
ඉන්ධන, විදුලි, ගෑස්, කිරිපිටි අර්බුදය තවම නිසියාකාරව අවසන් වී නොමැති නිසා පසුගිය සතියේ දේශපාලනයේ බොහෝ කතිකාවන් සිදුවූයේ මෙම කාලීන කරුණු මුල්කරගෙනය. කොවිඩ් ලෝක වසංගතය සමඟ ඇතිවු ලෝක ආර්ථික අවපාතය මෙරටට ද ප්රබලව බලපෑ අතර එය දේශපාලන ක්ෂේත්රය ද උණුසුම් කරනුයේ එම අවපාතය ගැන දේශපාලන වේදිකාවලද ප්රබලව කතා කිරීම නිසාය.
පාර්ලිමේන්තුවේ සිට අගමැතිගෙන් මෙහෙයුමක්.
තෙල්, ගෑස් පෝලිම් හේතුවෙන් ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නිසි අවධානය යොමුකරමින් එම ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අදාළ අංශවලට දිනපතාම වාගේ උපදෙස් ලබා දෙමින් සිටි.
පසුගිය 24 වැනිදා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ සභාගර්භයට යෑමට පෙර පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඉන්ධන සහ ගෑස් අර්බුදය ගැන කතාබස් කරමින් සිටියහ.
මහ බැංකු අධිපතිට සහ තෙල් සභාපතිට අගමැතිගෙන් ඇමතුම්
තෙල් හා ගෑස් ගැන අලුත්ම තත්වය දැනගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වූ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ තම දුරකථනයෙන් සම්බන්ධ කර දුන්නේය. "මොකද සුමිත් තෙල් බෙදාහැරීම. පුළුවන් තරම් දිවා රාත්‍රී නොබලා තෙල් බෙදාහැරීමේ කටයුතු රට පුරාම සිදුකරන්න." යනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
"තෙල් නැව්වල තත්වය කොහොමද? තෙල් නැව්වලට සල්ලි ගෙවීම සිදු වෙනවාද?" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා විමසීය.
"ඔව් සර්, අදත් එල්.සී. ඕපන් කරනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." යනුවෙන් සුමිත් විජේසිංහ කියා සිටියේය.
"කොහොමහරි ජනතාව පෝලිම්වල තියන්න එපා. කොතරම් අභියෝගයක් වුණත් ඉක්මනට පෝලිම් නැතිකරලා ජනතාවට සහනයක් ලබා දෙන්න." යනුවෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. "සර් මහ බැංකු අධිපති අජිත් කබ්රාල්ටත් කතා කරලා එල්.සී. ඕපන් කිරීම ගැන අහමු." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ව අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් සම්බන්ධ කර දුන්නේය.
"අජිත්, මොකද තෙල්, ගෑස් ගෙන්වන්න එල්.සී. ඕපන් කළාද? ඒවා ඉක්මන් කරලා කරල දෙන්න." යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"ඔව් සර්, ඉක්මනට කෙරෙනවා. හැමතිස්සෙම මං ඒ ගැන අවධානයෙන් ඉන්නේ." යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.
ලෝහාන්ට අලුත් වැඩක්
එම ස්ථානයේ සිටි ගුදම් පහසුකම්, බහාලුම් අංගණ, වරාය පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ද වගකීමක් පැවරීමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අමතක නොකෙළේය.
"ලොහාන් ඔයා දැන් වරාය රාජ්‍ය ඇමතිනේ. තෙල් නැව් ඇවිල්ලා, තෙල් ගොඩ බෑම හෙමින් කිරීම වගේ දේවල් කාර්යක්ෂමව සිදු කරන්න හැම උදව්වක්ම දෙන්න." යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසූවේය.
"දැනටමත් ඒ වැඩේ වෙනවා සර්. මායි රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමායි උපදෙස් දීලා තියෙන්නේ." යනුවෙන් ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වුණේ 22 වැනිදා දහවල් 11.45 ට පමණය.
