක ලොකු සෙනඟක් පෙන්නුවට සැබෑ ජනමතය පිළිඹිබු කරන්න ආවා සෙනඟ නොවෙයි ඒ රැස්වීම්වල ඉන්නේ. එක් දිස්ත්‍රික්කයක ඉන්න එකම කණ්ඩායමක් තමයි හැමදාම ජවිපෙ රැස්විම්වලට එන්නේ. දේශපාලන ව්‍යාපාරයකට ජනමතයක් හදලා ඒ මතයෙන් බලය ගෙන ඒමට ක්‍රියාවලියක් තිබෙනවා නම්, ඔවුන් සකල විධ ක්ෂේත්‍රයන්ගෙන්ම ඉදිරියට ඉන්න අවශ්‍යයි. ජවිපෙ මේ රටේ දේශපාලන බලය හුවමාරු කර ගන්න තැනක සිටිනවාද කියන කාරණය ගැටලුවක්. ඡන්ද ව්‍යාපාරයට කොතරම් සෙනඟ ගෙනත් පෙන්නුවත් කොට්ඨාසය දිනාගන්න අවශ්‍ය ඡන්ද ඒ අයට තියෙනවාද කියන කාරණයත් ගැටලුවක්. පළාත් පාලන මැතිවරණය පවත් වන්නේ කොට්ඨාසයක් දිනා ගැනීමටයි.

ලංකාවේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට අද රැල්ලක් හැදිලා නැහැ. කිසිදු දේශපාලන ව්‍යාපාරයකට බලය ලබා ගැනීමට හැකියාවක් නැහැ. පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්න වෙන්නේ පක්ෂ තුනක්වත් එකතු වෙලයි. තනි පක්ෂ එකකටවත් තනිවම ජයග්‍රහණය කරන්න බැහැ. මේ ජන්දය දිනන්න නම් අනිවාර්යෙන් කොට්ඨාසයක් දිනන්න අවශ්‍යයි. නමුත් ජවිපෙ හීන දැක්කට කොට්ඨාසයක් දිනන්න ඡන්ද හම්බ වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවැනි තැනකට ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෝරලා නැහැ.

පළාත් පාලන මැතිවරණය ජවිපෙ ජයග්‍රහණය කරන බවත් එය ජාතික තලයේ දේශපාලන බල පෙරළියක මූලාරම්භය විය හැකි බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

කොට්ඨාසයකින් අවම වශයෙන් ඡන්ද හාර දාහක් තියෙනවා. එයින් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට ඡන්ද දෙදහසක්වත් අවශ්‍යයි. එසේ හැකියාවක් නැතුව කොහොමද ජවිපෙ ජයග්‍රහණය කරන්නේ? මේ රටේ දේශපාලනඥයන් පුම්බන්නේ ඇතැම් මාධ්‍යය. සමහර මාධ්‍යවලින් පෙන්නනවා ජවිපෙට සෙනඟ ඉන්නවා කියලා. නමුත් එය නොවෙයි මහ පොළොවේ ඇත්ත. රෝහණ විජේවීර සහෝදරයා 1982 ජනාධිපතිවරණයට ඉල්ලුව වෙලාවේ පැදුරු අරන් ඇවිත් නැවතිලා බලන් හිටියා මිනිස්සු. ඒත් ඒ මිනිස්සු ජන්දය දුන්නේ නැහැ.

ජවිපෙට මහජන ව්‍යාපාරයක් ලෙස ජනතාව අතරට යන්න බැරි බවද ඔබ කියන්නේ?

ඔව්, මහජන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යන්න බැරි හේතුව සොයා බැලීමේදී ජවිපේ දේශපාලනය ගණනය කිරීමේදී පෙනී යන කරුණක් නම් අද ජවිපෙ දේශපාලනය පටන් ගන්නේ වෛරයෙන්. මිනිසුන් තුළ වෛරය සහ ගැටුම් ඇති කරලා වෛරය රටේ මිනිසුන් තුළ වපුරන්නයි ඒ අය උත්සාහ කරන්නේ. වෛරය සහ ක්‍රෝධය තුළින් ජවිපෙ දේශපාලනය ඉවත් කරලා සමාජ සංස්කෘතික වටපිටාව තේරුම් අරගන දේශපාලනය නොකරන තාක් කල් ඒ අයට දේශපාලන බලය ගන්න බැහැ. ඒ අයට රැල්ලක් තියෙනවා කියලා කියන්නේ එකම පිරිසක් විසින්. ඒ අය සමාජ ජාල මාධ්‍යවල ඒ බව ප්‍රදර්ශනය කරනවා. ඇත්ත මතය හොයන්න නම් ඔවුන්ට ගමේ ඡන්ද දෙන්න ඉන්නේ කවුද? ඒ අය සමඟ අත්වැල් බැඳගෙන ඉන්නේ කවුද? කියලා බලන්න අවශ්‍යයි. සජබෙටවත් ජවිපෙටවත් තවම දේශපාලනිකව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට තරම් ශක්තියක් නැහැ.

