පාපන්දු ලෝක කුසලානය අස්සේ ඇහෙන මානව හිමිකම් චෝදනා | සිළුමිණ

පාපන්දු ලෝක කුසලානය අස්සේ ඇහෙන මානව හිමිකම් චෝදනා

වසර11ක් තුළ විදෙස් ශ්‍රමිකයන් 6500කට වඩා මිය ගිහින් 
- ගාඩියන්

ඒ සියලු දෙනා පාපන්දු පිටිවල සේවකයන් නොවේ 
- කටාර්

මේ දිනවල ලෝකයම කැරකෙන්නේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කටාරය වටා යැයි පැවසිය හැකිය. කටාරය මේ ලබන්නේ ජයග්‍රහණයකි. මැද පෙරදිග කොතරම් බලවතුන් සිටියද ප්‍රථම වරට පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වීමේ මිල කළ නොහැකි අවස්ථාව දිනා ගැනීමට තරම් කටාරය ශක්තිමත් විය. දක්ෂ විය. මේ අවස්ථාව මැද පෙරදිග කිසිදු රටක් විසින් මීට පෙර දිනා නොගත් අතර ආසියාවෙන් ද ඒ අවස්ථාව උදා කර ගත්තේ දකුණු කොරියාව සහ ජපානය පමණි. ඒ එම බලවත් රාජ්‍යයන් දෙකම එකට එක්වය. ඒ අනුව බලන විට පාපන්දු ලෝක කුසලානය වැනි විශ්වයේ විශිෂ්ටතම රංගනය යන විරුදාවලිය ලැබූ ඒ මහා තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව දිනා ගැනීම මඟින්ම කටාරය මැද පෙරදිග බලවතා බවට පත්ව අවසන්ය. 

පාපන්දු ලෝක කුසලානයක් මෙන්ම ඔලිම්පික් තරගාවලියක් වැනි අතිවිශාල අවස්ථාවක් කිසියම් රටකට හිමිවීම යනු නිසැකයෙන්ම එම රටේ එතෙක් පැවති ගමන් මඟ වෙනස් වීමේ තීරණාත්මක සාධකයක්ද වන්නේය. උදාහරණයක් ලෙස චීනය ගත හැකිය. 2008 වසරේදී චීනයේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන තෙක් චීනය යනු ලෝකයට නිද්‍රෝපගතව සිටින යෝධයකු පමණක් විය. එම යෝධයා නින්දෙන් අවදි වී ඇති බවත්, අන් කිසිදු රටකට නොදෙවෙනි තරම් බලවත් බවත් ලෝකය වටහා ගත්තේ ඔලිම්පික් තරගාවලිය අවසන් වීමත් සමඟිනි.

ඒ සමඟම චීනය මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවත්, සෙසු අසල්වාසී රටවල ස්වෛරීභාවයට බලපෑම් කරන බවත් පවසමින් බොහෝ චෝදනා එල්ල වන්නට විය. මේ චෝදනා අතර දලයි ලාමා ද පලිහක් කර ගත් අවස්ථා දැක ගත හැකි විය. එහෙත් චීනය පසුබැස්විය නොහැකි වූ අතර අද වන විට චීනය වඩා වේගවත් ගමනක නිරත වෙමින් සිටී.

කටාරය සම්බන්ධයෙන්ද වර්තමාන තත්ත්වය මෙයට බොහෝ ආසන්න බව පැවසිය යුතුය.

එවැනි විවාදාපන්න වාතාවරණයක් යටතේ අතිවිශාල මුදලක් වැය කරමින් කටාර් රාජ්‍යය පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වූ අතර උෂ්ණාධික පරිසරයක කිසිදු ප්‍රේක්ෂකයකුට අපහසුවක් නොදැනෙන පරිදි සුඛෝපභෝගී ආසන සහිත ක්‍රීඩාංගණ සමඟ ක්‍රීඩකයන්ට උපරිම පහසුකම් සහිත ක්‍රීඩාංගණ ද ඉදි කිරීමට ඔවුන්ට හැකි විය.

ලෝක කුසලානයට ආසන්න වීමත් සමඟ ලොව පුරා පැතිර ගිය පුවතක් වූයේ කටාර් රාජ්‍යය තම සේවකයන්ට නිසි පරිදි පහසුකම් නොසපයන බව සහ මානව හිමිකම් උල්ලංඝනය කරමින් මිනිසුන් සේවයේ යොදවමින් සිටින බවයි. මේ පුවත ප්‍රචාරය වීමත් සමඟ බොහෝ මාධ්‍ය ආයතන වහ වහා තම මාධ්‍යවේදීන් කටාර් වෙත එවූ අතර ඉන් පසු ලොවට ආවරණය වූ පුවත් සැබවින්ම ලොමු දැහැ ගැන්වෙන සුලු විය.

පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් කටාර් හි නවතම පාපන්දු ක්‍රීඩාංගණ හයක් ඉදි කළ අතර පැවති ක්‍රීඩාංගණ දෙකක් අලුත්වැඩියා කිරීම් ද සිදු විය. ඒ් සඳහා ස්වදේශික සේවකයන් මෙන්ම බහුතර සංක්‍රමණික සේවකයන් ද සේවයේ යෙදවීමට කටාර් බලධාරීන් කටයුතු යෙදීය. ඒ් සඳහා දස දහස් ගණනක ශ්‍රමිකයන් අවශ්‍ය වූයේ පාපන්දු කුසලානයත් සමග රටට පැමිණීමට නියමිත ලක්ෂ ගණනක ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ද පහසුකම් සැපයිය යුතු වූ බැවිනි. එහිදී අලුත්ම ගුවන් තොටුපොළක් සහ හෝටල් සංකීර්ණ රැසක් ඇතුළු ගොඩනැඟිලි රාශියක් ඉදි කිරීමට කටාර් බලධාරින්ට සිදු විය.

මේ සියල්ල අවසානයේ ලෝක කුසලානය ආරම්භ වූ අතර තරග පැවැත්වෙන තණතිලි හෝ ක්‍රීඩාංගණ හෝ හෝටල් හෝ සෙසු පහසුකම් සම්බන්ධව මේ දක්වා කිසිදු පැමිණිල්ලක් කටාර් වෙත පැමිණි ලොව සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයන්, බලධාරීන් හෝ ප්‍රේක්ෂකයන් වෙතින් ලැබී නැත.

මේ ඉදිකිරීම් අතරතුර සේවකයන් 6500ක් පමණ මිය ගොස් ඇතැයි යන පුවත ලොව පුරා පැතිර යන්නේ මෙවන් තත්ත්වයක් මතය. සැබවින්ම මැද පෙරදිග රටවල සංක්‍රමණික සේවකයන්ට පහසුකම් සැලසීම මෙන්ම වැටුප් ගෙවීම සම්බන්ධව ද ඇත්තේ එතරම් යහපත් ඉතිහාසයක් නොවේ. කෙසේ වුවද කටාර් රාජ්‍යයට චෝදනා එල්ල වන්නේ පාපන්දු තරගාවලිය වෙනුවෙන් සිදු කරන ලද ඉදිකිරීම් කටයුතුවලදී මානව හිමිකම් උල්ලංඝනය කළේය යන බරපතළ චෝදනාවද සමඟිනි.

කටාර් බලධාරීන්ම තහවුරු කර ඇති අන්දමට පාපන්දු ලෝක කුසලානය සඳහා සූදානම් වීමේදී සම්පූර්ණයෙන් විදෙස් ශ්‍රමිකයන් 30,000කගේ සේවය ලබා ගැනීමට එරටට සිදු වී තිබේ. මේ අතරින් වැඩි පිරිසක් යොදවා ඇත්තේ ක්‍රීඩාංගණ ඉදි කිරීම වෙනුවෙනි. මේ ශ්‍රමිකයන් අතරින් බහුතරය ඉන්දීය, බංග්ලාදේශ්, නේපාල සහ පිලිපීන ජාතියකයෝ වෙති.

මේ අතරින් සේවකයන් 6500ක් මිය ගිය බව බ්‍රිතන්‍යයේ ප්‍රකාශයට පත් වන ගාඩියන් පුවත්පත පවසන්නේ 2021 පෙබරවාරි මාසයේදීය. එතැන් සිට මේ දක්වාම කටින් කට යන්නේ එම පුවතමය. එහි යාවත්කාලීන වීමක් සිදු වී නොමැත. එසේ නැතහොත් තවත් සේවක අනතුරු සිදු වී නැත. එසේත් නැතහොත් කටාර් රාජ්‍යය යම් පුවත් වාරණයක් සිදු කර තිබේ. අපට සිදු වන්නේ මෙකී අනුමාන දෙකෙන් එකකට හිත හදා ගැනීමටය.

