සංවර්ධන ඉලක්ක පැහැදිලි කළ අය වැයක් | සිළුමිණ

සංවර්ධන ඉලක්ක පැහැදිලි කළ අය වැයක්

ලංකා ඉතිහාසයේ දරුණුතම අර්ථික අර්බුදයකට මුහුණදී ඇති අවස්ථාවක මෙවර අය වැය පිළිබඳව බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වා සිටියේ එම ගැටලුවලට විසඳුම් ලබාදෙන ආකාරයේ යෝජනා එහි ඇතුළත්වනු ඇතැයි අපේක්ෂාවෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අය වැය ලේඛනයේ පවතින අර්බුදයට විසඳුම් සොයන දිගුකාලීන ආර්ථික දැක්මක් මෙන්ම උපාය මාර්ගික වැඩපිළිවෙළක්ද ඇතුළත් වීම නිසා එය බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානයට ද යොමු වී තිබේ. ජනාධිපතිවරයා අයවැය ලේඛනය පාර්ලිමේන්තුව ඉදිරියේ තබමින් ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදයට හේතුව දේශපාලනඥයන් ජනප්‍රිය තීන්දු තීරණ කෙරෙහි උනන්දුව දැක්වූවා මිස සැබෑ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු නොකළ බවයි. එබැවින් ණයට අරන් මඟුල් කන ප්‍රතිපත්තියේ නොසිට අනාගත ආර්ථික සංවර්ධනය තුළින් රට තිරසාර සංවර්ධන මාවතකට යොමු කිරීම සඳහා වූ පිළිවෙතකට අපි යොමු විය යුතු බවයි.

තරුණ පරපුර රටේ ඉහළම සම්පතයි. ද්‍රව්‍යාත්මක දේ සම්පත් ලෙස සලකා ඒවා පිළිබඳව උනන්දුවක් දැක්වූවා මිස රටේ තරුණ පරපුරෙහි ආකල්ප ගැටලු අනාගත අපේක්ෂාවන් පිළිබඳව අවබෝධයක් නොතිබීම හේතුවෙන් බොහෝ ගැටලු ඇතිව තිබෙන බවද පෙන්වා දුන්නේය. නව ආර්ථිකය නිර්මාණය කරන්නේ රටේ ජාතික සම්පත වන තරුණ තරුණියන්ගේ හෙට දවස වෙනුවෙන්’ යැයි අයවැය ලේඛනයේ සඳහන් වෙයි.

රටේ ආර්ථික අර්බුදයේ සැබෑ හේතුව නිශ්චය කර ගැනීමටත්, තරුණ පරපුර මෙම තත්ත්වය කෙරෙහි දක්වන ප්‍රතිචාර හඳුනා ගැනීමටත්, නව ආර්ථිකමය ප්‍රවේශයකින් රටේ ඇතිව තිබෙන ගැටලුවලට ආමන්ත්‍රණය කිරීමට හැකිවන ආකාරයට මේ අයවැය යෝජනා සකස් කර ඇති බව පෙනී යයි. ලෝකයේ නව ප්‍රවණතා හඳුනා ගනිමින් ඩිජිටල් තාක්ෂණික ක්‍රම වෙත පිවිසෙමින් අනාගත ආර්ථික ප්‍රතිපත්ති සැලැසුම් කළ යුතුව ඇතැයිද ඒ අනුව මෙම අය වැය ලේඛනය සකස් කර ඇතැයිද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළේය. තරුණ පරපුරේ හැඟීම් සහ අවශ්‍යතාවන් හඳුනාගත හැකි සහ නැඟී එන මධ්‍යම පන්තියේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් අවධානයට යොමු කර අනාගත ලෝක ප්‍රවණතා හඳුනාගෙන අපේ ආර්ථික උපාය මාර්ග සකස් කරගත යුතුව ඇත. ඒ සඳහා වූ දර්ශනයක් ද උපාය මාර්ගික සැලැස්මක් ද මෙම අය වැය ලේඛනය මඟින් ඉදිරිපත් කර ඇත.

