ජූලි මාසයේ පලාපල ඔබේ ලග්නයට බලපාන හැටි | Page 3 | සිළුමිණ

ජූලි මාසයේ පලාපල ඔබේ ලග්නයට බලපාන හැටි

ව දින කිහිපයකින් ජූලි මාසය උදාවන අතර, රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණයෙන් මිදී මඳඅස්වැසිල්ලක් හෝ ලබා ගැනීමට හැකිවේද යන්න බොහෝ දෙනකු විමසිලිමත් වෙන කරුණකි. ජූලි මාසය ආරම්භයේ සිටම රාජ්‍ය කාරක රවි ග්‍රහතුමා ප්‍රඥාකාරක බුධ ග්‍රහයා සමඟ බුධ ග්‍රහයාගේම රාශියක ගෝචර වීම සැනසිලිදායකය. ලංකා කේන්ද්‍රය අනුව ගත් කළ එම ග්‍රහ යෙදුම 5 වැන්නේය. ගුරු නම් පුරෝහිත ග්‍රහතුමා ලංකා කේන්ද්‍රයේ දෙවැන්න වූ ධනස්ථානයේ ගමන් කරයි.

ඒ අනුව අධ්‍යාපනය ලබන දරුවන්ට බාධාවකින් තොරව එම කටයුතු කරගෙන යෑමට පහසුකම් සැලසේයැයි අපට අදිටන් කළ හැකිය. එමෙන්ම ඩොලර් හිඟය මගහැරී ස්වාභාවික ආපදා දුරු වී ජනතාව සතුටින් තැබිය හැකි ග්‍රහ රටාවක් නිර්මාණය වේවායි ප්‍රාර්ථනා කරමින් එලැඹෙන එක් එක් ලග්න හිමියන්ට ජූලි මාසය බලපාන්නේ කෙසේදැයි විග්‍රහයක යෙදෙමු.

මේෂ 
එඩිතර ගති ලක්ෂණ මතු කරයි

ලග්නාධිපති කුජ ලග්නයට ඒම රුචක යෝගය නිර්මාණය කරන අතර, ඔබගේ යසස, කීර්තිය, අභිමානය දනවන ග්‍රහ යෙදුමකි. කිසිවකුටත් යටත් නොවන සහ මෙතෙක් තිබූ බාධක ඉවත් වීමෙන් අරමුණු ඉටුකර ගැනීමට ඉඩකඩ සැලසේ. කලා කටයුතුවල නියැළෙන අයට, නීතිඥ වෘත්තිකයන්ට, ගුරු වෘත්තීය උපදේශකත්වය වැනි කටයුතුවල යෙදෙන අයට වාසි සහගතය. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දක්ෂතාවන්ට ඉඩ ලැබේ. පදිංචි ස්ථානයේ අලංකාරය පිණිස වෙහෙසෙයි. ආවේගශීලී බව අඩුකර ගැනීම සහ ඉවසීම තුළින් ඔබගේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යෑමට හැකිවේ. විදේශ ගමන් බලාපොරොත්තුව සිටි මේෂ ලග්න හිමි ඔබට ඉඩ සැලසෙයි. විවාහ ජීවිතය සතුටින් ගෙවෙන අතර සහකරු හෝ සහකාරියගේ ආදායම් මාර්ග දියුණු වේ. මේ මාසයේ විවේකය ලද විටක රතු නෙළුම් හෝ වෙනත් රතු මල් බෝධීන් වහන්සේ අබියස පූජා කිරීමෙන් අපල අඩුවේ.

