තවත් ගැහැනියක්! | Page 4 | සිළුමිණ

තවත් ගැහැනියක්!

තාත්තාගේ මළගම දා ඔහු පිළිබඳ ගුණ - කථන සේම ඇගැයීම් වාර්තා ද තවදුරටත් ඉහළ ගියේය. අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මතයට අනුව තාත්තා තරම් යුතුකම් හා වගකීම් ඉටු කළ වෙනත් තැනැත්තකු මේ ගම් තුලානේ නැත. හැබෑවම ඔහු දරුවන් උදෙසා කළ කැපවීම මම හොඳාකාරව දනිමි. සුබ සාධක සමිතියේ සභාපති සෙනවිරත්න ඉස්කෝලේ මහත්තයා කියා සිටියේ තාත්තා තරම් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ වෙනත් තැනැත්තකු සොයා ගත නොහැකි බවය. තාත්තා කිසි දිනෙක කිසිවකුට බැණ වැදුණේ නැත. තාත්තා වැඩ කළ කන්තෝරුවේ නිලධාරී මහත්මයකුට අනුව උගත් මනුෂ්‍යයා පුරසාරම් දොඩන්නේ නැත. තාත්තා ද පුරසාරම් නැති නිහඬ හා ගැඹුරු චරිතයකි.

මීට සමාන්තර ලෙස අම්මා පිළිබඳ විවේචන හා දෝෂාරෝපණ ද ඉහළ ගියේය. ගමේ කුලඟන සමිතියේ ද පන්සලේ දායක සභාවේ ද ප්‍රබල චරිතයක් වූ ගොඩකවෙල හාමිනේ වරින්වර පෙන්වා දුන්නේ ස්වකීය පුරුෂයාට හා දරුවන්ට ද්‍රෝහි වන ස්ත්‍රියට සතර අපායෙන් මිදීමට හැකියාවක් නැති බවය. එබඳු ස්ත්‍රියක කෙතරම් පින් දහම් කළ ද ඇයට හිමි වන්නේ තිරිසන් ආත්මයක් බව ද ගොඩකවෙල හාමිනේ කියා සිටියාය.

අපේ නංගී අම්මා කෙරෙහි බද්ධ වෛරයකින් පසුවන බවක් මට හැඟෙයි. එය සාධාරණ යැයි කියන්නට ද කරුණු තිබේ. අම්මා අපේ තාත්තාව අතහැර ලොරි රථ රියදුරකු හා පැන ගියේ අප කුඩා අවධියේය. එවකට නංගීගේ වයස අවුරුදු අටකට වැඩිය නැත. ගැහැනු දරුවකුට අම්මා නැති පාඩුව හා ශෝකය තදින් දැනෙයි. නංගී ලොකු ළමයකු වූ දා තාත්තා චාරිත්‍ර ඉටුකරන්නට විඳගත් මහන්සිය මට මේ දැනුත් සිහිපත් වෙයි. පිරිමියකුට නොගැළපෙන වැඩ පවා ඔහු විසින් ඉටුකරන ලදි. අවසන් ලෙස චාම් උත්සවයක් පවත්වා නංගීගේ ගෙලට රත්තරන් මාලයක් දැමීමට ද ඔහු සමත් විය.

මම වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වූ දවසේ ද නංගී විශ්වවිද්‍යාලයයට තේරී පත්වූ දවසේ ද ඔහු ඉකිගසමින් හඬා වැටුණේය. ඒ සතුටට ද, දුකකට ද, ආත්මානුකම්පාවකට ද යන්න පැහැදිලි නැත. එහෙත් ගෙවී ගිය කාලය දෙස ආපසු හැරී බලන විට තාත්තා විසින් දරන ලද මහා කැපවීමක ප්‍රතිඵල ඇස් පනා පිට පවතී. ඒ බව ගම්මුන් යළි යළිත් සනාථ කරන විට ඔහුගේ වේදනාව තවත් ඉහළ යයි.

