වඩා වැදගත් වන්නේ කරන කාර්යයයි | Page 3 | සිළුමිණ

වඩා වැදගත් වන්නේ කරන කාර්යයයි

ලිනියානු සම්මානය හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා ඔහුයි

වඩමාරච්චි පදක්කම හිමි වූ පළමු සිවිල් නිලධාරියා ඔහුයි

පසුගිය වසර 130 තුළ ශ්‍රී ලංකාවේ උභයජීවී විශේෂ හතළිහකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔහුට හැකි විය. එයින් 19ක් පමණ වඳ වී  ගොස් ඇති බවට ඔහු විසින් කළ සොයා ගැනීම  ලෝකයේ ඉහළ ම  ජාතික වඳවීමේ වාර්තාව විය

ස්වාභාවික විද්‍යාව සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් වාර්ෂික ව විද්‍යාඥයන් හට පිදෙන Linnean Medal of Zoology සම්මාන 2022 වසර වෙනුවෙන් හිමිවන්නේ ශ්‍රී ලංකාවේ පරිසරවේදියෙක් සහ විද්‍යාඥයෙක් වන රොහාන් පෙතියාගොඩට ය. වසර 1888 මැයි මාසයේ සිට විද්‍යාඥයන් විසින් කරන ලද සමාජ මෙහෙවර වෙනුවෙන් ලිනියානු සම්මානය ලබා දී ඇතත්, ශ්‍රී ලාංකිකයකුට මෙම සම්මානය හිමි වන ප්‍රථම අවස්ථාව මෙය යි. එසේ ම ආසියාතිකයකු විසින් මේ සම්මානය ලබා ගන්නා දෙවැනි අවස්ථාව මෙය යි.

 

විද්‍යාඥ පෙතියාගොඩ දේශීය මෙන් ම විදේශීය වශයෙන් පෘෂ්ඨවංශීන් පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර මත්ස්‍යයන්, උභය ජීවීන් සහ කටුස්සන් ආදි නව පෘෂ්ඨවංශී විශේෂ 100කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඔහු විසින් සිදුකර ඇති දේශීය හා විදේශීය පර්යේෂණ පිළිබඳ සලකා බලා මෙරට විශ්වවිද්‍යාල දෙකකින් ම ඔහුට ගෞරව ආචාර්ය උපාධි පිරිනැමීමට කටයුතු කර ඇති නමුත් ඔහු ඒ සියලු ගරු සම්මාන නම්බු නාම නිහතමානී ව ප්‍රතික්ෂේප කොට සිය පර්යේෂණ කාර්යය පමණක් ඉදිරියට ගෙන යන්නේ ය.

“කල් ඇති ව දැනගෙන මා වෙත සම්මාන ගෞරව පිරිනමන්න සූදානම් කළ සියලු දේ මා ප්‍රතික්ෂේප කළා. මේ සම්මානයට මාව නම් කරන තුරු ම මම ඒ ගැන දන්නේ නැහැ. මම හැමවිට ම හිතන්නේ කරන කාර්යයයි උතුම් කියා.” රොහාන් පෙතියාගොඩ කතා බහ ආරම්භ කරමින් පැවසුවේ ය. සිය සගයන් සමඟ එක්ව ශ්‍රී ලංකාවෙන් මත්ස්‍යයන්, උභයජීවීන් සහ කටුස්සන්, ඇතුළුව නව පෘෂ්ඨවංශී (vertebrate) විශේෂ 100ක් පමණ සොයා ගැනීම හෝ විස්තර කිරීම සඳහා ඔහු වගකිව යුතුය. මිරිදිය කකුළුවන් විශේෂ 43කට අමතරව පසුගිය වසර 130 තුළ ශ්‍රී ලංකාවේ උභයජීවී විශේෂ හතළිහකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔහුට හැකි විය. එයින් 19ක් පමණ වඳ වී ගොස් ඇති බවට ඔහු විසින් කළ සොයා ගැනීම ලෝකයේ ඉහළ ම ජාතික වඳවීමේ වාර්තාව විය. 1991 සහ 2012 අතර WHT ඉංග්‍රීසි සහ සිංහල යන දෙඅංශයෙන් ම ජෛව විවිධත්ව විද්‍යා පොත් (ක්ෂේත්‍ර මාර්ගෝපදේශ) 40 ක් පමණ ප්‍රකාශයට පත් කර ඇත.