එය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහල් පිහිටි කමිටු ශාලා අංක 1 දීය.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ කෙරුණු අතර එහිදී සාකච්ඡා කෙරුණේ එම සතියේ පාර්ලිමේන්තුවේ වැඩසටහන් පිළිබඳවයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ පසුවත් මැති ඇමැතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් විටින් විට මැතිසබයේ සිට පැමිණියේ ඒ එන විටත් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙමින් තිබුණු නිසාය.
මේ අතර විරුද්ධ පක්ෂයේ ප්‍රබලයකු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන ශාලාව දෙසට ගමන් කරන විට අගමැති ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඇතුළු ආරක්ෂක නිලධාරීහු සහ තවත් නිලධාරීහු කිහිපදෙනෙක් පුදුමෙන් බලන්නට වූහ.
මෙසේ පැමිණෙමින් සිටියේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාය.
"හිතලම එනවද? වැරදිලා එනවද?" යනුවෙන් අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් බලන බැල්මෙන් දැනගත් හර්ෂ ද සිල්වා මඳක් සිනහවිය.
"මං මේ එන්නේ මේ රැස්වීමට නෙමෙයි. යාළුවෙක් බලන්න. රංජිත් බණ්ඩාර මන්ත්‍රිතුමා ඉන්නවද?" යනුවෙන් ශාලාව අසලට පැමිණි හර්ෂ තරමක් උස් හඬින් විමසා සිටියේය.
"මේ රංජිත් කෝ... ඔයාගේ බෑග් එක කමිටු රැස්වීමේ දාලා ඇවිල්ලා. මං ඒක දෙන්න ගෙනාවා." යනුවෙන් හර්ෂ තම අත තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ බෑගය පෙන්වීය. හර්ෂ මන්ත්‍රීතුමා මොකද අපේ කණ්ඩායම් රැස්වීම ළඟට පැමිණේ කියන කකුස බොහෝ දෙනෙකුට එමඟින් දුරු කර ගැනීමට හැකි විය.
රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පැමිණ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ස්තූති කරමින් තමන්ගේ බෑගය ලබා ගත්තේය. "හර්ෂ මන්ත්‍රීතුමා ඔහොම ඇවිල්ලා වාඩිවෙන්න. මුදල් රාජ්‍ය ඇමැතිකම දෙන්න පුළුවන්." යනුවෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිමින් සීරුවේ කීවේය. ඊට සිනහවෙමින් ප්‍රතිචාර දැක්වූ හර්ෂ ද සිල්වා ආපසු හැරී පිටත්ව ගියේය.
සර්වපාක්ෂික සමුළුවට විශාල අවධානයක්
රට මේ අවස්ථාවේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂ එකතු වී වැඩපිළිවෙළක් සාදාගත යුතු යැයි කියන යෝජනාවට ජනාධිපතිවරයා එක පයින් කැමැති විය. මේ සතියේ සර්වපාක්ෂික හමුවක් පවත්වන්නට තීරණය වූයේ ඒ නිසාය.
ඒ අනුව 23 වැනි බදාදා උදේ 10.30 ට ජනාධිපති මන්දිරයේ දී සර්වපාක්ෂික හමුව පවත්වන්නට අවශ්‍ය සියලු විධි විධාන සූදානම් කෙරිණි.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපති කාර්යාලය දින දෙකක පමණ සිට මේ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කරනු ලැබීය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට සාකච්ඡාව සඳහා පැමිණෙන අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයන්ට හා නියෝජිතයන්ට වෙන වෙනම ආසන පැනවූ අතර ඒ සියලුම ආසනවලට භාෂා පරිවර්තන උපකරණ සූදානම් කළ යුතු විය. අවශ්‍ය කරුණු දැක්වීම්වලට සරිලන පරිදි ලොකු වීඩියෝ තිර ද සූදානම් කර තිබිණි.
බදාදා උදේ නියමිත වෙලාවට සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරනු ලැබීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිපයේ නියෝජිතයන්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂ නායකවරයෙකු වන ආර් සම්පන්දන්, සුමන්තිරන් ඇතුළු දෙමළ සන්ධානයේ නියෝජිතවරු අනෙකුත් දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතවරු විශාල පිරිසක් මේ සඳහා සහභාගීව සිටියහ.