එකල අපේ තාත්තා තනිවම ඉවුම් පිහුම් කළේ ය. අපේ රෙදි සෝදා වියළා ඒවා පොල්කටු ඉස්තිරික්කයෙන් මැද පිළිවෙළකට තැබුවේය. අපිට නියම කර තිබුණේ පාඩම් වැඩ කිරීමට පමණි. තාත්තා අසනීප වූ අවස්ථාවලදී පවා අපේ වැඩ කොටස් ඉටු කළේය. ඇතැම් රාත්‍රියක ඉස්තෝප්පුවේ කබල් ඇඳමත ඒ පැත්ත - මේ පැත්ත පෙරැළෙන ඔහු හෙමින් කෙඳිරි ගෑවේය. දිගටම නිවාඩු ගැනීම නිසා ද ප්‍රමාද වී රාජකාරියට වාර්තා කිරීම නිසා ද ඔහුට රැකියාව අහිමි විය. එහෙත් තාත්තා සැලුණේ නැත. ඔහු ගෙදර වැඩ කරමින් මැණික් ගැරීමට ගියේය. අත්හරින ලද පතල් කූරු ගාමින් ද, කළු ගඟෙහි ඉවුරු හාරමින් ද තාත්තා තනිවම මැණික් ගැරුවේය. පළමුව ඔහුට පොඩි පොඩි වටිනාකමින් යුත් ගල් කෑලි හමුවිය. ඔහු නොනවත්වාම මැණික් පසුපස ගියේය. එක් වාසනාවන්ත දිනයක ඔහුට වටිනා නිල් මැණිකක් ලැබී තිබිණි. එහෙත් ඔහු මැණික් ගැරීම අත්හළේ නැත. ඔහුට දෙවැනි වරට ද තවත් වටිනා නිල් කැටයක් හමු විය.

තාත්තා සැලකිය යුතු පොහොසතකු වූ අතර ඔහු ඉඩම් හා වාහන මිල දී ගත්තේය. අලුත් ගෙවල් හැදුවේ ය. අප තිදෙනාගෙන් සමන්විත පවුලේ ආර්ථිකය ඉහළ යත්ම නංගී අම්මා කෙරෙහි බැඳගෙන තිබූ වෛරය තවත් වැඩි විය. ඈ තාත්තාට කියා සිටියේ අම්මාට ගෙදර පැත්ත පළාතේ එන්නට ඉඩ දිය යුතු නැත යන්නය. එහෙත් තාත්තාගේ ස්ථාවරය වෙනස් එකකි. වැරදි කළත් ඒ උඹලාගේ අම්මා යැයි ද, අම්මාට සැලකීම දරුවන්ගේ යුතුකමක් බව ද ඔහු කියා සිටියේය.

මගේත් නංගීගේත් විවාහ උත්සව ඉතා හොඳින් සංවිධාන කළ තාත්තා ඒ සඳහා අම්මාට ද ආරාධනා කළේය. මම තාත්තා ඉදිරියේ මෙන් ම අම්මා ඉදිරියේ ද වැඳ වැටුණෙමි. එහෙත් නංගී එසේ කළේ නැත. තාත්තාගේ දෙපා අල්ලා වැඳ වැටුණු ඇය අම්මා දෙසවත් නොබලා යන්නට ගියාය. අම්මා මහත් ශෝකයෙන් සුසුම් හෙළනු මම දිටිමි. කෙනෙක් නංගී නිවැරැදි බවට තර්ක කළහ. තව කෙනෙක් එය විවේචනය කළහ. මගේ මතයට අනුව ද නංගී කළේ වැරැද්දකි.

නංගීගේ විවාහයෙන් වසරකට පමණ පසු වරක් ඈ හදිසියේම අපේ ගෙදරට කඩා වැදී තාත්තාට බැණ වදින්නට පටන් ගත්තාය.

"තාත්තට ලැජ්ජාව කියන දෙයක් ගෑවිලාවත් නෑ! ඒකනෙ අර මිනිහට ලොරියක් අරන් දීල තියෙන්නෙ!"

"මං අම්මට සල්ලි ටිකක් දුන්නා!කාටවත් වාහන අරන් දුන්නෙ නෑ!"

"ඔච්චර කැක්කුමක් තියෙනව නම් අම්මා ආපහු කැන්දගෙන එන්ඩකො!"

