Acentura Inc හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන රණසිංහ
කුරුණෑගල නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වැනියා ලෙස උසස් පෙළ ගණිත අංශයෙන් වැඩිම ලකුණු ලබා මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන චන්දන රණසිංහ මේ වන විට Acentura Inc හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ය. ඔහු විධායක කළමනාකාරිත්වය, උපායමාර්ගික සැලසුම්කරණය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය යන විවිධ ක්ෂේත්‍රවල හා බහු කර්මාන්තවල දශක ගණනාවක පළපුරුද්දක් ඇති ව්‍යවසායකයකු, තාක්ෂණ නායකයකු සහ විෂය කරුණු පිළිබඳ විශේෂඥයෙකි.
මෘදුකාංග නිෂ්පාදන සංවර්ධනය සහ මෘදුකාංග සේවා කෙරෙහි වෙසෙස් අවධානයක් යොමු කරන හේ නිරන්තර නව අත්හදා බැලීම් කෙරෙහි ආසක්ත වූවෙකි. උතුරු අමෙරිකාව, මැද පෙරදිග සහ විවිධ රටවල් ආශ්‍රිත ව මෘදුකාංග සේවා සමාගම් සමඟ වැඩ කිරීමේ පුළුල් අත්දැකීම් ඇති ඔහු සිය ජීවන මගේ විශිෂ්ටත්වයට ළඟා වූ අයුරු ගැන මෙවර කඩඉම විශේෂාංගයේදී අත්දැකීම් ඇසුරෙන් විස්තර කරයි. කෙතරම් තාක්ෂණය හා ගනුදෙනු කළ ද හේ විවේකයක් ලැබුණු ඇසිල්ලේ සිය ආදරණීය පවුල සමඟ ඇති හෘදයාංගම බැඳීම කෙතරම් ද යන්න අප හා පැවසුවේ ලස්සන වාක්‍යයක් භාවිත කරමිනි. ඒ මම ෆැමිලි මෑන් කෙනෙක් යනුවෙනි.
සම්පූර්ණ නම :
චන්දන රණසිංහ
උපන්දිනය
1973 සැප්තැම්බර් 03
උපන් ගම
කුරුණෑගල, නාරම්මල
අම්මා තාත්තාගේ නම් සහ ඔවුන් කළ රැකියා
අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අම්මා පොඩි මැණිකේ. තාත්තාගේ නම සෝමපාල; ඔහු උපාධිධාරී ගුරුවරයෙක්.
සහෝදර සහෝදරියන්
මට ඉන්නවා බාල සහෝදරයන් දෙදෙනෙක්. දැන් ඔවුන් දෙදෙනාම ඉංජිනේරුවන්.
කොහේද ඉගෙනුම ලබන පාසල
නාරම්මල මයුරපාද විද්‍යාලයට තමයි අපි තුන්දෙනාම ගියේ
බාහිර වැඩ එහෙම කළාද පාසලේ
විවිධ සමිති සමාගම්වල හිටියා. දැනුම මිනුම තරගවලට සහභාගී වුණා. කථික තරගවලට හිටියා. 1989 දී සාක් ලංකාවේ තිබුණු වෙලාවේ එකවරක් මට අවස්ථාව ලැබුණා, ලෝකේ රටවල් අතර තිබුණු දැනුම මිනුම තරගාවලියේ ලංකාව නියෝජනය කළ කණ්ඩායමට යන්න.
මේ ජේවීපී කලබල කාලය. කොහොමද ඒක ඔබේ ඉගෙනුමට කළ බලපෑම
අපේ පැත්තෙ ඒ කලබල තදේටම තිබුණු පැත්තක්. මම අපොස සාමාන්‍ය පෙළ කළේ 1989 දී. අපිට දෙසැම්බර් විභාගෙ පැවැත්වුණේ නෑ. 1990 දී තමයි විභාගෙ ලියන්න වුණේ. මාස 6ක් පමණ ඒකෙන් අපි පස්සට ගියා.