වෘෂභ 
කලා කටයුතුවලට සුබයි 

ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්නයේම බුද්ධිය ගෙන දෙන බුධ ග්‍රහයා සමඟ සංයෝගව සිටීම යහපත්ය. ලග්නාධිපතිගේ බලය වැඩිවන මේ කාලයේ කලා කටයුතු කරන අයට බෙහෙවින්ම සුබදායකය. ජයග්‍රහණ හිමිවේ. මාලවි යෝගය සහිතයි. වෙළෙඳ ව්‍යාපාර, රැකී රක්ෂා දියුණු වේ. 7 අධිපති කුජ 12 වැන්නේ රාහු සමඟ ගෝචර වී සිටීමෙන් විවාහ ගැටලු ඇති විය හැකිය. එහෙත් සිකුරු ලග්නගතව සිටීම නිසා අවිවාහක අයට මංගල යෝග උදාවේ. රවි ග්‍රහතුමා මිථුන රාශිය වූ දෙවැන්නේ නිසා ඉවසීමෙන් වචන පාවිච්චි කරන්න. බුධගේ සංයෝගය ද දින 2කින් ඇතිවේ. රවි බුධ යෝගය යහපත් වේ. රැකියා අපේක්ෂිත අයට බලාපොරොත්තු ඉටුවේ. නොකළ වැරදිවලට චෝදනා ලැබිය හැකි බැවින් යන එන ආශ්‍රය කරන අය අතර පරෙස්සම් වන්න. බුද්ධිමත් වන්න. දහමට යොමුව කටයුතු කිරීම තුළින් අපල අඩුවේ. කුසගින්නේ සිටින අයකුට ආහාර වේලක් දෙන්න.

මිථුන 
ලැබීම් සහිතයි 

ජූලි මාසය ආරම්භයේ ලග්නාධිපති බුධ 12 වැන්නේ සිකුරු සමඟ ද ලග්න ගතව රවි ද දෙවැන්නේ සඳුද ශනි 09 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද රාහු සහ කුජ 11 වැන්නේ ද ගෝචරව ඇත.

මෙම ග්‍රහ රටා අනුව ග්‍රහ ලොව රජු වන රාජ්‍ය කාරක රවි ලග්න ගතව සිටීමන් අභිමානවත්ව සිය වැඩ කටයුතු කරගෙන යන්නට හැකි වන අතර නීතිගරුක වේ. ප්‍රිය මනාපව ඇසුරු කරන අය අතර ගැවසේ. පුණ්‍ය කටයුතුවල නියැළීමේ භාග්‍යය උදාවේ. සියලු ලැබීම් පෙන්වන 11 වැන්නේ කුජ ගමන් කිරීම ආර්ථිකය මෙන්ම අඩුපාඩු ලෙස පැවති බොහොමයක් කාරණා ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉඩ ලැබේ. සිකුරු 12 වැන්නේ ගමන් කිරීම දුර ගමන් යෙදීමට හැකි අතර, දරුවන්ට අපල අසනීප පෙන්වයි. දින 2කට පසුව බුධ ලග්නගත වීමෙන් බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්නට පෙළඹේ. සූරිය පිරිත ශ්‍රවණය කිරීමෙන් අපල අවම වේ.

කටක 
විදේශගතවීම් යෙදෙයි 

ලග්නාධිපති සඳු ලග්නයේ ද ශනි 8 වැන්නේ ද 9 වැන්නේ ගුරු ද රාහු, කුජ 10 වැන්නේ ද සිකුරු බුධ 11 වැන්නේ ද රවි 12 වැන්නේ ද සිට මාසික චාරිකාව ආරම්භ කරයි.

අෂ්ටම ඒරාෂ්ටකයක් ද ගතකරන අතර රාජ්‍යකාරක රවි 12 වැන්න තුළ ගෝචර වන්නේ 2 වැන්න අධිපති ලෙසයි. ඒ නිසා නීතිමය ගැටලු මතුවිය හැකි අතර ආදායම අඩු වී වියදම් වැඩිවීමක් දක්නට ලැබෙයි. ගුරු විසින් ලග්නය දැකීම මත ගැටලු අවම කර ගැනීමට පුළුවන. රාහු කුජ 10 වැන්නේ නිසා රාජකාරි කටයුතු ඉක්මනට කරයි. නමුත් ආවේගශීලී බව අඩුකර ගැනීම ආයතන ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී වැදගත් වේ. බුධ 12 වැන්නට පැමිණීම විදේශගත වන්නට බලාපොරොත්තු වන අයට සුබදායී වේ. අසරණව සිටින කෙනකුට ආහාරපාන දීම, රතන සූත්‍රය සජ්ඣායනා කිරීම අපල අවම කරයි. ඒරාෂ්ටක අපලය පිළිබඳව සිතා කටයුතු කරන්න.

සිංහ 
ව්‍යාපාර කටයුතු දියුණු වෙයි

ලග්නාධිපති රවි 11 වැන්නේ ගෝචර වීම ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. දෝෂ භංග වෙන අතර රෝග නිවාරණය ද සිදුවෙයි. 7 වැන්නේ සෙනසුරු ද 8 වැන්නේ ගුරු ද 9 වැන්නේ කුජ රාහු ද 10 වැන්නේ සිකුරු සහ බුධ ද සඳු 12 වැන්නේ ද ගෝචර වෙයි.

