යටත් විජිත පාලනයෙන් මිදී ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් කරා ආ ගමන | සිළුමිණ

යටත් විජිත පාලනයෙන් මිදී ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් කරා ආ ගමන

ශ්‍රී දළදා මාලිගාව අසල මහනුවර මඟුල් මඩුවේදී 1815 මාර්තු මස 02 වැනිදා අත්සන් කරන ලද සිංහල - ඉංග්‍රීසි ගිවිසුමෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ 3 වැනි ජෝර්ජ් මහ රජතුමාගේ යටත් විජිතයක් ලෙසට ප්‍රකාශ කරන ලදී. උඩරට රදළවරු සහ ජනතාව ඉංග්‍රීසින්ට ලංකාව භාර කළේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසින්ගේ උදවුවෙන් නැවතත් සිංහල රාජ වංශයක් ඇති කිරීමටය. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසිහු ශ්‍රී ලාංකිකයකු යළිත් රජ බවට පත් කිරීමට කටයුතු නොකළහ. උඩරට ගිවිසුමෙන් වසර දෙකක් පමණ ඉක්ම යන විට උඩරට සිංහලයන්ට තමන් රැවැටී ඇති බව හොඳින්ම වැටහුණි. මේ නිසා ඉංග්‍රීසි පාලනයෙන් රට මුදා ගැනීමේ ප්‍රථම විමුක්ති අරගලය ඌව වෙල්ලස්සෙන් පැන නැඟ රට පුරා පැතිර ගියේය. 1817 - 18 මහා විමුක්ති අරගලය ලෙස හැඳින්වූ මෙය ඉතා කෘර ලෙස මැඬ පැවැත්වූ ඉංග්‍රීසින් අත්තනෝමතික පාලන ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක කිරීම ඇරඹූහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටත් විජිත අල්ලා ගත්තේ ඒවායේ ධන සම්පත් සුරාගෙන සිය රටට ගෙන යෑමටය. එහෙත් ලංකාව යටත් කරගත් මුල් වකවානුවේ ඔවුන් අපේක්ෂා කළ පරිදි ධනස්කන්දයක් එංගලන්තයට ගෙන යෑමට නොහැකි විය. එපමණක් නොව ශ්‍රී ලංකාව පාලනයට බ්‍රිතාන්‍යයෙන් මුදල් වැය කිරීමට ද සිදු විය. ලංකාව සම්බන්ධ අය වැය ලේඛනයේ වාර්ෂික හිඟය ක්‍රමයෙන් ඉහළ යෑම සිදු විය. එම නිසා මෙරට සාමාන්‍ය පාලනයත් මුදල් ක්‍රමයත් ගැන සොයා බලා ආණ්ඩුක්‍රම සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 1829 දී සර් විලියම් කෝල් බෲක් සහ චාර්ස් හේ කැමරන්ගේ සාමාජිකත්වයෙන් යුත් කොමිෂන් සභාවක් ලංකාවට එවීය. එම කොමිෂම මඟින් රටේ පාලනයට ව්‍යවස්ථාදායක සහ විධායක ලෙසින් පාලන සභා දෙකක් පිහිටු වීමට යෝජනා කර තිබුණි.

කොමිෂම එසේ යෝජනා කළේ 1802 සිට මෙරට පාලනය කළ ආණ්ඩුකාරවරුන්ට පැවැති අසීමිත බලතල දැක මවිත වීමෙනි. එසේ වුවත් ව්‍යවස්ථාදායක විධායක පාලන සභා ක්‍රියාත්මක වූ කාලය තුළම ව්‍යවස්ථාදායක සභාවේ ව්‍යුහය අනුව ආණ්ඩුකාරවරයාට පාලනය පිළිබඳ තීරණ ගැනීමට පැවැති බලතලවල අඩුවක් නොවීය. සැර බාල වීමක් පමණක් සිදු විය.

1832දී ක්‍රියාත්මක කළ ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත විය. එම 15 දෙනා නිලධාරීන් 9කින් හා නිලධාරීන් නොවූ 6 දෙනකුගෙන් සමන්විත විය. ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යස්ථාදායක සභාවට අයත් වූ අනෙක් නිලධාරීන් වුයේ මහ සෙනෙවි, මහ ලේකම්, නීති ලේකම්, මුදල් ලේකම් හා මැද පළාතේ දිසාපති ය. නිලධාරීන් නොවන මන්ත්‍රීන් 6 දෙනා තෝරා ගත යුතු වූයේ සිංහලයන් වෙනුවෙන් එක් අයකු ද, බර්ගර් වරුන් වෙනුවෙන් එක් අයකු ද, ද්‍රවිඩයන් වෙනුවෙන් එක් අයකු ද, යුරෝපීයන් වෙනුවෙන් තිදෙනකු ද වශයෙනි. විධායක සභාව නිලධාරීන් 6දෙනකුගෙන් සමන්විත විය. එයට නීති ලේකම්, මහ ලේකම්, මුදල් ලේකම් ඇතුළු නිලධාරීන් 6 දෙනකු පත් වුහ.