උසස්පෙළට මොනවද හදාරන්නෙ
මම ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. පළමු වරම දිස්ත්‍රික්කයේ තුන්වැනියා විදියට මම උසස්පෙළ සමත් වුණා.
මොරටුව විශ්වවිද්‍යාලයට ද ඇතුළත් වෙන්නෙ
ඔව්. ඒ 1995දී. මම උපාධිය සම්පූර්ණ කරන්නෙ 1998 අග.
නාරම්මල ඉඳන් එන ඔබට මොරටුව විශ්වවිද්‍යාලයේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය හදාරන්න වුණාම ගැටලු මතු වුණේ නැද්ද?
ඇත්තට ම මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ, ඉංග්‍රීසි. නාරම්මල ඉදිද්දි අපි හිතන් හිටියෙ අපිට තමයි හොඳට ම ඉංග්‍රීසි පුළුවන් කියලා. මොරටුවට ඇවිත් ඉගෙන ගනිද්දී තේරුණා අපි කොතැනද ඉන්නෙ කියලා.
මොකද කළේ ඉංග්‍රීසි හදා ගන්න
මම CIMA කරන්න පටන් ගත්තා. අන්තිම අවුරුද්ද වෙනකොට මම ඒකෙ කොටස් හතරම ඉවර කළා.
ඉංග්‍රීසි අවශ්‍ය තරම් බැරි වීම නිසා ඇතිවුණු ගැටලු මොනවද?
අපිට කාර්මික පුහුණු සංචාරයක් ලබා දෙනවා පළමු අවුරුද්දෙදී. අපි විවිධ ආයතනවලට එනවා. අපි ගියා බාට්ලීට් ආයතනයට. ඒ සංචාරය ගිහින් එද්දි මට තේරුණා, මම කොතැනද ඉන්නෙ කියලා. එතනින් තමයි මම පටන් ගත්තෙ.
මොකද්ද පළමු රැකියාව
මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදියට වර්තුසා එකටයි මම මුලින්ම රැකියාවකට කියලා යන්නෙ. ගිහින් අවුරුදු දෙකකින් විතර මට අවස්ථාව ලැබුණා, අමෙරිකාවේ තියෙන වර්තුසා එකට යන්න. මම අවුරුදු දෙකහමාරක් විතර එහේ පදිංචි වෙලා රැකියාව කළා. මම වර්තුසා එකේ හිටපු අවුරුදු 13න් අවුරුදු 6ක් විතරම වැඩ කළේ එක එක රටවල.
පළමුවෙන්ම රැකියාවකට යද්දි විවිධ අභියෝග තියෙනවානෙ. මොනවද එහෙම දැනෙන දේවල් තිබුණෙ
විවිධ රටවලට ගියාම ඒ රටවල විදිය, සංස්කෘතිය ආදිය වෙනස්නෙ. වර්තුසා පාරිභෝගිකයන් එක්ක වැඩ කරද්දිත් විවිධ සංස්කෘතිවල අය එක්ක වැඩ කරන්න වුණා. අපි වැඩ කළේ ෆෝචූන් 100 ආයතන එක්ක. ඒ ආයතන ලෝකෙ තියෙන දියුණුම සහ නිපැයුම්, සේවා අතින් ඉහළ ම ගණයේ ආයතනවල තමයි වැඩ කරන්න හම්බු වුණේ. ඒ වගේම ඒ ප්‍රමිතියට, තත්ත්වයට වැඩ කරන එක ලොකු අභියෝගයක්.
වර්තුසා එකෙන් ඉවත් වෙන්නෙ ඇයි?
මට ඕන වුණා ක්ෂේත්‍රය පොඩ්ඩක් වෙනස් කරන්න. තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉවත් වෙලා වෙනම ක්ෂේත්‍රයකට යන්න ඕන කියලා හිතුවා. මම බ්‍රැන්ඩික්ස් එකට ගියේ මගේ දැනුම වෙන ක්ෂේත්‍රයක අත්හදා බලන්න. බ්‍රැන්ඩික්ස් ඇපරල් පැත්ත මට නව ක්ෂේත්‍රයක්. ලීන් මැනුෆැක්චරින් කියන දේ භාවිත කරලා ෆැක්ටරි 7ක ඒක ස්ථාපිත කරන්නයි මාව ගත්තෙ.