සර්ව පාක්ෂික හමුවට ජනාධිපතිවරයා ඉතා හොඳින් සූදානම් වී සිටින බව පෙනෙන්නට තිබිණි. පැමිණි ආරාධිතයන් පිළිගනිමින් ජනාධිපතිවරයා පිළිගැනීමේ කතාව කළේය. ඔහු සමඟ අගමැති හා ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිස ද අසුන්ගෙන සිටියහ.
අපේ රටේ ආර්ථිකය දැන් මුහුණ පා සිටින අර්බුදය පිළිබඳ පැහැදිලි කරමින් කතාබහට ප්‍රවේශයක් දෙන්නට ජනාධිපතිවරයා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ආරාධනා කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවර්පොයින්ට් භාවිත කරමින් අජිත් නිවාඩ් කබ්රාල් කබ්රාල්ගේ විග්‍රහය පටන් ගත්තේය.
ජනපතිට රනිල්ට කනගාටුව ප්‍රකාශ කළේ ඇයි?
"මේ ඇදවැටීම ක්‍රමානුකූලව වෙච්ච දෙයක්. මට ටිකක් වේලාව අරන් පැහැදිලි කරන්න වෙයි" එසේ කියමින් සිය ඉදිරිපත් කිරීම පටන් ගත්තේය.
"2015 දී අපි ආණ්ඩුව භාර දෙන කොට මේ කලාපයේ අපේ ආර්ථික වර්ධන වේගය දෙවැනි වෙලා තිබුණේ චීනයට පමණයි. ඒත් අන්තිමේ 2019 අපි ආණ්ඩුව බාර ගන්න කොට ආර්ථික වර්ධන වේගය 2.1 ට වැටිලා. අපි භාර දෙන කොට බිලියන 14 ක් තිබුණ විදේශ සංචිත අපි බාර ගන්න කොට බිලියන 7 ක් දක්වා අඩුවෙලා. " කබ්රාල්ගේ විග්‍රහය තරමක් දිගු එකක් විය.
කබ්රාල්ගේ විග්‍රහය නිසා හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ තරමක් කලබල විය.
"අපි ආවේ අද රට මුහුණ පාලා තියෙන අර්බුදය ගැන සාකච්ඡා කරන්න. ඔබතුමාලා ආරාධනා කළා අපි ආව. හැබැයි මේක අවංක උත්සාහයක් කියලා පේන්නේ නෑ. කවුරුහරි මෙතැන කතා කරනවා නම් දේශපාලන වාසි ගන්න මේ වැඩේ සාර්ථක නෑ. මහ බැංකුවේ අධිපතිතුමාගේ කතාවෙන් කියවුණේ අපේ ආණ්ඩුවෙන් වෙච්ච අඩුපාඩු ගැන. මම මේකට උත්තර දෙන්නෙ නැහැ. උත්තර දෙන්න ගියොත් වරද කාගෙද කියලා වාද කර කර ඉන්න වෙයි. අන්තිමේ ඒ විජය රජ්ජුරුවෝ තමයි වැරදි. විජය ලංකාවට ආවේ නැත්නම් මේ මුකුත් ප්‍රශ්න නෑ කියලයි කියන්න වෙන්නේ."
"මහ බැංකුවේ අධිපතිතුමා අද තියෙන තත්ත්වය පැහැදිලි කරන්න තමයි එහෙම කියන්න ඇත්තේ. ඒකෙන් ඔබතුමාට හිත් තැවුලක් වුණා නම් මම කනගාටු වෙනවා. ඒත් මේක අපි ගත්ත අවංක උත්සාහයක්. ඔබතුමා වරදවා තේරුම් ගන්න එපා. මේක අපි අවංකව කරන වැඩක්." ජනාධිපති ගෝඨාභය ඉතා සංයමයෙන් යුතුව හිටපු අගමැතිවරයාට කනගාටුව ප්‍රකාශ කරමින් කීවේය. එම ගැටලුව මඳක් සංසිඳුණු පසුව සම්බන්ධන් කතා කළේ එතැන සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා ලෙසය. ඔහු මෙම උත්සාහය අවංකව අගය කරමින් කතා කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් මෛත්‍රීපාල සිරිසේන හොඳ කතාවක් කළේය. ඔහු එම යෝජනා ලිඛිතව ජනාධිපතිවරයාට භාර දුන්නේය.