ජවිපෙට මේ රටේ දේශපාලන බලය හුවමාරු කර ගැනීමට හැකියාවක් නැති බවද ඔබ කියන්නේ ?

දේශපාලන බල හුවමාරුවක් වෙන්න තරම් දේශපාලන න්‍යාය පත්‍රයක් සමඟ ගොඩ නැඟුණු දේශපාලන ව්‍යාපාරයක් අපේ එක පක්ෂයකවත් නැහැ. ජවිපෙටත් නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකට ලොකු බලයක් නැහැ.

එදා පක්ෂයේ සිටි නායකත්වය තුළ උගත්කම, කැපවීම සහ විශ්වාසය තිබුණත් අද නායකත්වය තුළ එය දක්නට නොලැබෙන බවද ඔබේ අදහස ?

උගතුන් කියන අය අතරින් සහතිකවලින් උගතුන් මම පිළිගන්නේ නැහැ. කොට්ඨාස දහයකටම ගුරුවරුන්, වෛද්‍යවරුන් දාලා උගත්තු දැම්මා කිව්වත් වැඩක් නැහැ. අදාළ අංශවලට ඒ අය උගත්තු වුණාට දේශපාලනයේදී ඒක ගැළපෙන්නේ නැහැ.

නිවැරදි දිශානතියකට රට ගමන් කරවීමේ දේශපාලන සවිඥානික බවක් ජවිපෙට තිබෙනවාද?

අද ජවිපෙට දේශපාලනික සවිඥානික බවක් නැහැ. ජවිපෙ හුඟක් අවස්ථාවල ගත්ත තීන්දු ප්‍රායෝගික නැහැ. ජවිපෙ කියනවා ඒ අයගේ වංචා දූෂණ නැහැ, අනෙක් හැම පක්ෂයක්ම ජනතාවගේ මුදල් හොරා කනවා කියලා. එතකොට මැතිවරණවලදී ජවිපෙ ජනතාවගේ මුදල් නොවෙයිද වියදම් කරන්නේ? ජවිපෙ රැස්වීම් තියලා බස් පනහක් හැටකින් සෙනඟ අදිනවා. එතකොට ඒවට සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද? රැස්වීමක් තියන්න ලක්ෂ විසිපහක්, තිහක් යනවා. අපිත් ජවිපෙ හිටිය නිසා අපි දන්නවා. අපි කාගේ සල්ලි වියදම් කළත් ඒ මේ රටේ ජනතාවගේ මුදල් බදු මුදල් ගත්තත් ජනතාගේ මුදල් වෙන විදිහකට ගත්තත් මේ රටේ ජනතාවගේ මුදල්. ජවිපෙ කියනවා නම් ඒ අය ගන්නේ නැහැ කියලා, ඒක බොරුවක්. අපේ වැටුප් ඒ කාලයේ අරමුදලට ගියාම එකේ බලය තියන අය එම මුදල් පරිහරණය කළා. ඒ නිසා මුහුණු දෙකේ කතා නොකියා දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් මන්ත්‍රීවරයාට යැපීමක් දෙනවා නම් ඒ යැපීම මන්ත්‍රීවරයා ගන්න අවශ්‍යයි. මන්ත්‍රීවරයාගේ පවුලේ මිනිසුන්ට කන්න බොන්න දෙන්න අවශ්‍යයි. ඒ නිසා ඔය පරණ තැටි ගහලා අපි හොරුන් නොවෙයි කිව්වට මම කියනවා, ජනතාවගේ මුදල්වලින් තමයි ඒ අයත් ඔක්කෝම කරන්නේ කියලා. මැතිවරණ වේදිකාවලටයි රැස්වීම්වලටයි යන වියදම් ගත්තාම දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩිම මුදලක් වැය කරන්නේ ජවිපෙයි. තාම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක්වත් ඇවිත් නැහැනේ. ආධාර දුන්නත්, රට ඉන්න අය එව්වත්, හිතවත්තු දුන්නත් ඒ මේ රටේ ජනතාවගේ මුදල් නේ. ඒ මුදල් ඒ අය යොදවන්නේ මැතිවරණයටනේ. ඒ නිසා අපිට කොළය වහලා වැඩක් නැහැ. මේ අය හොරු කියලා අනික් අයට කියලා වැඩක් නැහැ. අපි විතරයි ජනතාවගේ මුදල් හොරකම් නොකර හොඳට ඉන්නේ කියලා කියන්න බැහැ. මේ දේශපාලන පක්ෂ කියනවා අපිට බලය දෙන්න කියලා කියනවා. ඉතිහාසයේ දේශපාලන පක්ෂ කළේ මේ දේ තමයි. නමුත් අද ඒ ගමන යන්න බැහැ. රටේ ඇත්ත වෙනස් කරන්න නම් දේශපාලනික වෙනස්කම් කරන්න අවශ්‍යයි, නැතිනම් මේ ගමන යන්න බැහැ.