කෙසේ වුවද මියගිය සේවකයන් සංඛ්‍යාව එම රටවල තානාපති කාර්යාල මඟින් තහවුරු කර ඇති බව ගාඩියන් පුවත්පත පවසා තිබිණි. එහෙත් මේ සංඛ්‍යා පිළිබඳව අදහස් දක්වමින් කටාර් බලධාරීන් පවසා තිබුණේ ගාඩියන් පවසන අන්දමට මේ මරණ පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගත් දින සිට වාර්තා වූ ඒවාය. එනම් 2010 සිට ගාඩියන් එම පුවත පළ කරන 2021 දක්වා සිදුවූ විදේශ සේවකයන්ගේ මරණය. ඒ අනුව වසර 11ක් තුළ සිදු වූ මේ මරණවල සංඛ්‍යාත්මක අගයේ වැරැදීමක් සිදු විය නොහැකිය. එතරම් විදෙස් සේවක සංඛ්‍යාවක් කාටාර් හි සේවයේ නියැළෙන බැවිනි. අනික් අතට වසර 11ක් තුළ මෙතරම් පිරිසක් මිය ගියද ඔවුන් සියලු දෙනා පාපන්දු කුසලානයට අදාළ ඉදිකිරීම්වලදී මිය ගිය බව නිශ්චිතවම පැවසිය නොහැකිය.

කටාර් රාජ්‍යයට අනුව 2014 සිට 2021 දක්වා හදිසි අනතුරුවලින් සිදු වූ විදෙස් සේවක මරණ සංඛ්‍යාව 37ක් පමණි. එහෙත් ගාඩියන් දක්වා ඇත්තේ බොහෝ සේවක මරණවලට හේතුව හෘදයාබාධ ලෙස දක්වන බැවින් බොහෝ මරණ හදිසි අනතුරු අතරට අයත් නොවන බවයි.

කෙසේ වුවද මෙහිදී යම් මැදිහත් වීමක් සිදු කිරීමට උත්සාහ ගත් අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසා ඇත්තේ බොහෝ විට උෂ්ණ දේශගුණයක් සහිත කටාරයේ එළිමහනේ වැඩ කිරීම බොහෝ දුශ්කර බවත්, අධික උෂ්ණත්වය හේතුවෙන් සිදු වන මරණ හදිසි අනතුරු ලෙස වර්ගීකරණය නොකරන බවත්ය. ඒ අනුව වාර්තාවන මරණවල අඩු වීමක් දැකීම පුදුමයට කරුණක් නොවන බවත්ය. මේ සංවිධානය කටාර් හි රෝහල්වලින් එකතු කර ඇති දත්ත අනුව 2021 වසරෙදී පමණක් කටාර් හි විදෙස් සේවකයන් 50ක් හදිසි අනතුරුවලින් මියගොස් ඇති අතර 500ක් දෙනා බරපතළ තුවාල ලබා ඇති බවයි. සාමාන්‍ය හෝ මධ්‍ය පරිමාණ තුවාල ලබා ඇති විදෙස් ශ්‍රමිකයන් සංඛ්‍යාව 37,600ක් බව වාර්තා වී තිබේ. මේ තොරතුරු සෙවීමට දායක වූ බීබීසී මාධ්‍ය ආයතනයේ අරාබි අංශය ද දක්වා ඇත්තේ කටාර් හි සිදු වන විදෙස් ශ්‍රමිකයන්ගේ මරණ රජය මඟින් නිසි ලෙස ගණනය නොකරන බවයි. මේ සියලු බලපෑම්වලින් පසු සේවකයන්ගේ වැටුප් කිසියම් ප්‍රමාණයකින් වැඩි කිරීමත්, වැඩ කරන පැය ගණන සීමා කිරීම වැනි තීරණ කිහිපයක් ගැනීමට කටාර් බලධාරීහු කටයුතු කළහ.

කෙසේ වුවද මේ දක්වා කටාර් හි සේවය කළ විදේශ සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් නොයෙක් උද්ඝෝෂණ පැවැත්වේ. මේ සඳහා ඇතැම් පාපන්දු සමාගම්වල සහාය ද ලැබී ඇති බව සඳහන්ය. මේ චෝදනා අසත්‍ය යැයි කිසිසේත් පැවසිය නොහැකිය. එමෙන්ම පල ඇති රුකට ගල් වැදීමද නොවැළැක්විය හැකිය. මේ දෙක අතර සමබර තැනක සිට සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කළ හැකි නම් එය සමස්ත මිනිස් සමාජය ලබන ජයග්‍රහණයක් වනු නිසැකය.


Comments