ලෝකයට සහ වෙනස් වන තාක්ෂණයට අනුකූලව අපේ රටේ ද වහාම වෙනස්කම් ඇති විය යුතු බව අයවැය ලේඛනයේ අවධාරණය කර තිබේ. ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන්නේ එය සෑම ආර්ථික අංශයකටම අදාළ කර ගත හැකි බැවිනි.

නිදහස ලැබීමෙන් පසුව ශ්‍රි ලංකාව 1956 සිට 1977 වර්ෂය දක්වා සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එය අසාර්ථක වීම නිසා 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. දැන් එයද යල්පැන ගොස් තිබේ. එබැවින් නව ආර්ථික ප්‍රවේශයක් ලබා ගනිමින් ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතුව ඇත. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව අය වැය යෝජනාව ඔස්සේ සමාජ ආරක්ෂණ සහ අපනයනය මූලික කරගත් නව ආර්ථික ප්‍රතිපත්තියකට පිවිසෙන බව ප්‍රකාශ කළේය. ශ්‍රි ලංකාවේ ආර්ථික ගැටලුද ලෝක ආර්ථික ප්‍රවණතාද අරගලයට මැදිහත්වූ තරුණ පිරිස්වල ආකල්ප සහ අපේක්ෂා ද හඳුනා ගනිමින් මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කර ඇති බව එම දැක්ම තුළින් පැහැදිලි වෙයි. ඒ ආකාරයේ විශාල පරිවර්තනයකින් මිස ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකි නොවේ. 1977 වසරේදී හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන පැවැති ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදී.

ඉන්පසුව මේ ආර්ථික ක්‍රමවේදයෙන් බැහැර වූ ආර්ථික පිළිවෙතක් පිළිබඳව රටේ දේශපාලන නායකයන්ගේ අවධානය යොමු වූ බවක් නොපෙනෙයි. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තියද වෙනුවට අලුත් ආර්ථික පදනමක් සකසා ගත යුතු බව පෙන්වා දී ඇත. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දී ගෙවුණු වසර 45ක් තුළ නව ආර්ථික පදනමක් සකස් කර ගත යුතු බව ප්‍රායෝගිකව ප්‍රකාශ වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනය පිළිබඳව අපි දනිමු. විශේෂයෙන් දේශීය කෘෂිකර්මාන්තය කඩා වැටීම, විදේශ විනිමය හිඟය, සංචාරක කර්මාන්තය බිඳවැටීම, විදේශ ප්‍රේෂණ අඩු වීම ආදිය මෙයට බලපා ඇති හේතු සාධකය. රටේ විදේශ ආදායම් මාර්ග බිඳ වැටෙද්දී පිළියම් යෙදීම සඳහා වූ උපාය මාර්ග මෙරටට නොතිබුණි. අර්බුදයේ ස්වරූපය, ඒවාට බලපෑ හේතු සහ එම ගැටලුවලට තිරසර විසඳුම් ලබාගත හැකි ආකාරය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව අර්බුදයට විසඳුම් සෙවිය නොහැකිය.

මෙවර අයවැයෙන් ඒ සඳහා වූ නව ප්‍රවේශයක් විග්‍රහයක් සහ දැක්මක් ප්‍රකාශයට පත් කර තිබේ. 1977 වසරේ නිර්මාණය කෙරුණු ආර්ථික පදනම යල්පැන ගිය එකකි. අපි කාලීනව ආර්ථික දැක්ම සකස් කරගත යුතුයි. එමෙන්ම නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අපි අලුත් ආර්ථික පදනමක් සකස් කරගත යුතුයි. ඒ අනුව නව ආර්ථික දැක්ම සඳහා වූ උපාය මාර්ග සහ ඒ සඳහා වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා වූ යෝජනා අයවැය ලේඛනය මඟින් ඉදිරිපත් කර තිබේ.

අපනයන මූලික කරගත් තරගකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් යන කරුණු පදනම් කරගෙන එම ආර්ථිකය ගොඩනඟනු ඇත. මේ නව ආර්ථික ක්‍රමය‘සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්’ වන අතර එය මෙම ක්ෂේත්‍ර 3ක් මත පදනම් වන බව අය වැය ලේඛනය මඟින් පෙන්වා දී තිබේ. නව ආර්ථිකය නිර්මාණය කරන්නේ රටේ ජාතික සම්පත වන තරුණ තරුණියන් වෙනුවෙන් - ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්’ යැයි අය වැය ලේඛනයේ සඳහන්ව තිබේ.