ඔබට මෙම කාල පරාසය සුබඵල ලබාදෙයි. මාලවි යෝගය උදා කර දෙන සිකුරු වෙළෙඳාම්, රැකී රක්ෂා දියුණු කරයි. යෝගකාරක කුජ ග්‍රහයා ද 9 වැන්නේ සිටිමින් ලග්නය දකී. එඩිතරව ධෛර්යමත්ව ප්‍රබෝධමත්ව කටයුතු කරන්නට පෙලඹේ. සඳු 12 වැන්නේ සිට චාරිකාව ආරම්භ කරන බැවින් සිතෙහි අවිවේකය බලපවත්වයි. මාසයේ දෙවැනි දිනයේදී බුධ 11 වැන්නට පැමිණීම නීතිය වෘත්තියක් කරගත් සහ ගුරු වෘත්තියේ යෙදෙන අයට උපදේශක තනතුරු හොබවන අයට වාසිදායකය. මෝර පිරිත ශ්‍රවණය කිරීම අපල අවම කර ගැනීමට ඉවහල් වේ.

කන්‍යා 
වැඩි වගකීම් පැවරේ

කන්‍යා ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ පුණ්‍යස්ථාන ගතව සිටීම ආගම දහමට වැඩිපුර නැඹුරුවක් ඇති කරවයි. 12 අධිපති රවි 10 වැන්නට පැමිණීම රැකියා කටයුතු වලට සහනයක් සැලසේ. 10 වැන්නට රවිගේ දිග්බල වීම නිසා වැඩි වගකීම් පැවරේ.

විදේශගත වන අයට සුබ පණිවිඩ ලැබෙයි. මාසයේ මුල් දිනවලම ස්ත්‍රී පක්ෂයේ කෙනෙකුගෙන් උපකාර හිමිවේ. යෝගකාරක සිකුරු ද භාග්‍යස්ථාන ගතවීම සහ ලග්නය දැකීම සැහැල්ලු පැවතුම් හා සංයමයෙන් කටයුතු කිරීමට ඉඩ ලබාදෙයි. විවාහය සතුටින් පවත්වාගන යයි. කුජ ග්‍රහයා 8 වැන්නට පැමිණීම අපල ඇති කරන බැවින් සහ රාහු සමඟ යෝග වී ඇති හෙයින් ප්‍රවේසම් සහිතව ගමන් බිමන් යෑම, අවදානම් සහිත වැඩවලට නොයා සිටීම වැදගත් වේ. ආවේගශීලී නොවී ඉවසීම ප්‍රගුණ කිරීම අගෝස්තු මස මැද කොටස වන තෙක් කල්පනාවෙන් කටයුතු කිරීමත් බෝධි පූජා ආදියට සහභාගි වීමත් අසුබ ඵල මග හරවයි.

තුලා 
වචන පිට කිරීමේදී පරෙස්සම් වන්න

ඔබගේ ලග්නාධිපති අට වැන්නේ ගමන් කරන්නේ බුධ ග්‍රහයා සමඟය. මාසය ආරම්භයේ සඳු කර්මස්ථාන ගතව සිටීමෙන් රැකියාවේ වෙනස්කම් දක්නට ලැබෙන අතර ඇවිදිලි සහිත රාජකාරිවල නියැළෙන්නට සිදුවෙයි. විදේශගත හිත මිතුරන්ගෙන් උපකාර ලැබෙන අතර විදේශගත වන අයට ද බලාපොරොත්තු ඉටුවේ. 7 වැන්නේ දෙවැන්නාධිපති රුචක යෝගයෙන් සිටීම ආදායම් වැඩි කර දෙන නමුත් රාහු සමඟ සිටීම විවාහයට බාධා පමුණුවයි. අනව්‍යශ බැඳීම් ඇති කර නොගෙන සිටීම වඩාත් යහපත් වේ. යෝගකාරක සෙනසුරු 5 වැන්නේ සිටීමෙන් පෙර පිං බලය මතුකරයි. කලා කටයුතුවල නියැළෙන අයට සුබ මංපෙත් විවර කෙරේ. මේ මාසය තුළ ඉවසීම ප්‍රගුණ කිරීමත් ආවේගශීලී බව අඩුකර ගැනීමත් වචන පිට කිරීමේදී දෙවතාවක් සිතීමත් ජීවිතය සතුටින් ගෙවන්නටත් ආදායම් වර්ධනය කර ගැනීමටත් ඉවහල්වේ. උදේ - සවස භාවනාවක යෙදීම ප්‍රතිඵල දායකයි.