2012 ජූලි මාසයේදී පෙතියාගොඩ සහ සගයන් විසින් දකුණු ආසියානු මිරිදිය මත්ස්‍ය විශේෂයක් ලෙස ඩෝකින්සියාව නම් කරන ලද්දේ පරිණාමීය ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් හට ගෞරවයක් වශයෙනි. ඉන් අනතුරුව පෙතියාගොඩ පවසා තිබුණේ රිචඩ් ඩෝකින්ස් ඔහුගේ ලේඛන තුළින් විශ්වය වඩා සුන්දර බව අපට වටහා ගැනීමට උපකාර වූ බවයි. රොහාන් පෙතියාගොඩ විසින් මිරිදිය සයිප්‍රිනයිඩ් ප්‍රභේදය ‘හලුඩාරියා’ ලෙස නම් කරන ලදී.

රොහාන් පෙතියාගොඩට ගෞරව පිණිස 2020 දී එස්. ඩී. බිජු ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පෙතියාගොඩට ගෞරවයක් වශයෙන් දකුණු සහ අග්නිදිග ආසියානු ගස් ගෙම්බන් Rohanixalus ලෙස නම් කරන ලදී. එසේ ම තවත් මාළු, කටුසු, මකුළු හා ගෙම්බන් විශේෂ කිහිපයක් පෙතියාගොඩගේ නමින් නම් කර ඇත. Dawkinsia rohani, Rasboroides rohani, microhylid frog Uperodon rohani, Calotes pethiyagodai, Onomastus pethiyagodai, Macromidia donaldi pethiyagodai යනු ඒ නම් කිහිපයකි. ජෛව විවිධත්ව සංරක්ෂණයට කළ දායකත්වය අගයමින් ජාතික විද්‍යායතනයේ සාමාජිකයකු ලෙස පත් වූ පෙතියාගොඩ විසින් විද්‍යාත්මක සාහිත්‍යයයේ ලිපි 60කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇත. ‘ශ්‍රී ලංකාවේ ගවේෂණ ඉතිහාසය’ (2007), ‘හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය’ (2012), ‘ශ්‍රී ලංකාවේ පරිසර විද්‍යාව සහ ජීව භූගෝල විද්‍යාව පිළිබඳ’ (2021) ඔහු ලියූ කෘති අතර වේ. 2009 සිට මේ දක්වා ම Zootaxa සඟරාවේ Asian Freshwater Fishes හි කර්තෘ ලෙස ද සිඩ්නි හි ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ පර්යේෂණ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. 1980 සිට 1987 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ලෙස ද 1984 සිට 1987 දක්වා ජල සම්පත් මණ්ඩලයේ සභාපති ලෙස ද 2002 සිට 2005 දක්වා ශ්‍රී ලංකා රජයට පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශක ලෙස ද 2005 සිට 2009 දක්වා සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විශේෂ පැවැත්ම කොමිසමේ (species survival commission) නියෝජ්‍ය සභාපති ලෙස ද 2008 සත්ත්ව විද්‍යා නාමකරණය සඳහා වූ ජාත්‍යන්තර භාරයේ භාරකාර මණ්ඩලයේ (International Trust for Zoological Nomenclature) භාරකාර ලෙස ද ඔහු කටයුතු කර ඇත.