තමන්ගෙ ක්ෂේත්‍රය මුළුමනින් වෙනස් වෙද්දි කොහොමද ඒකට අනුගත වුණේ?
මුලින්ම බ්‍රැන්ඩික්ස් එකෙන් ඒ සඳහා සාමාන්‍යාධිකාරී කෙනෙක් හොයද්දි මම අයැදුම් කළා. හැබැයි මම කිව්වා මම මේ ගැන දන්නෙ නෑ කියලා. ඊට සමාන ක්ෂේත්‍රයක මම වැඩ කරලා තියෙනවා. අවස්ථාවක් දුන්නොත් ඉගෙනගෙන කරන්නම් කියලත් කිව්වා. ඊට පස්සෙ එයාලා මට අවස්ථාව දුන්නා අමෙරිකාවේ ලෙක්ස්හිල්ටන් නගරයේ තියෙනවා ලීන් මැනුෆැක්චරින් උගන්වන ආයතනයක්. මම ඒකට බැඳිලා ඒ පාඨමාලාව කරලා ප්‍රායෝගික දැනුම වෙනුවෙන් ටොයොටා ආයතනයේත් සති දෙකක පරිවාස කාලයක් (internal ship) ගත කළා.
පුහුණුවක් දීලා ආයතනයට බඳවා ගන්න තරම් ඔබ වටිනවා යැයි බ්‍රැන්ඩික්ස් ආයතනය නිගමනයකට ආවේ කුමක් නිසා කියල ද හිතන්නෙ?
බ්‍රැන්ඩික්ස් පාලනාධිකාරිය ඒ කාලෙ හිතුවේ මෙතනට පල් වෙච්චි කෙනෙක් ආවොත් කරන්න බැරි වෙයි කියලයි. ඒ නිසයි ඒ අය ඒ තීරණයේ හිටියෙ. මමත් ඒ අවශ්‍ය කරන වටපිටාව හදාගෙන හිටියෙ. වර්තුසා එක ඇතුළෙ වුණත් මම විවිධ අංශවල වැඩ කළා.
බ්‍රැන්ඩික්ස් එකේ ඔබ අවුරුදු දෙකයි ඉන්නෙ
බ්‍රැන්ඩික්ස් එකෙන් ආවෙ මේ ආයතනය පටන් ගන්න. මේක මුලින් පටන් ගත්තේ ඔක්සෙන්ටා කියලා. මේකට නිර්මාතෘලා( Founder) දෙන්නෙක් හිටියා. මම සම නිර්මාතෘ කෙනෙක් විදියටයි සම්බන්ධ වුණේ.
කොහොමද ඒ ආරාධනාව එන්නෙ
ඇත්තටම වර්තුසා එකේ මාත් එක්ක හිටපු දෙන්නෙක් තමයි මට ආරාධනා කරන්නෙ. මම ඒ ආරාධනාව පිළිගත්තා
අලුත් වෙනස් වැඩකට අතගහන්න බය හිතුණෙ නැද්ද?
මම ආයතන එක්ක වැඩ කළාට තනියම ව්‍යාපාර පටන් ගන්න උත්සාහ කළ කෙනෙක්. ව්‍යාපාරයක් පටන් ගන්නකොට කොහොමත් අවධානමක් ගන්න ඕන; සහ ඒකට ලෑස්ති වෙන්න ඕන. මගේ ආර්ථික මට්ටම ඒ වෙනකොට යම් තරමකට හැදිලා තිබුණෙ. බැරි වෙලා හරි මේක අසාර්ථක වෙලා අවුරුද්දක් දෙකක් ගෙදර ඉන්න වුණොත් ගෙදර අඩුපාඩු නොවන මට්ටමට ආර්ථික වශයෙන් යම් මට්ටමකට මම ඇවිත් තිබුණෙ. ඒක නිසා මට ලොකු බයක් දැනුණෙ නෑ.