මේ අය වැය ලේඛනයේ එන නව ආර්ථික ප්‍රතිපත්ති සහ දර්ශනය මඟින් කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීනව නිශ්චිත අරමුණු සපුරා ගැනීම සඳහා අපේක්ෂා කරන සංවර්ධන ඉලක්කයන් පැහැදිලිව සඳහන් කර තිබේ. සියයට 7%ක සහ 8%ක මට්ටමේ ආර්ථික වර්ධනයක්, 2023 සිට 2032 දක්වා වාර්ෂිකව ඩොලර් බිලියන තුනක අපනයන වර්ධනයක්, වසර 10ක් යන තුරු වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ඍජු විදේශ ආයෝජන යන ඉලක්ක සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ කුසලතාවන්ගෙන් යුත් තරගකාරී ශ්‍රම බළකායක් බිහි කර ගැනීමද ඉලක්කගත කර තිබීම සාධනීය යෝජනා වෙයි.

අපේම ශක්තියෙන් අපට නැඟී සිටිමට හැකි පදනමක් සකස් කර ගැනීම පිළිබඳව සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රවේශයක් විවර කර ගැනීම අයවැය ලේඛනයේ සඳහන් වෙයි. ඒ අනුව 2021 දී 8.3% ක් වූ රාජ්‍ය ආදායම 2025 වසර වන විට ආසන්න වශයෙන් 15% දක්වා වැඩි කර ගැනීමටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 110% ක් වන ණය බර 100ට වඩා පහළ මට්ටමට ගෙන ඒමට කර ඇති යෝජනා ඉතා වැදගත් වෙයි. මේ නව ආර්ථික ක්‍රමය තුළ දිළිඳු සහ අවදානමට ලක්ව ඇති සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන බව සඳහන් කර ඇත. එම ප්‍රකාශය පරිදිම එම සමාජ කණ්ඩායම් වලට යම් සහනයක් අය වැය මඟින් ලබාදී ඇත.

විදේශ ආයෝජන මත බොහෝ දුරට රටේ ඉදිරි අනාගත ගමන රඳා පවතිනු ඇත. ඒ සඳහා සියලු ආයතන ඒකාබද්ධ කර එක ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබේ. බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට හා ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආයෝජන කලාප පිහිටු වීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කර ඇත. එසේම ජාත්‍යන්තර වෙ‍ෙළඳ සාකච්ඡා සම්න්ධයෙන් කටයුතු කරන වෙ‍ෙළඳ කාර්යාලයක් පිහිටුවීමටද යෝජනා කර ඇත. ඒ අතරම බස්නාහිර, නැඟෙනහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව සමුද්‍රීය සංචාරක ප්‍රවර්ධන කලාප ඇති කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් කර තිබේ. මේවා රටේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගත් යෝජනා රැසකි. ඒ සඳහා අරමුදල්ද වෙන් කර තිබේ.

දේශිය ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව ප්‍රතිසංස්කරණ සහ නව ව්‍යාපෘති සඳහා වන යෝජනා ඉදිරිපත් කර තිබේ. කුරුඳු සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ඵලදායීතාව වැඩි කිරීම සඳහා ජාතික ආර්ථික ඵලදායීතා කොමිසමක් පිහිටුවීම, නව ව්‍යාවසායන් දිරි ගැන්වීම සඳහා කටයුතු කිරීම වැනි යෝජනා ඒ අතර වේ. ආර්ථික අර්බුදයත් සමඟ උග්‍ර වීමට ඉඩ ඇති ආහාර ගැටලුවට පිළියම් සෙවීම සඳහා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට පියවර රැසක් ගෙන තිබේ.