වෘශ්චික 
සතුරු කරදර බාධක ඉවත් වෙයි

ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන කුජ රාහු සමඟ 6 වැන්නට ගෝචර වීම අසුබ නැත. සතුරු කරදර පහව යයි. පසුගිය කාලය තුළ තිබූ බාධක ඉවත් වී දියුණුවට කටයුතු සම්පාදනය වෙයි. විදෙස් ගමන්, විදේශවල සිටින හිතවතුන්ගෙන් උපකාර ද හිමිවේ. සිකුරු විවාහක ස්ථානයට ගෝචර වීම අනුව ආදරණීය සබඳතා වර්ධනය වුවත් 8 අධිපති බුධ සමඟ යෝගවීම සුළු මත භේද ඇති කරයි. මාලවි යෝගයක් නිර්මාණය වී තිබෙන බැවින් වෙනදාට වැඩි ආර්ථික වාසි ලැබීමේ හැකියාව පවතී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවේ. පුණ්‍ය කටයුතුවලට සහභාගි වීම නිරන්තරයෙන් සිදුවේ. නිෂ්ඵල ගමන් සහ නිෂ්ඵල වියදම් යෙදේ. දරුවන්ගේ වුවමනා එපාකම් පිළිබඳ වෙහෙසෙන්නට සිදුවෙන අතර, ඔවුන් වෙනුවෙන් වැය පක්ෂය ද ඉහළ යයි. මේ මාසය තුළ බෝමළුව පිරිසුදු කිරීම සහ රතු නෙළුම් මල් පූජා කිරීම අපල මග හරවා ගැනීමට පිටිවහලක් වේ.

ධනු 
බාධක ඉවත් වෙයි

ඔබගේ ලග්නාධිපති ගුරු හංස යෝගයෙන් යුතුව සිවු වැන්නේ සිටීම ගෙදර දොර දියුණුවට, පදිංචි ස්ථානයට සුබඵල අත්වෙයි. කුජ රාහු සමඟ 5 වැන්නට පැමිණීම දරුවන්ගේ දඟකාරකම් වැඩිවෙයි. හිතුවක්කාර විය හැකිය. අධ්‍යාපන කටයුතු, තාක්ෂණ දැනුම වැඩි දියුණු වේ. පුණ්‍ය කටයුත්තකට ආරාධනා ලැබෙයි. අඩාළ වී තිබූ ව්‍යාපාරික කටයුතු යළි නැංවෙයි. තරග විභාගවලට සහභාගි වන අයට ජය ලැබෙයි. ධර්ම කර්මාධිපති යෝගය නිසා වෙනදා තිබූ බාධක ඉවත් වී සිතෙහි ශක්තිය ධෛර්ය වර්ධනය වේ. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගත හැකි වාතාවරණයක් නිර්මාණය වේ. මව හෝ මවු පාර්ශ්වයේ කෙනෙකුට සෙම් රෝග උද්ගත විය හැක. චෛත්‍යයක් අබියස කහපාට සහ රතුපාට මල් පුදා ඉෂ්ට දේවතාවුන් වහන්සේට පිං දීම මුල් සතියේම කරන්න. එමඟින් මාසය පුරාවට තිබෙන අපල අවම වෙයි. ප්‍රධානීන්ගෙන් උපකාර හිමිවෙයි.