කවුද ඔබේ ඉලක්කගත පාරිභෝගික පිරිස වුණේ
අපි ඒකට කිව්වෙ Takin Product Ideas To The Market කියලා. දැනටමත් මේ කලාපයේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි තොරතුරු තාක්ෂණය පදනම් වුණු නිපැයුමක් ගැන අදහසක් තියෙන කෙනකුට ඒක වෙළෙඳපොළට ගෙනියන්න අවශ්‍ය කරන තාක්ෂණික දැනුම හා වෙළෙඳපොළ දැනුම ලබා ගැනීමේ ලොකු හිඩැසක් තිබීම. ඒක පුරවන්න තමයි අපි ඔක්සෙන්ටා එක හැදුවෙ. අපි කළේ ඒ වගේ අදහස් තියෙන අය අරගත්තා. අපිට තිබුණා අමෙරිකාව වගේ රටවල ඒ වගෙ අදහස්වලට ආයෝජන කරන්න පුළුවන් අය. අපි මැද්දෙ ඉදගෙන ඒ වගේ අදහස් තියෙන අය ආයෝජනය කරන්න පුළුවන් අයට සම්බන්ධ කරලා අවශ්‍ය කරන අදහස වෙළෙඳ නිපැයුමක් විදියට හදලා වෙළෙඳපොළට අරන් යන එකයි කළේ. අපි ඒ වගේ කිහිපයක් කළා. Money Valet එහෙමත් නැත්නම් QR Code එක පාවිච්චි කරලා ගෙවීම් කරන ක්‍රමය වගේ ඒවා හැදුවෙ අපි. අදහසක් බොහොම සාර්ථක වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන එක තමයි අපේ සාර්ථකත්වය වුණේ.
ඔක්සෙන්ටා කොහොමද
ඇසෙන්තුරා වෙන්නෙ
මේක අපි කාලයක් කරගෙන එනකොට මම දැක්කා අපිට ව්‍යාපාරික අවස්ථා දෙකක් තියෙන බව. එකක් තමයි අදහසක් විදියට අරගෙන එන තොරතුරු තාක්ෂණ නිපැයුමක් වෙළෙඳපොළට ගේන විදියට සකස් කිරීම. දෙවැන්න තමයි දැනට තොරතුරු තාක්ෂණ සේවා හා භාණ්ඩ පරිභෝජනය කරන ව්‍යවසාය ආයතනවලට ( Enterprises) සේවා ලබා දීම ව්‍යාපාරික අවශ්‍යතාවක්. අවුරුද්දකට ඒ වගේ සේවා අවශ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක වෙලාවක සම නිර්මාතෘවරුන් අතර යම්කිසි සාකච්ඡාවක් ඇති වුණා, අපි මේ දෙකෙන් මොකද්ද තෝරා ගන්නෙ කියලා. අදහස් අරන් ඒවා නිපැයුම් විදියට දිගටම දාගෙන යමු කියන එක තමයි අනෙක් නිර්මාතෘවරුන් දෙදෙනාගේ අදහස වුණේ.
ඒ කියන්නෙ අනෙක් ව්‍යාපාරික අවස්ථාව අතහරිනවා
ඒක අපට අදාළ දෙයක් නොවෙයි, අපි ඒක අතහරිමු කියලා තමයි අනෙක් දෙදෙනා කිව්වෙ. හැබැයි වර්තුසා එකේ ඉඳලම මගේ වැඩි නැඹුරුව තිබුණෙ එන්ටර්ප්‍රයිස් සර්විසස් පැත්තට. අපි දෙගොල්ලො කතා කරලා ආයතනය කොටස් දෙකකට කඩන්න එකඟ වුණා. මම ඇසෙන්තුරා විදියට ඒ ආයතනයේම කොටසක් අරගෙන වෙනම එන්ටර්ප්‍රයිස් සර්විසස් සහ නිපැයුම්වලට විශේෂිත කළා.
ආයතන ප්‍රධානියා විදියට කොහොමද තමන්ගෙ සේවකයන් එක්ක ගනුදෙනුව?