එසේම රජය විසින් ලාබ ලබන ආයතන මෙන් ම පාඩු ලබන ආයතන කිහිපයක්ම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අය වැය ලේඛනය මඟින් යෝජනා කර තිබෙයි. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මීට පෙර පුද්ගලිකකරණය කරන ලද ආයතනයකි. එහෙත් උසාවි තීන්දුවක් අනුව එය යළිත් රජයට අයත් විය. රක්ෂණ සංස්ථාව මුලදී මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනය වූ නමුත් එහි තරගකාරීත්වය ගිලිහී ගොස් ඇත. රාජ්‍ය ආයාතනවල අකාර්යක්ෂමතාව අවශ්‍යතාවයන්ට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් සිටීම නාස්තිය දූෂණය වැනි හේතු නිසා මේවා ක්‍රමයෙන් පාඩු ලබන තත්ත්වයට පත්වෙයි. පාඩු ලබන ආයතන මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. අවසානයේදී ඒවා මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමට සිදුවෙයි. ඒ නිසා හොඳම විසඳුම වන්නේ එවැනි තත්ත්වයවකට පත්වීමට පෙර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමයි. ටෙලිකොම් ආයතනය මුලදී ඒකාධිකාරියක් සහිත රජය ආයතනයක් විය. එම කාලවකවානුවේදී දුරකතනයක් ලබාගැනීමට මහජනතාවට වසර ගණනාවක් පෝළිමේ සිටීමට සිදු විය. අද එය වෙනස් වී ඇත්තේ එම සමාගම් ප්‍රතිව්‍යුහත කොට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කරගත් හෙයිනි. පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලිකකරණයට නොවෙයි. ශ්‍රී ලංකන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් ඒජ් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතන කිහිපයක් පමණක් ප්‍රතිව්‍යූහගතකරණය කරන බව මෙහිදී දක්වා තිබේ.

එමෙවර අයවැය ලේඛනයේ සමස්තයේම වැදගත් කරුණ නම් මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් සොයන අතරම දිගු කාලීන අර්බුදයක් නැවත ඇති නොව ආකාරයෙන් ආර්ථික පදනම ශක්තිමත් කිරීමයි. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රටේ දිගු කාලීන ආර්ථික ගැටලුව පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට කටයුතු කර ඇත. “අපේ රටේ බොහෝ අවස්ථාවල සිදු වූයේ නිවැරදි තීන්දු වෙනුවට ජනප්‍රිය තීන්දු ගැනීමයි. දැන් බොහෝ අය උත්සාහ කරන්නේද ජනප්‍රිය තීන්දු ගැනීමටයි’. ජනප්‍රිය නොවූවද අවශ්‍යම තීන්දු ගැනීමට ඔහු ක්‍රියා කර ඇත.

විවේචනය කිරීම පහසු කාර්යකි. එහෙත් මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්ද? ආර්ථීක වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත් කර ඇති රටකට දැන් අවශ්‍ය විවේචනය නොව විසඳුම්ය. මහජනතාවට අවශ්‍ය වී ඇත්තේ විවේචනවලට සවන්දීමට නොව තමන් මුහුණ දී සිටින පීඩනයට සහ ගැටලුවලට මෙන්ම රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළකි. අද අය වැය ලේඛනය සහ රටේ තත්ත්වය පිළිබඳව දැඩි විවේචන ඉදිරිපත් කරන බොහෝ දේශපාලන පක්ෂ සහ නායකයන් රටේ වගකීම බාර ගන්නා ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී පරාජිත ආකාරය පලා ගිය ආකාරය මහජනතාවට මතකය. ඉන්ධන ගෑස් හා කිරිපිටි වැනි මූලික අවශ්‍යතා ලබාගැනීම සඳහා දින ගණන් පෝලිම්වල සිටි යුගය දැන් අවසන් වී ඇත. මහජනතාව අපේක්ෂා කළ ආකාරයට රටේ ආර්ථික අර්බුදයට දිගු කාලීන විසඳුම් ලබා දෙන නව ප්‍රවේශයක් 2023 වසර වෙනුවෙන් මෙවර අයවැය ලේඛනය මඟින් ඉදිරිපත් කර ඇත. එමඟින් රටේ ජනතාවගේ ගැටලු වලට සාධනීය පිළිතුරක් ලැබෙතැයි අපේක්ෂා කළ හැකිය.

Comments