"එහෙම කියන්ඩ එපා ළමයො! ඒ උඹලගෙ අම්මා!"

"අම්ම කෙනෙක් නම් දරුවො දාල ලොරි කාරයෙක් එක්ක

පැනල යනවද?"

"ඒක එයාගෙ කැමැත්ත නෙවැ!"

"තාත්ත නම් මහා නෝන්ජල් මිනිහෙක්!"

නංගී දිගටම බැණ වදින්නට වූවාය. එහෙත් තාත්තා එය ඒ හැටි ගණනකට ගත්තේ නැත. නංගී උගත් තැනැත්තික වුව අම්මාගේ දෙවැනි පුරුෂයා දුටු විට කාරා බිමට කෙළ ගසයි. ඇය ඒ මිනිහා හැඳින්වූයේ ලොරියා යන නමින්ය. ඔහුගේ දියණිය හැඳින්වූයේ "පර බැල්ලී!" යන නමින්ය. තාත්තා කාටත් රහසින් අම්මාට සලකන බව මම දැන සිටියෙමි. එහෙත් ඒ ගැන හාරා ඇවිස්සීමේ වුවමනාවක් මට නොවීය. එක අතකට තාත්තා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් ඔහුට අවශ්‍ය ලෙස වියදම් කිරීමට ඉඩ දිය යුතුය. තව අතකට අපට ඕනෑවටත් වඩා හොඳින් තාත්තා සලකා ඇත. තාත්තා මිය යන්නේ ද සියලු දෙනාටම යුතුකම් ඉටුකළ සර්ව - සම්පූර්ණ මිනිසකු හැටියට ය.

තාත්තා පසු කලෙක ඉතා තදින් බීමට ඇබ්බැහි විය. ඔහුගේ මරණයට හේතු වූයේ ද අධික බීමත්කමය. නංගීගේත් මගේත් විවාහ උත්සවවලින් පසු ඔහුගේ අරමුණු වෙනස් වූ බවක් පෙනෙයි. අප දෙදෙනාම දුරස් වූ පසු තාත්තාට පාළුව, තනිකම හා වේදනාව හොඳින් දැනෙන්ට ඇතැ'යි මට සිතේ. ඔහු වේදනාව තුනී කරගනු වස් දිගටම බොන්නට ඇත. එහෙත් ඒ පිළිබඳව චෝදනාව එල්ල වූයේ ද අම්මා වෙතටය. ගමේ ගැහැනු මිනිහා මරාගත් කාලකණ්ණි ගැහැනියක ලෙස අම්මා පිළිකෙව් කළහ.

තාත්තාගේ මරණය ආරංචි වූ සැණෙන් නංගී තහංචියක් පැනවූවාය. එනම්, ලොරියාට හා ඌගේ දියණියට මළගෙදරට සහභාගී වීම තහනම් හැටියටය. අම්මාට පමණක් මළ ගෙදරට සහභාගී විය හැකි බව ඇය දැන්වූවාය. එහෙත් ඇය අම්මා සමඟ එකම එක වචනයක් හෝ කතා කළේ නැත. අම්මා පිළිබඳ යම් දුකක් ද මා තුළ වැඩෙමින් පැවැතිණි.

මළගමේ කටයුතු අවසන්ව බොහෝ දෙනා පිට වී ගිය පසු ඇය සෙමෙන් මා වෙත පැමිණියාය.

"ලොකු පුතාට හුඟාක් දේවල් තේරුම් ගන්ඩ පුළුවන් නිසා මං යමක් කියන්නම්!"

"කියන්ඩ අම්මේ!"

"පුතාලගෙ තාත්තා හොඳ කෙනෙක් බව ඇත්ත! ඒත් එයා තාත්තා කෙනෙක් නෙමෙයි!"

"ඒ කිව්වේ!?"

"ඔයාලගෙ ඇත්ත තාත්තා එයා නෙමෙයි!"

මහා ප්‍රපාතයකින් පහළට ඇද වැටෙනවා වැනි සංකීර්ණ හැඟීමක් මට ඇති විය. ඒ අතර අපේ අම්මා සෙමෙන් පිට වී යනු දක්නට ලැබිණි.

Comments