මෙම සභා පිහිටුවීමෙන් පසුවද ලාංකිකයන්ට හිතකර පාලන ක්‍රමයක් ඇති කිරීමට ඉංග්‍රීසිහු අපොහොසත් වුහ. 1848 පමණ වන විට ඉංග්‍රීසි ආණ්ඩුව විවිධ බදු වර්ග පනවමින් ජනතාව පීඩනයට පත් කළහ. ඒ වන විට සිටි ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ඇඟ බද්ද, බලු බද්ද, පාර බද්ද, ඔරු බද්ද, තුවක්කු බද්ද ආදී ලෙස බදු පනවමින් රජයේ ආදායම වැඩි කර ගැනීමට උත්සාහ ගත්තේය. මේ නිසා කලකිරීමට පත් උඩරට ජනතාව පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් දෙවැනි ආයුධ සන්නද්ධ අරගලය ක්‍රියාත්මක කළහ. 1848 මාතලේ කැරැල්ල ලෙස හඳුන්වන මෙම සටන යුද්ධ නීතිය පනවා දරුණු ලෙස මර්දනය කළ ඉංග්‍රීසිහු සිය ගණනක් සිංහලයන් ඝාතනය කළහ. කැරැල්ල පිළිබඳ රජයේ නිලධාරීන් ඉදිරිපිට සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළ කුඩාපොළ හිමියන් මරා දමන ලදී.

ටොරින්ටන්ගේ මෙම සාහසික ක්‍රියාවලට අග විනිසුරු හා නීති ලේකම් ද විරුද්ධ වුහ. ඔබ්සර්වර් පත්‍රය ආණ්ඩුකාරවරයා දැඩි ලෙස විවේචනය කළේය. මේ නිසා 1850 දී ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ඉවත් කොට සර් ඇන්ඩන්සර් ආණ්ඩුකාර ධුරයට පත් කළේය.

මෙයින් පසු නිදහස සඳහා සන්නද්ධ අරගල ක්‍රියාත්මක නොවූ අතර ව්‍යවස්ථාදායක සභාව තුළ ප්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණ ඇති විය. එම උද්ඝෝෂණවල පෙරමුණ ගත්තේ යුරෝපීය වැවිලිකරුවන්මය. එබැවින් ව්‍යවස්ථාදායක සභාව තුළ ප්‍රතිසංස්කරණ කීපයක්ම කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට සිදු විය. 1912 දී මැකලන් ප්‍රතිසංස්කරණයත් 1920දී මැනින් ප්‍රතිසංස්කරණයත් 1924දී මැනින්- ඩෙවොන්සයර් ප්‍රතිසංස්කරණයත් සිදු කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කරමින් ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීමට උත්සාහ කළේය.

1920 ප්‍රතිසංස්කරණයේදී ව්‍යවස්ථාදායක සභාව මන්ත්‍රීන් 37දෙනකුගෙන් සමන්විත වුහ. නිලලත් මන්ත්‍රීන් ගණන 14කි. නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව 23 දෙනෙකි. මෙම 23 දෙනා පත් වූයේ සීමිත ඡන්දයෙනි. 1924 මැනින් - ඩෙවොන්සයර් ප්‍රතිසංස්කරණයේදී ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 49ක් කළ අතර, නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව 37 දක්වා වැඩි කළේය. එයින් 29 දෙනා තෝරා පත්කර ගත්තේ මන්ත්‍රී කොට්ඨාස 28කින් සීමිත ඡන්දයෙනි. 1924 මැතිවරණය පවත්වන විට ලියාපදිංචිව සිටි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 204957ක් වුහ. එය රටේ මුළු ජනගහනයෙන් සියයට 4කි.

විශේෂයෙන් මෙම ප්‍රතිසංස්කරණ කෙරෙහි බලපෑවේ 19 සියවස මුල් දශකවලදී බිහිවූ මධ්‍යම පංතිය පිරිස් බලයෙන් වැඩිවී දේශපාලනය ගැන වඩ වඩාත් උනන්දු වීමය. ඔවුන් ලද ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා එංගලන්තයේ නිදහස් මත හැදැරීමට හැකි වූ අතර පවතින රාමුව තුළම වඩ වඩාත් බලතල ලබා ගැනීමට අපේක්ෂා කළහ. එසේම අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා වැනි දේශප්‍රේමීහු ජනතාව තුළ ජාතික චින්තනය ඇති කිරීමට පියවර ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් අදහස්වලින් පෝෂිත වු ලාංකිකයෝ පාලනය තුළ වඩාත් බලතල ඉල්ලා උද්ඝෝෂණ කළහ.