මේ සියල්ල සමඟ ගහකොළට, දියගොඩ වෙසෙන පුංචි පුංචි සතුන්ට ආදරය කරන්නට ඔහුගේ හදෙහි තෙතමනය ඇති කරවූ අක්මුල් සොයා අපි ඔහු සමඟ කතාබහට එක් වුණෙමු. 1955 නොවැම්බර් 19 වැනි දින පේරාදෙණිය ගෙඩිඔය ගමේ උපන් රොහාන් පෙතියාගොඩගේ මව මේරි පෙතියාගොඩ බදුල්ලේ තැනැත්තියකි.

“මගේ සීයා ඒ කියන්නේ අම්මාගේ තාත්තා රොබට් ෆොරස් නමැති සුදු ජාතිකයා යි. ඔහුට බදුල්ල පස්සර ප්‍රදේශයේ තේ වත්තක් තිබුණා. මගේ තාත්තා තිලකවංස පෙතියාගොඩ පේරාදෙණියේ උපත ලබලා තේ වත්තක කළමනාකරුවෙක් ලෙස වැඩ කළා. තාත්තාගේ තාත්තා විදුහල් පරීක්ෂකවරයෙක් ව සිටියා. අපි පුංචි කාලේ ඉඳලා ජීවත් වුණේ තලවකැලේ, ලුඳුළ වගේ පැතිවල තේ වතු ආශ්‍රිත ව යි. මම ඉස්කෝලේ ගියේ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයට යි. කොළඹ බෝඩිමක ඉඳලා මම ඉස්කෝලේ ගියා”

පාසල් ජීවිතයේ විවිධ හැලහැප්පීම් දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වූයෙන් රොහාන් සාමාන්‍ය පෙළ විභාගය පළමු අවස්ථාවේදී අසමත් විය. එයින් පසු දැඩි උත්සායකින් නැවත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට දෙවැනි අවස්ථාවේ පාසලේ හොඳ ම ප්‍රතිඵල ලැබූ ඔහු දෙවසරකින් යුතු උසස් පෙළ එක වසරකින් සමත් ව එංගලන්තයට ගොස් ලන්ඩන්වල කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව උපාධිය ලබා ගත්තේ ය. පසුව 1980 දී සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දර්ශනශූරී උපාධිය ද ලබා ගත්තේ ය.

“මගේ පුංචි අම්මා එංගලන්තයේ සිටි නිසා මගේ අධ්‍යාපන වියදම් දරන්න ඇය ඉදිරිපත් වුණා. ඒ නිසා මට පහසුවෙන් එංගලන්තයට යන්න හැකි වුණා. මම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගෙන ජෛව වෛද්‍ය ඉංජිනේරුවෙක් වුණා. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් ගැන මම ඒ කාලේ පර්යේෂණ කළා. ඒ අනුව රෝහල්වල තියෙන එම්. ආර්. අයි. ස්කෑනර් යන්ත්‍ර වගේ වෛද්‍ය උපකරණ නිර්මාණය කිරීම හා ඒවායේ නඩත්තුව ගැන බැලීම මගේ වෘත්තීය කුසලතාව බවට පත් වුණා.”