සමගි ජන බලවේගය පැමිණ නොසිටියත් එහි මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ පැමිණ සිටි අතර ඕ හොඳ කතාවක් කළාය. මෙහි දී කතා කළ දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු ඉතා හොඳ යෝජනා ඉදිරිපත් කරමින් සිටියහ. ඇතැම් අය ප්රශ්නය පිළිබඳ හොඳට හදාරා ඇති බව අවබෝධ විය. තිස්ස විතාරණ හිටපු ඇමතිවරයා ද හොඳ පැහැදිලි කිරීමක් කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන කතා කළේය. ඉන් පසුව කතා කළේ අතුරලියේ රතන හිමියන් ය.
"කාබනික පොහොර භාවිතයට රට හුරු කරන්න පටන් ගැනීම ඉතා හොඳ වැඩක්. ඒත් ඒක මේ කලබලේ ක්‍රියාත්මක කරන්න ගිය විධි පිළිබඳ ප්‍රශ්න තියෙනවා." ඔහුගේ කතාව තරමක විවේචනාත්මක කතාවක් විය. ඒ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද තම අදහස් දැක්වීම කරන්නට පටන් ගත්තේය.
රනිල් හා බැසිල් අතර ඍජු දෙබස්
"සර්වපාක්ෂික හමුවක් කියල කිව්වට අද මෙතන විපක්ෂයේ නියෝජනය අඩුයි. විපක්ෂයේ ප්‍රබල පක්ෂ ඇවිල්ල නැති වෙලාවක මම මෙතෙන්ට ආවේ වීරයෙක් වෙන්න නෙවෙයි. මේ වැඩේට අපි අවංකව මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන හින්දා.
දැන් මේ මොහොතේ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ මුදල් ඉක්මණින් ඉවර වෙයි. අයි.එම්.එෆ්. එකට ගිය එකේ ප්‍රතිඵල එන්න තව මාස හයක් ගතවෙයි. ඒකයි ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකයි අතරේ මාස හතරක විතර පරතරයක් ඒවි. ඒ වෙලාවේ මොකද කරන්නේ. මම යෝජනා කරනවා අපි වහාම අපේ මිත්‍ර රටවල්, ජපානය වගේ රටවල්වලින් උදව් ඉල්ලන්න වෙනවා."
සාකච්ඡාව ඉතා සාර්ථක ලෙස බොහෝ වේලාවක් ඇදී ගියේය. ඇතැම් කරුණු විවාදාත්මක විය.
හවස් වරුවේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එදා දිනයේ සිදු වූ සාකච්ඡාව පිළිබඳව සමාලෝචනයක් කරමින් කතා කළේය.
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ හැටි බැසිල් කියයි
"ඇත්තම කියනවා නම් මේ වෙලාවේ අපි ආණ්ඩුවක් හැටියට කරමින් ඉන්නේ අසීරු කටයුත්තක්. මේ වෙලාවේ මට අපේ සිංහල ජන වහරේ එන කවියක් මතක් වෙනවා.
වනේ ගිජිදාය හිටියොත් වනසාය
ළිදේ පනිදාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
අපි මේ වෙලාවේ ආණ්ඩුව කරගෙන යන්නේ හරියට අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන පදේ වගේ." බැසිල් ඉන්පසුව කවිය විස්තර කරන්නට පටන් ගත්තේය. "වනේ ගිජිදාය කියන්නේ තනි අලියෙක්. හරිම දරුණුයි." බැසිල් එසේ කියන විට සභාවේ සිටි සියලු දෙනා රනිල් දෙස බලා හිනා වන්නට පටන් ගත්හ. බැසිල් එසේ කීවේ රනිල්ට නොවූවත් බැසිල්ටද කතාව අතර හිනා ගියේය. අවසානයේ බැසිල් සියල්ලටම ආරාධනා කළේ රජය සමඟ එක්වී ඉදිරියේදී රට ගොඩගන්නට හා ආර්ථිකය ගොඩ ගන්නට කරන සාකච්ඡාවලදී සහයෝගය ලබා දෙන ලෙසයි.