මේ තත්ත්වය තුළ මෙම ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම අපහසු විය. මේ තත්ත්වය තේරුම් ගත් 1925දී ලංකාවේ ආණ්ඩුකාර ධුරයට පත්වු සර් මාර්ස් ක්ලිපර්ඩ් ආණ්ඩුකාරවයා තවත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව යටත් විජිත භාර මහ ලේකම්වරයාට වාර්තා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට සුදුසු පාලන ක්‍රමයක් යෝජනා කරන ලෙස එංගලන්ත රජය ඩොනොමෝර් සාමී ප්‍රමුඛ පාර්ලිමේන්තු කොමිෂම ලංකාවට එවීය. 1927 අගෝස්තු 6 දින පත් කළ එම කොමිෂම පූර්ණ වගකීම ඇති ආණ්ඩුක්‍රමයක් ලංකාවට ලබා දීමට තාමත් කාලය පැමිණ නැතැයි සලකා මන්ත්‍රී 80 දෙනකුගෙන් සමන්විත "රාජ්‍ය මන්ත්‍රණ සභාව" නම් වූ මන්ත්‍රී මණ්ඩලයක් ව්‍යවස්ථාදායක කටයුතු සඳහා පිහිටු වීමට යෝජනා කළේය. එම 80 ඡන්ද කොට්ඨාස අනුව මන්ත්‍රීන් 65 දෙනකුගෙන් ද, ආණ්ඩුකාරවරයා පත් කරන 12 දෙනකුගෙන් ද, රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙන් ද සමන් විත විය යුතු යැයි යෝජනා කළේය. එහෙත් යටත් විජිත භාර මහලේකම්වරයාගේ සංශෝධන අනුව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 61ක් වූ අතර එයින් තිදෙනකු නිල ලත් අයයි. නිල නොදරන 58 දෙනාගෙන් 50 ක් සර්වජන ඡන්දයෙන් තෝරාගත යුතු විය. එංගලන්ත රජය එංගලන්තයේ සර්වජන ඡන්දය ක්‍රියාත්මක කොට ඊළඟට එම ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට කල්පනා කළේ මෙරට මධ්‍යම පංතියේ ප්‍රබෝධය සලකා බැලීමෙන් විය හැකිය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 1931දී පැවැති අතර, තේරුණ මන්ත්‍රීන් කාරක සභා 7කට බෙදා ඒවායේ සභාපතිවරු අමාත්‍යවරු ලෙස පත් කළහ.

මෙම ක්‍රමය යටතේ මුළු පාලන තන්ත්‍රය කොටස් 10කට බෙදන ලදි. එනම් රාජ්‍ය සේවාව, මුදල්, නීතිය, ස්වදේශ කටයුතු, අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය හා ඉඩම්, සෞඛ්‍ය හා පළාත් පාලනය, කම්කරු කටයුතු, කර්මාන්ත හා වාණිජ ව්‍යාපාර, මංමාවත් හා පොදු කර්මාන්ත යන මේවාය. මෙයින් මුල් 3 නිලධාරීන් යටතේ තැබූ අතර සෙසු කරුණු කාරක සභා 7කට බෙදන ලදී. මෙතෙක් පැවැති විධායක සභාවේ කටයුතු විධායක කාරක සභාවලට පැවැරුණි.