1981 සිට 1982 දක්වා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ඉංජිනේරුවෙකු ලෙසත්, 1982 සිට 1987 දක්වා එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කළ රොහාන් පෙතියාගොඩ 1984 දී ශ්‍රී ලංකා ජල සම්පත් මණ්ඩලයේ සභාපති ලෙස පත් විය. 2002 සිට 2004 දක්වා ශ්‍රී ලංකා රජයට පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශක ලෙස සේවය කළ ඔහු 2005 දී IUCN විශේෂ පැවැත්ම පිළිබඳ කොමිසමේ නියෝජ්‍ය සභාපති ලෙස තේරී පත් විය. බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ ජෛව විවිධත්ව හවුල්කාරිත්වයේ ඇෂුවරන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති ලෙස වසර හතරක කාලයක් සේවය කළ ඔහු 2008 දී සත්වෝද්‍යාන නාමකරණය සඳහා වූ ජාත්‍යන්තර භාරයේ භාරකාර මණ්ඩලයට තේරී පත් වූයේ ය. 2009 දී ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය ඔහු ව සිඩ්නි හි පර්යේෂණ සහකාරයකු ලෙස පත් කරන ලද අතර, 2015 සිට 2018 දක්වා ඔහු ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති (2015 – 2018) ලෙස කටයුතු කළේය. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජාතික කෞතුකාගාරයේ පත්වීම යටතේ එහි පර්යේෂණ කටයුතුවල නියැළෙමින් වසරෙන් භාගයක් ඔස්ට්‍රේලියාවේ ද ඉතිරි කාලය ලංකාවේ ද ගත කරමින් වයස අවුරුදු 97ක් වන සිය මවගේ දුක සැප ද බලා ගනිමින් කටයුතු කරන්නේ ය. ලංකාවේදී ඔහුගේ කාර්ය වන්නේ ලිවීම ය. එසේ ම 1998 දී, ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරය ශීඝ්‍රයෙන් අහිමි වීම පිළිබඳ කනස්සල්ලට පත් රොහාන් පෙතියාගොඩ, අත්හැර දැමූ තේ වතු ස්වභාවික වනාන්තර බවට පත් කිරීමේ (තවමත් ක්‍රියාත්මක) ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය. මේ සඳහා ඔහුට Rolex Award for Enterprise සම්මානය ද ලැබුණි. එහි අසිරිය ද ඔහු ලංකාවේදී අත්විඳින්නේ ය.

“වෘත්තීය ජීවිතය කුමක් වුවත් පුංචි කාලේ ඉඳලා මගේ කැමැත්ත තිබුණේ කැලේ ඇවිදින්න, ගස් ගැන, සතුන් ගැන හොයන්න යි. තාත්තා නිතර ම විල්පත්තු, යාල කැලේ ගියා. මටත් එහෙම ගියා ම අවස්ථාව ලැබෙනවා ගඟ‌ට බැහැලා මාළු බලන්න. ඒක තමයි මගේ සතුට වුණේ. ආදරය තිබුණේ විද්‍යාත්මක කටයුතුවලට යි. ඒත් ඒකෙන් රැකියාවක් හොයා ගන්න බැහැ කියලා තාත්තා කිව්ව නිසා මම ඒ පැත්තෙන් උසස් අධ්‍යාපනය ලැබීමට ගියේ නැහැ. පශ්චාද් උපාධිය අතරමඟ තැනකදී මට නිවාඩුවකට ලංකාවට එන්න ලැබුණා. ඒ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ තනතුරක් සඳහා පුවත්පත් දැන්වීමක් තාත්තා දැකලා මම ඒකට ඉල්ලුම් කළා. සම්මුඛ සාකච්ඡාවට ගිය වෙලාවේ එතන සිටි අය කිව්වේ මේ තනතුරට සුදුසුකම් සපුරපු කෙනෙක් ලංකාවේ නැහැ කියලා යි. ඒ වෙලාවේ අමාත්‍යාංශයේ ලේකම් ව සිටි බී.සී. පෙරේරා මට කිව්වා මේ තනතුරට අදාළ ව ශාස්ත්‍රපති උපාධියක් කරලා ආවොත් රැකියාව දෙන්නම් කියලා. මම ඒ වෙලාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියේ. නමුත් මම මේක කරලා ලංකාවට ඇවිත් 1980 තනතුර බාර ගත්තා. ඒ අනුව ලංකාවේ පළමුවන ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයා වුණේ මමයි.