මේ ක්ෂේත්‍රයේ බොස් ලා නෑ. අපිත් එක්ක වැඩ කරන අයට නායකත්වය හා දැක්ම විතරයි මම ලබා දෙන්නේ. ආයතනයක් විදියට මේකෙ තියෙන්නෙ සමතල ආකෘතියක්. අපි වැඩ කරන පාරිභෝගිකයො ගණනාවක් ඉන්නවා. ඒ අයට අපි වෙන වෙනම කණ්ඩායම් හදලා තියෙනවා. ඒ කණ්ඩායම්වලට අපි සම්පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා ඒ අවශ්‍ය කරන සේවා ලබා දෙන්න. නිදහස් කණ්ඩායමක් විදියට තමයි වැඩ කරන්නෙ. මම කරන්නෙ අවශ්‍ය තැනදි විශේෂඥ දැනුමක්, යම්කිසි දායකත්වයක්, මැදිහත්වීමක් කිරීම පමණයි. අපි ගාව ඉන්නෙ ප්‍රවීණයො පිරිසක්. ඒ අයට බොස් කෙනෙක් ඕන නෑ. අවශ්‍ය කරන්නෙ ඒ අයට අවශ්‍ය වටපිටාව සම්පාදනය කිරීම පමණයි.
ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොනවාද?
පළමුවැනි හැරවුම් ලක්ෂ්‍යය මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. දෙවැනි එක වර්තුසා එකත් එක්ක එකතු වීම නිසා මට අමෙරිකාවෙ වැඩ කරන්න ලැබීම. තුන්වැනි එක සම නිර්මාතෘවරයෙක් විදියට මේ ආයතනය පටන් ගන්න අවස්ථාව ලැබීම.
ජිවිතේ අසීරුයි කියලා දැනුණු අවස්ථා මොනවද?
මම කවදාවත් හැරිලා බලලා පසුතැවෙන කෙනෙක් නොවෙයි. එහෙම දේවල් මටත් තාවකාලික ව දැනිලා තියෙනවා. පොදුවේ ගත්තම මට පෞද්ගලික විශ්වාස දෙකක් තියෙනවා. එකක් තමයි වෙන්නෙ හොඳම දේ කියන එක. ඒ මොහොතෙදී මට හිතෙන්න මට යමක් නැතිව ගියා කියලයි. නමුත් කාලයක් ගියාට පස්සෙ මට තේරිලා තියෙනවා, ඒක තමයි මට වුණු හොඳම දේ කියලා. ජීවිතේ අසීරු තැන් ගොඩක් තිබිලා තියෙනවා. එකක් මම නාරම්මල ඉඳන් විශ්වවිද්‍යාලෙ ආවෙ. මට සෑහෙන්න කාලයක් ගියා කොළඹට හුරු වෙන්න. අමෙරිකාවෙ ගියාමත් ගොඩක් කල් ගියා ගොඩනැඟෙන්න. මේවා සියල්ල මට ගොඩනැඟෙන්න ලැබුණු දේවල් පමණයි. අනික මම විශ්වාස කරනවා, මට බැරි නම් කාටවත් බෑ කියලා.
කවුද ජීවන සහකාරිය, ඒ වගේ ම දරුවන්
මම විවාහ වෙන්නෙ 2000 නොවැම්බර් 6 වැනිදා. මගේ බිරිය ඉනෝකා වෙලගෙදර. එයා පරිමාණ මිනුම්කාරිණියක්. පුතාලා දෙන්නයි, දුවයි අපට ඉන්නෙ. ලොකු පුතා සමිත, පොඩි පුතා රනුක. දුව නිහාරා.
සාමාන්‍යයෙන් පොත් කියවන්න කැමැතිද?
විෂයානුකූල පොත් කියවන්නයි කැමැති. මම දවසකට පැයක් විතර කියවනවා. මම ඕනෑම දෙයකට ලෑස්ති වෙලා යනවා. ඒවට අදාළ වටපිටාව මම කියවනවා.
චිත්‍රපට එහෙම බලන්න කැමතිද?
ඔව්. අනිවාර්යයෙන්. සති අන්තයේ අපි චිත්‍රපට කිහිපයක් බලනවා. ඇත්තටම මම චිත්‍රපට ලෝලියෙක්.