සර්ව පාක්ෂික සමුළුවේ වීරයා කවුද?
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දා (24) දා ටය. ජනාධිපති අගමැති ඇතුළු පක්ෂ, විපක්ෂ විශාල පිරිසක් ඔහුට දුරකතන ඇමතුම් දී සුබ පතා තිබුණි. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ ද උදෙන්ම නායකයාව දුරකතනට සම්බන්ධ කර ගත්තේ සුබ පැතීමටය. ඔහු සුබ පැතුවේ ගුවන් විදුලියේ සජීවි වැඩසටහනට එ.ජා.ප. නායකයාව ද සම්බන්ධ කර ගනිමිනි.
හඩ්සන් සුබ පැතූ පසු රනිල් දුන් පිළිතුර වූවේ "මට දෙන හොඳම තෑග්ග ජනතාවට බඩු මිල අඩු කරලා දෙන එක" යනුවෙනි. බොහෝ දෙනෙක් එදින පෙරවරුවේ එ.ජා.ප. නායකයාගේ පස්වන පටුමඟ නිවසට පැමිණියේ සුබ පැතීමටය.
එදින පාර්ලිමේන්තු ගිය රනිල්ට මන්ත්‍රීවරුන්ගෙන් ද ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. සැවොම සුබ පැතුවේ රනිල්ගේ ඉදිරි දේශපාලනයටය. දිනේෂ් ගුණවර්ධන ද තම පාසල් මිතුරාට සුබ පැතුවේ පාර්ලිමේන්තුවේදීය. "සර්ව පාක්ෂික සමුළුවේ තරගයේ වීරයා වුණේ ඔබතුමා. හරියටම තර්කයට කරුණු පෙන්වා දුන්නා." ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු කීවේ නායකයාට උපන් දිනයට සුබ පතමිනි.
"මම කියන්න ඕන ටික කිව්වා. වීරයෝ වෙන්න ඕනේ ජනතාව මම නොවෙයි." නායකයා කීවේ සුබ පැතුමට ස්තූති කරමිනි.
"තනි අලියා දරුණුයි කියලාත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිව්වා. ඇත්තටම අපිටත් පේන්නේ ඒක තමයි." ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කීවේය.
"මට දැනගන්න ලැබුණේ ඒක එතුමා නිතර කියන කතාවක් කියලා. ඒ වෙලාවේ මමත් ඒක මගේ පැත්තට ගත්තා." එ.ජා.ප. නායකයා කී විට සැවොම කොක් හැඬලූහ.
සර්ව පාක්ෂික සමුළුව අවසානයේ දිවා භෝජනයට සම්බන්ධ වන්නැයි රනිල්ට ආරාධනා ලැබුණ ද ඔහු ඉන් පිටව ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස්වීමක් යොදාගෙන ඇති බව දැනුම් දෙමිණි. ඉකුත් අඟහරුවාදා හා බදාදා යන දෙදිනම රනිල් සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ 25 දා පැවැත්වෙන සත්‍යග්‍රහය ගැන සොයා බැලීමටය. සත්‍යග්‍රහය සංවිධානය කිරීමේ කටයුතුවලින් රනිල් ඉවත්ව සිටි අතර ඔහු සොයා බැලුවේ පැවරූ රාජකාරිය නිසි ලෙස ඉටු වෙනවා ද යන්න පමණකි. අකිල, සාගල, රුවන්, වජිර හා රංගේට මෙහි වගකීම් නායකයා පවරා දී තිබුණි.
ස.ජ.බ. යෝජනාවලිය සුමන්තිරන්ගේ අත එවයි
"අපෙන් අයින් වෙලා වෙනත් කණ්ඩායම්වලට ගිය අයටත් පණිවුඩයක් නායකතුමාගේ කතාවෙන් ගියා. ඇත්තටම වැඩපිළිවෙළක් ගැන කතා කළේ නායකතුමා විතරයි." රංගේ ද කීවේය.