1931දී ප්‍රථම මැතිවරණය පවත්වා සභාව රැස් වුහ. සභාව කාරක සභාවලට බෙදී අමාත්‍යවරු තෝරා ගත්හ. සුළු ජාතිකයන් දෙදෙනෙක් අමාත්‍ය ධුර වලට පත් වූහ. දෙවැනි මැතිවරණය පැවැත් වුයේ 1936 දීය. එවර අමාත්‍යධුරවලට පත් වුයේ සිංහලයන් පමණි. එබැවින් මෙම ක්‍රමයට ද විරුද්ධව සුළු ජාතීන් නැඟී සිටියහ. දෙවැනි ලෝක සංග්‍රාමය නිසා ඊළඟ මැතිවරණය පැවැත් වීමට නොහැකි විය. 1936 දී පත්වු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලය දීර්ඝ කරන ලදි. 1944 දී ශ්‍රී ලංකාවට අභිනව ආණ්ඩුක්‍රමයක් යෝජනා කරන ලෙස ඉල්ලමින් සෝල්බරි කොමිෂන් සභාව ලංකාවට එවීය. එම කොමිෂම 1945 ජුලි 11 වැනිදා සිය යෝජනාව ඉදිරිපත් කරමින් ලංකාවට ඩොමීනියන් ආණ්ඩු ක්‍රමයක් යෝජනා කළහ. මේ යටතේ ව්‍යවස්ථාදායක බලතල පාර්ලිමේන්තුවට පැවැරුණ අතර විධායක බලතල කැබිනට් මණ්ඩලයට පැවැරුණි. පාර්ලිමේන්තුව ආයතන දෙකකින් සමන්විත විය. ඒ, මහජන මන්ත්‍රි මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය වශයෙනි. මහජන මන්ත්‍රී මණ්ඩලය සභිකයන් 101 දෙනකුගෙන් සමන්විත වුහ. එම සංඛ්‍යාව ඡන්ද කොට්ඨාස 89කින් ඡන්දයෙන් තෝරා ගන්නා මන්ත්‍රීන් 95කින් හා (බහු මන්ත්‍රී ආසන 6කි) අග්‍රා ආණ්ඩුකාරවරයා පත් කරන 6 දෙනකුගෙන් සමන්විත වූහ. උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව මන්ත්‍රීන් 30 දෙනකුගෙන් යුක්ත වූහ.

සෝල්බරි ආණ්ඩු ක්‍රමය පිළිගත යුතු යැයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගෙනා යෝජනාවට පක්ෂව ඡන්ද 51ක් හා විපක්ෂව ඡන්ද 3ක් ලැබී සභා සම්මත විය. ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කළ ශ්‍රී ලංකා නිදහස් පනත අනුව ශ්‍රී ලංකාව පාලනයට බ්‍රිතාන්‍යයට තිබූ බලය අත්හරින ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එම පනත සම්මත කොට 1947 දෙසැම්බර් 10 දින රාජ්‍ය අනුමැතිය ලබා නීතිගත කළේය. ප්‍රථම මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම 1947 ජුලි 23 සිට අගෝස්තු 20 දින දක්වා දින 19ක් තිස්සේ පැවැත්විණි.

ලංකාව ලබා ගත්තේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සාමාජිකත්වය සහිත බ්‍රිතාන්‍ය රජු ලංකාවේ ද රජු ලෙස පිළිගත් නිදහසකි. රජු නියෝජනය කිරීම සඳහා අග්‍රා ආණ්ඩුකාරවරයකු පත් විය. මේ ක්‍රමය යටතේ 1948 පෙබරවාරි 4 වැනිදා සිට ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් විය. 1948 පෙබරවාරි 10 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කළ අතර, ඒ සඳහා 6 වැනි ජෝර්ජ් රජුගේ නියෝජිත වරයා ලෙස ග්ලොස්ටර් හී ආදිපාදවරයා ද ලංකාවට පැමිණියේය.

මෙසේ මෙරටට නිදහස ප්‍රදානය කළත් අපේ ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍ය මැදිහත් විය යුතු යැයි කියමින් කටුනායක ගුවන් තොටුපළ හා ත්‍රිකුණාමල වරාය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තබා ගත්හ. 1956 මැතිවරණයෙන් එස්. ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයට පත්වූ විට එම කඳවුරු දෙක ලංකාවට පවරා ගෙන නිදහස පූර්ණ බවට පත් කළේය. එහෙත් රැජින නියෝජනය කරන අග්‍ර ආණ්ඩුකාරවරයා තව දුරටත් සිටියේය. 1970 මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වූ විට ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කොට නව ව්‍යවස්ථාවක් සකස් කළේය. ඒ අනුව 1972 මැයි 22 දා සිට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කළේය. එම ව්‍යවස්ථාව යටතේ උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කළ අතර, නාම මාත්‍ර විධායකය ලෙස පාර්ලිමේන්තුවෙන් පත් කළ ජනාධිපතිවරයකු පත් විය. පාර්ලිමේන්තුව "ජාතික රාජ්‍ය සභාව" බවට පත් විය.

1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය සම්මත කළ 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජ පනත අනුව ජනාධිපති තනතුර විධායක බලැති තනතුරක් බවට පත් කළ අතර, ජාතික රාජ්‍ය සභාව යළිත් වරක් පාර්ලිමේන්තුව බවට පත් කළේය. නිදහස ලබා වසර 75ක් ඉක්මගොස් ඇති මේ මොහොතේ ආපසු හැරී බලන විට ඇති වන්නේ සතුටට වඩා දුකකි.

විජේරත්න අතුරුපාත

Comments