අත්හැර ඇති පොලොන්නරුවේ තෙල් ටැංකි කඩි­න­මින් ප්‍රති­සං­ස්ක­ර­ණ­යට | සිළුමිණ

අත්හැර ඇති පොලොන්නරුවේ තෙල් ටැංකි කඩි­න­මින් ප්‍රති­සං­ස්ක­ර­ණ­යට

 පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන වලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කර යළි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. ඇමැතිවරයා මේ අදහස් පළකළේ පසුගියදා  පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි .

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ප්‍රකාශ කලේ පොලොන්නරුව දුම්රිය ස්ථානයට යාබදව ඛනිජ තෙල් ලීටර් 100,000 බැගින් ගබඩා කල හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 3ක් සහ වැලිකන්ද දුම්රිය ස්ථානයට යාබදව ඛනිජ තෙල් ලීටර් 54,000 බැගින් ගබඩා කල හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 5 ක් ඇති බවය.

දුම්රිය මඟින් ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීමේදී දැරීමට සිදුවන්නේ අවම පිරිවැයක් බව පැවසූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එලබෙන සතිය තුළ මෙම ටැංකි පද්ධතිය නවීකරණය කලයුතු ආකාරය පිළිබදව සාකච්ඡා කරන බව ප්‍රකාශ කලේය .

මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ

 

Comments