මකර 
අසනීප ගති මඟහැරෙයි

ලග්නාධිපති දෙවැනි භාවයේ ගමන් කරන මාසය තුළ ඔබගේ වචනයේ බලයෙන් කටයුතු සලස්වා ගැනීමට හැකිවෙයි. සහෝදර පක්ෂයේ දුවා දරුවන් හේ ඥාතීන් පැමිණේ. අසනීප ගති තිබුණා දැයි කියා ගණන් නොගෙන ගෙදර දොර කලඑළි කිරීමට වෙහෙසෙයි. අණසක පතුරුවයි. සුළු තුවාල, සීරීම් ආදියට ඉඩ ඇත. කලාත්මක හැකියාවන් වර්ධනය වේ. සංගීතයට ප්‍රියවේ. 8 අධිපති සරලා යෝගයෙන් 6 වැන්නේ ගෝචර වීම රාජ්‍ය අංශවල නියැළෙන අයට පහසුකම් සලසයි. ප්‍රධානීන්ගෙන්

උපකාර හිමිවෙයි. පෙර පිං බලය නිසා දහම් පොත පත කියන්නට සහ බණ දහම් අසන්නට ඉඩකඩ සලසා ගනී. දුවා දරුවන්ගේ බලාපොරොත්තු

ඉටුවිය හැකි කාල සීමාවකි. ඔවුන්ගේ දියුණුව සැලසේ. බලු කපුටු දාන, දුගියකුට ආධාර උපකාර කිරීම, නුගකොළ මත එළඟිතෙල් පහන් දල්වා බෝධි පූජා තැබීම ආදිය අපල මග හරවයි.

කුම්භ 
පවුලකට නව සාමාජිකයන් එකතු වෙයි

ලග්නාධිපති ලග්නයේවත් ගුරු දෙවැන්නේත්, තෙවැන්නේ කුජ, රාහුත් සිව් වැන්නේ බුධ සහ සිකුරුත් 5 වැන්නේ රවි සහ 6 වැන්නේ සඳුත් සමඟ ආරම්භ වන මාසය ඔබට බොහෝ සුබඵල අත්කර දෙන කාල සීමාවකි. මිල මුදල්, ධන ධාන්‍ය මෙන්ම කලක සිට සිතෙහි තිබූ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි. ගත කරන දශාව සහ උපතේදී ග්‍රහයින් පිහිටා සිටි ආකාරය අනුව අසුබ ඵල යෙදෙන්නට ඉඩ ඇත. කථා බහ, වචනය නිසා අන්‍යයන් ඔබට උදවු උපකාර කරයි. ස්වෝත්සාහයෙන් තම තමන්ගේ කටයුතු කර ගැනීමට අන්‍යයන්ට කරදරයක් නොවී සිටීමට නිතර සිතයි. පදිංචි ස්ථානයේ පවුලේ සාමය සමාදානය වර්ධනය වේ. සෙම් රෝග මතුවේ. ඒරාෂ්ටක අපල තත්ත්වයක් ආරම්භවී ඇති හෙයින් වැඩ වැඩිවෙන කාලයකි. බෝධිපූජා තැබීම, භාවනාවල යෙදීම, අන්‍යයන්ට උපකාර කිරීම, සතුන්ට කෑම බීම දීම තුළින් අපල අවම වේ.

මීන 
ගුරුහරුකම් ලැබෙයි

ලග්නාධිපති ලග්නයේම ගමන් කරන නිසා යහපත් සිතුවිලිවලින් හෙබි සාමකාමී වටපිටාවක් නිර්මාණය වෙයි. එහෙත් කුජ රාහු දෙවැන්නේ ගමන් කරන බැවින් වචන පරෙස්සමෙන් හසුරුවන්න. දෙවරක් සිතා බලා කෙනෙකුට යම් දෙයක් කියන්න. නැතිනම් අමනාප විය හැකියි. කලා හැකියාවන් ඔප් නැංවෙයි. ලැබීම් සහ මිල මුදල් අතමිට ගැවසුණත් ඒ හා සමානව වියදම් ද යෙදෙයි. පදිංචි ස්ථානයට රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණීම සහ උපකාර ලැබීමේ ඉඩකඩක් පෙන්වයි. මවු පාර්ශ්වයේ උදවු හිමිවේ. දානමාන, බෝධි පූජා ආගමික උත්සවවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. ආගමික නායකයන්ගේ, වැඩිහිටි අයගේ ගුරුහරුකම් ලැබ ජීවිතය සතුටින් පවත්වාගෙන යෑමට හැකි වාතාවරණයක් සැලසේ. නිතර අභිසම්භිධාන පිරිත කීම යහපත් වේ. නිර්මාංශ වීම, භාවනාවක යෙදීම කළ හැකි නම් අපල අවම වේ.

 ප්‍රවීණ ජ්‍යෛාතීර්වේදිනි ශ්‍රීයා ගනේගොඩ

Comments