විවේක වෙලාවට මොකද කරන්නෙ
ඇත්තටම මම ෆැමිලි මෑන් කෙනෙක්. අපි දෙන්නා තමයි එකතු වෙලා ඔක්කොම වැඩ කරන්නෙ. අපේ බැඳීම හැදෙන්නෙ එතැනින්. ගෙදර තියෙන වැඩ ටික බිරියයි, ළමයි එක්ක එකතු වෙලා මම කරනවා. ඒ වගේම ගෙදර කරන්න පුළුවන් එක එක ව්‍යාපෘති අපි එකතු වෙලා කරනවා. ඒක විනෝදයක්. පුතාලා දෙන්නා ඉන්න කාලෙ අපි 1971 නිපදවපු කාර් එකක් ගෙනල්ලා හැදුවා. තල්ලු කරගෙන අරන් ආව කාර් එක අපි ස්ටාට් කරගෙන යන විදියට හැදුවා. ඒ වගේ පොඩි පොඩි ව්‍යාපෘති අපි එකතු වෙලා කරනවා.
සංචාරය කරන්න කැමැති කොහේද?
අපි නිතර සංචාරය කරනවා. ඒවා කාලයක් තිස්සෙ සංවිධානය කරලා යන ඒවා නොවෙයි. උදේ පහට විතර නැගිටලා නුවර පාරට වාහනේ දාගෙන පස්සෙ තමයි තීරණය කරන්නෙ කොහේද යන්නෙ කියලා.
බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ
නෑ. මට බ්‍රෑන්ඩඩ් ගැන විශ්වාසයක් ඇත්තෙ ම නෑ
මොකද්ද ඔබේ ජීවිතෙන් අනෙක් කෙනකුට ගන්න තියෙන ආදර්ශය
මගේ පෞද්ගලික ජීවිතේ ගත්තොත් මම නිතර ඕනෑම කෙනකුට කියන කාරණයක් තියෙනවා. ඒ තමයි සැලසුම් කරන්න. සැලසුම් නොකර මුකුත් වෙන්නෙ නෑ. තමන්ට ඉලක්කයක් තියෙන්න ඕන. තමන්ට තමන්ගෙ සැලසුම නිම කරගන්න පුළුවන් විදියේ යම් කිසි උපක්‍රමශීලිත්වයක් හැමෝටම තියෙන්න ඕන. උපක්‍රමශීලී නොවුණොත් තමන්ට කරන්න පුළුවන් දේ සහ උපක්‍රමශීලී වුණොත් තමන්ට කරන්න පුළුවන් දේ අතර ලොකු වෙනසක් තියෙනවා.
අනාගත පරම්පරාව ගැන මොකද හිතෙන්නෙ
ඒ පරම්පරාව බොහොම දක්ෂ පරම්පරාවක්. හැබැයි මම දකින දුර්වලතාවක් තියෙනවා ඔවුන්ගේ. පොදු බලාපොරොත්තුවලට වඩා පෞද්ගලික බලාපොරොත්තු වැඩියි ඒ අයගෙ. සමහරු මුළු උත්සාහයම මේ දවස්වල දරන්නෙ පිටරටකට යන්න. හැබැයි අපි පිටරට ගිහින් කාපු කටු දන්නවා නම් මේ අය එහෙම යන්න හිතන්නෙවත් නෑ. සමහරු පිටරට ගිහින් කන කට්ටෙ හැටියට ඒක මෙහේ කළා නම් කොච්චර දියුණු වෙන්න තිබුණද? ලංකාවෙ සාර්ථක වෙන්න බැරි කෙනා හිතනවා නම් මට අමෙරිකාවට ගිහින් සාර්ථක වෙන්න පුළුවන් කියලා ඒ යන වේගෙන්ම තමයි අනික් පැත්තට මෙහෙට එන්නෙ. නොපෙනෙනකම් සහ නොදැනෙනකම් තියෙනකම් තමයි මේ ඔක්කොම.
ඡායාරූප - මාලන් කරුණාරත්න