තිස්සමහරාම පළාත් පාලන ආයතනයේ බලය ජවිපෙ හිමි කර ගත් අවස්ථාවේදී එය සාර්ථක වුණේ නැහැ නේද ? 

දැන් ලෝකය වෙනස් වෙලා. පරණ සෝවියට් දේශයේ ගොතපු කතා පොත් වගේ කතා කියන්න කාලයක් නොවෙයි. දැන් ගම දුන්නත් රට දුන්නත් ඒ අයට කරන්න බැරි බව තහවුරු වුණානේ තිස්සමහරාමයෙන්. පළාත් පාලන ආයතනයක බලය ලැබුණට ඒ අය කරන්න අවශ්‍ය දේ දන්නේ නැහැ. තිස්සමහරාමය හම්බ වුණ වෙලාවෙත් එය අසාර්ථක වුණ නිසා ඊළඟ සැරේ ජවිපෙට බලය ලැබුණේ නැහැ. ජනතාවට කියන්න තියෙන්නේ අලුත් දේවල් කරන්න යන්න කලින් වැරදුන තැන බලන්න කියලයි. අත්හදා බලන්න දුන්න හැම අවස්ථාවකම වැරදුණා.

මේ රට වෙනස් කරන්න අවශ්‍යයි. රටේ හදන්න අවශ්‍යයි. අත්දැකීමක් නැති පළපුරුද්දක් නැති දේශපාලනය දන්නේ නැති, කවුරු හරි හැසිරෙන විදිහ තේරුම් ගන්න බැරි, තමන් වටේ ඉන්න මිනිසුන්ගේ උපදේශකයන් ජාත්‍යන්තර ඔත්තු සේවාවන්වල පඩි ගන්න මිනිසුන් ළංකර ගෙන හිටපු නායකයන්ට වැරදුණ තැන අපි දන්නවා. ඒ වගේ අලුත් අත්හදා බැලීම් කරන්න ගිහින් තමයි අද අපි දුප්පත් රටක් වුණේ. මේක අත්හදා බැලීම් කරන්න පුළුවන් කාලයක් නොවෙයි. අත්හදා බලන්න කියලා මේ පාර ජවිපෙට පළාත් පාලන ආයතනත් දුන්නොත් මොකද වෙන්නේ? මේක හොඳ නැහැ කියලා අත්හදා බැලීම් කරලා වැඩක් නැහැ. 1970 සිට 1977 දක්වා දුෂ්කර පාලනයක් ආවා. 77 වන විට රට සශ්‍රික වෙනවා. 1977 ජේ. ආර් මහත්තයා ඇවිත් නව ආර්ථීක ප්‍රතිපත්තියකට රට වෙනස් කරනවා. එදා සිට අද දක්වාම මේ ප්‍රතිපත්තිය අරගෙන යනවා. ඒ නිසා අද මේ රට වෙනස් කරන්න අවශ්‍යයි. ඡන්ද කාලයට ප්‍රතිපත්ති කියලා එක් එක් ඡන්දයට කියලා වැඩක් නැහැ. ජනප්‍රිය සටන් පාඨ පස්සේ දැන් ජනතාව දුවන්නේ නැහැ.

ජවිපෙට තියෙන්නේ ජනප්‍රිය සටන් පාඨ පමණයි කියලද ඔබ කියන්නේ?

ජනප්‍රිය සටන් පාඨ පස්සේ ගිහින් රට දියුණු කරන්න බැහැ. අපි ආව ගමන් පොහොර දෙනවා ලයිට් දෙනවා කියනවා. නමුත් කොහොමද කරන්නේ කියලා සැලසුම් නැහැ. එහෙම රටක් දුවන්න බැහැ. ආර්ථික, සමාජීය දැක්මක් පෙන්වන්න අසමත් නම් ඒ කවුරු වුණත් අසමත්. මේ රටේ වාමාශික ව්‍යාපාර හැමදාම කාගේ හරි ඔත්තු කරුවකුගේ ලණුවක් ගිලිනවා. මම කියන්නේ අත්හදා බැලීම් කරන්න එපා කියලයි. ජවිපෙ දේශපාලන ගමන දුබලයි. මේ අයට කිසිම ප්ලෑන් එකක් නැහැ. සටන් පාඨ කියන්න පුළුවන් ඕන තරම්. මේ රට විනාශ වෙලා තියෙන්නේ ජවිපේ සහ වෘත්තිය සමිති ව්‍යාපාර සමඟ එකතු වෙලා කරපු සටන් පාඨ නිසයි.

එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ ජවිපෙ බලයට පත් වූ පසු බලාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස.?

ජවිපෙ සමහර අයට මේ පිළිබඳව තේරුම් ගන්න බැහැ. අද 13 අවශ්‍ය කාලයක් නොවෙයි. උතුරේ ඡන්ද ගන්න ඒ අයට අවශ්‍ය වුණාම එහෙම කියනවා. තිබුණා. ජවිපෙ සටන් පාඨවලින් තමයි දිනන්න හදන්නේ.

ඒත් ජවිපෙ සටන් පාඨ අහන්න විශාල ජනතාවක් දැන් ජවිපෙ වටා එක්රැස් වෙලා ඉන්නවා නේද?

ජවිපෙ කතා අහන අයගෙන් අතළොස්සයි ඡන්දය දෙන්නේ. ජවිපෙ වේදිකාවේ කතා අහන මිනිස්සු සහ සටන් පාඨ අහන්න එන මිනිස්සු එකතු කරලා බලන්න එකතුව කීයද කියලා. එක දිස්ත්‍රික්කයක කතා අහන්න තව දිස්ත්‍රික්කයක සෙනඟ ගියා කියලා වැඩක් නැහැ. කොට්ඨාස ලැබෙන්නෙ ඒ කොට්ඨාසවල ඉන්න ප්‍රමාණය අනුවයි. සමහර කොට්ඨාශවල ඡන්ද සියයට පහට හයකට වඩා ඉහළට යන්න බැහැ. පුළුවන් නම් තනි පක්ෂයක් ලෙස කොට්ඨාශ දිනලා පෙන්නන්න, අඩු තරමින් නායකයෝ ඡන්දය ඉල්ලන කොට්ඨාස ටිකකවත් දිනලා පෙන්නන්න කියලා අපි කියනවා. ජවිපෙ දේශපාලන ගමනේදි ඉස්සෙල්ලා කසය ගහගෙන ඇවිත් පිටිපස්සෙන් එන කට්ටිය ඉක්මන් වෙනවා. මැරතන් එකක් වගේ තමයි ජවිපෙ දේශපාලන ගමන. 1982 මැතිවරණයේ සිට පසුගිය කාල පරිච්ඡේදයේ දක්වා ඒ බව අත්දැක්කා. ගමන වෙනස් කරන්න සූදානම් නැති නිසා සිහින දැක දැක ඉන්නවා. ජවිපෙට පසුගිය කාලයේ බාහිරින් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ පිරිස ජවිපෙ අවසානය ලියලා යයි කියලා මම හිතනවා. ඒ නිසා පෙනුමයි හරයයි දෙකක් තියනවා. පෙනුමට ජාති ගොඩක් තියෙනවා. හරය ඒ තරම් සුන්දර නැහැ. පසුගිය කාලයේ ලබපු අත්දැකිම් එක්කයි මම කියන්නේ, ජිවිතේම කැප කරලා ජවිපෙ වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් ලෙස අද ජවිපෙ රැල්ලට දුවන ව්‍යාපාරයක් බවට පත්වෙලා කියලා.

ජවිපෙ මුල් කාලීනව පැවැතියා යැයි ඔබ කියන න්‍යායාත්මික මඟ පෙන්වීම සහ දේශපාලනික ඉදිරි දැක්ම අද ජවිපෙට තිබෙනවා කියලා ඔබ හිතනවාද?

ජවිපෙට න්‍යායාත්මික මඟපෙන්වීමක් සහ දේශපාලනකික ගමනකුත් නැහැ. තව වසරක් දෙකක් ගත වනවිට ජවිපෙ දක්ෂිණාංශික දේශපාලන න්‍යාය පත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. දැනටත් ජවිපෙ න්‍යාය පත්‍රයයි එජප න්‍යාය පත්‍රයයි අතර ලොකු වෙනසක් නැහැ. එකම ආකාරයකටයි ක්‍රියාත්මක වෙන්නේ. එජාප සමාජිකයන් තමයි ඔවුන් එක්ක අද ඡන්දය ඉල්ලන්නෙ.

Comments