මා යටතේ සේවක කණ්ඩායම එකසිය විසි පහක් විතර සිටියා. ලංකාවේ රෝහල් සියල්ලේ ම තාක්ෂණික කටයුතු කළමනාකරණය කිරීම මගේ රාජකාරිය වුණා. එතකොට මගේ වයස අවුරුදු විසි පහයි. අවුරුදු හතක් මම ඒ වෘත්තියේ නියැළෙමින් ලංකාව පුරා ම රෝහලෙන් රෝහලට ගමන් කරමින් දවල් රෑ නැතුව වැඩ කළා. ඒ කාලෙදි ම යුද්දෙත් පටන් ගත්තා. යුද්දෙකට මුහුණ දෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක් ඒ වෙද්දි අපට තිබුණේ නැහැ. අපේ සෙබළු යුද්දෙන් තුවාල ලැබුවොත් ඒවාට ප්‍රතිකාර කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒකත් මම හමුදාවත් එක්ක එකතු වෙලා සිදු කළා. පළාලිවල වගේ තැන්වල රෝහල් ඉදි කෙරුණේ ඒ අනුව යි. මම ඉතා ම අඩු වයසක සිටි නිසා හැම කෙනෙකුගේ ම සහාය මට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත කළ වසර හත පුරා ම ලැබුණා. වඩමාරච්චි සටනෙන් පස්සේ ඉන්දියානු හමුදාව ලංකාවට ආව නිසා අපේ හමුදාවට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වෙද්දි මමත් එක දිගට වසර හතක් වෙහෙසිලා හොඳට ම හෙම්බත් වෙලයි හිටියේ.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වෙතින් මට වඩමාරච්චි පදක්කම හිමි වුණා. හමුදාවේ නොසිටියාට සිවිල් නිලධාරියෙකු හැටියට මට ඒ සම්මානය ලැබුණා. මම හිතන විදිහට හමුදාවේ නොසිටි කෙනෙකුට හමුදා සම්මානයක් පිරිනැමීම ඉන් පෙර ලංකාවේ සිදු වෙලා නැහැ. ඒ ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. රැකියාව කැමැත්තෙන් හා කැපවීමෙන් කළත් මගේ ආදරය තිබුණේ ජෛව විවිධත්ව කටයුතු සඳහා යි. දිවයිනේ මිරිදිය මත්ස්‍යයන් ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීම සඳහා 1987 දී රජයේ සේවයෙන් මම ඉල්ලා අස්වුණා. ඒ වෙද්දී මම විවාහ වෙලා පිය පදවියත් ලබා සිටි නිසා රජයත් තේරුම් ගත්තා තවදුරටත් මේ වෘත්තිය මට පහසු නැහැ කියලා. ඒ නිසා රාජ්‍ය සේවයෙන් ඉවත් වීමට මා විසින් කරන ලද ඉල්ලීමට අවසර ලැබුණා. මට විශ්‍රාමය ලැබුණා. මගේ යාළුවෙක් එක්ක ලංකාවට වෛද්‍ය උපකරණ ගෙන්වලා අලෙවි කිරීමේ පොඩි සමාගමක් මම ආරම්භ කළා. ඒක පසුව ඉතා ම දියුණුවට පත් වුණා. මේ ව්‍යාපාරය නිසා මට කැලේ ඇවිදින්නයි, මාළු ගැන නිරීක්ෂණ කරන්නයි නිදහස ලැබුණා.

1988 සිට 1991 දක්වා මම මේ පර්යේෂණය කළා. ඒ කාලේ රටේ කලබල තිබුණු නිසා මගේ කටයුතු හා ගමන්වලට බාධා ඇති වුණා. ඒත් මම ඒවා මඟ හරවා ගනිමින් දිගට ම නිරීක්ෂණ කළා. ඒ පිළිබඳ ග්‍රන්ථය මම “ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයන්” (Fresh water fishers of Sri Lanka) යනුවෙන් 1991 දී පළ කළා. ඒ මගේ පළමු වන ග්‍රන්ථය යි. එක රටක සියලු මත්‍ස්‍යයන් ඡායාරූපත් සමඟ පළ වූ පළමු ග්‍රන්ථයත් එය යි. මෙම පොතෙන් ලද US$ 40,000 ලාභය ලංකාවේ තවදුරටත් ජෛව විවිධත්ව ගවේෂණය සඳහා Wildlife Heritage Trust (WHT) පදනම 1990 දී පිහිටුවීම සඳහා යෙදවූවා. මම ජාත්‍යන්තර සඟරාවක පර්යේෂණ පත්‍රිකාවක් මුලින් ම පළ කළේ 1989 දී යි. කිතුල්ගල කැලණි ගඟ අයිනේ තියෙන පොඩි දොළක මාළු විශේෂයක් හිටියා. ඒ මාළුවාට විද්‍යාත්මක නමක් තිබුණේ නැහැ. මම ඒ මාළුවාට “පුන්සියස් අසෝකා’’ කියලා නම දැම්මා. අසෝකා කියලා නම දැම්මේ ඒ මාළුවා ගැන මට මුලින් ම කිව්වේ අසෝකා මීවනපලාන කියලා කෙනෙක් නිසා යි. “සිස්ටොමස් අසෝකා’’ කියලා දැන් ඒ මාළුවා හඳුන්වනවා. මේ මාළුවා ලංකාවට පමණක් නෙවෙයි කිතුල්ගලට ආවේණික යි. ඒ මාළුවා ඉන්නේ කිතුල්ගල සහ දැරණියගල පමණයි. ලෝකයේ වෙන කොහේවත් ඒ මාළුවා නැහැ. පළමු වන පර්යේෂණ පත්‍රිකාව ඒ ගැන යි. තවත් මාළුවෙක් මම හොයා ගත්තා “බන්දුල බාබ්’’ (Bandula Barb) කියලා එයාට කිව්වා. ඒ මාළුවා ඉන්නේ වරකාපොළ ආසන්නයේ පිහිටි ගලපිටමඩ ගම්මානයේ යි. බන්දුල පෙතියා ඒ ගමේ එක දොළකට පමණක් සීමිත ව ඒ ගමට ආවේණික යි. ගමේ අය ඒ මාළුවා සංරක්ෂණය කරන්න ලොකු වෙහෙසක් දරනවා ”

ජීවන සහකාරිය වූ ජානකී සමඟ 1986 දී පෙතියාගොඩ විවාහ දිවියට එළඹෙයි. බිරියක් ලෙස සියලු යුතුකම් ආදරණීය ව ඉටු කරමින් ඔහුගේ සියලු කටයුතුවලට සහාය වීම ඇය අතපසු නොකළා ය. විවාහයෙන් පුතුන් දෙදෙනෙකු ලද රොහාන් පරිසර අධ්‍යයනයෙන් තමා ලද අත්දැකීම් ඊළඟ පරපුරට ආදරණීය ව අත්දකින්නට අවශ්‍ය උපදේශනය හා සහාය උපරිම අයුරින් ලබා දෙන්නේ ය. රුවන් හා සරිත් ඔහුගේ පුතුන් දෙදෙනා ඇමෙරිකාවේ තාක්ෂණ ඉංජිනේරු විද්‍යා අංශයෙන් බොහෝ සුරුකම් පාන්නේ ය.

“රසායනික පොහොර භාවිතය නිසා අද කුඹුරු ආශ්‍රිත ඇළවල මාළු නෑ කියලා සමහරු කියනවා. නමුත් මම ඒක පිළිගන්නේ නැහැ. මිය යාම් සිදු වන්න ඇති. නමුත් ඒ මාළු තවමත් ඉන්නවා. බොහෝ අය ඒ මාළු ගැන හරි විදිහට හොයන්න දන්නේ නැහැ. මාත් මුලදි ඇත්තට ම බය වුණා මාළු නැති වෙයි කියලා. එහෙම දෙයක් නෑ. මාළු ඉන්නවා.” ඔහු කීවේ ය. ඔහු තවමත් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදී ම මාළු බලන්නට ඇළ, දොළ, දිය කඩිති වෙත ගමන් කරන්නේ ඉමහත් ආදරයෙනි.

 

 තුෂාරී කළුබෝවිල

Comments