"ස.ජ.බ. ය සර්ව පාක්ෂික සමුළුවට ගියේ නැතිවුණාට ඔවුන්ගේ යෝජනාවලියක් එතනදී ඉදිරිපත් වුණා කියලා ආරංචියකුත් ගියා. ඒක අලුත් එකක් නොවෙයි පරණ එකක් කියලාත් කියනවා." නීති නිලධාරියෙකු විමසා සිටියේය.
"ඔව් සුමන්තිරන් අතේ යෝජනාවලියක් එවලා. සුමන්තිරන් ඒක අන්තිමට ඒක ජනාධිපතිවරයාට බාරදී තිබෙනවා." රුවන් තමන්ට ලැබුණ ආරංචිය කියද්දී නායකයා ද හිස සලා එය අනුමත කළේය.
ඉන් පසු එ.ජා.ප. නායකයා විමසා සිටියේ 25 දා පැවැත්වෙන සත්‍යග්‍රහය පිළිබඳවය. අකිල ඒ ගැන දීර්ඝ විස්තරයක් කළ අතර අවසානයේ රනිල් කීවේ මෙය සාර්ථක කර ගැනීමේ බර සංවිධායකයන්ගේ කරමත තබන බවය. ඉන් පසු එදින ප්‍රදර්ශනය කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් ද පිරිස නැරඹූ අතර එහිදී කළ යුතු සංශෝධනයන් ද ඉදිරිපත් කෙරිණි. පුළුල් ජනතා වේදිකාවක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ඇතුළු සමගි ජන බලවේගය තීරණාත්මක තීන්දු කිහිපයක් ගනු ලැබීය.
විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ දැවැන්ත විරෝධතාවෙන් පසු සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඉදිරි කටයුතු සහ උපාය උපක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.
"ඇත්තටම අපි ආණ්ඩුවට පුංචි අනතුරු ඇඟවීමක් කළා විතරයි. ඉස්සරහට ආණ්ඩුවට මේ වගේ ඒවා සෑහෙන ප්‍රමාණයකට මුහුණ දෙන්න වෙනවා." මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
ඒ සමඟම විපක්ෂ නායක සජිත් තීරණාත්මක තීන්දුවක් ගත්තේය.
"හරින් කියපු අදහස වටිනවා. පොදු වේදිකාවක් නිර්මාණය කරන වැඩේට මම කැමතියි. කමිටුවක් පත් කරන්න. මහ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් ඒ කමිටුව හදමු. ඊට පස්සේ ඒක වාර්කිං කමිටුවට දාලා අනුමත කරගමු." සජිත් හරින්ගේ ප්‍රකාශයට අනුමැතිය දුන්නේ එහෙමය. පුළුල් පොදු සංධානගත වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා විපක්ෂ නායකතුමාගෙන් විශේෂ කමිටුවක් ලෙස එය යෝජනා ස්ථිර විය. රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, තලතා අතුකෝරාල, එරාන් වික්‍රමරත්න එම කමිටුවට අයත් වූහ.
ඒ එක්කම සජිත් තවත් විශේෂ කමිටුවක් පත් කළේය. ඒ මේ රටේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක බලවේගයක් යටතට ගොනු කිරීමේ කටයුත්තය.
එහි වගකීම සජිත් භාරදුන්නේ රාජිත සේනාරත්නටය.
සත්‍යග්‍රහයට වජිර බරටම වැඩ
පසුගිය සිකුරාදා කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී පැවැත්වුණ සත්යග්රහ ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සතිය පුරාවට දිස්ත්‍රික්ක කිහිපයක සංචාරය කරමින් පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ කටයුතුවල නියැළීම නිසා ගෙවුණු සතිය ඒ මහතාට අවිවේකී සතියක් විය.
ගාල්ල, හම්බන්තොට, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සංචාරය කළ වජිර ක්‍රියාකාරීන් එක්රැස් කරමින් සාකච්ඡා පවත්වන අතරවාරයේ ඒ ඒ ප්‍රදේශවල විහාරස්ථාන බොහෝමයකට ගොස් මහා සංඝරත්නය බැහැ දැක එක්සත් ජාතික පක්ෂයේ සහ නායක රනිල් වික්‍රමසිංහගේ අනාගත වැඩපිළිවෙළ සම්බන්ධව උන්වහන්සේ දැනුම්වත් කිරීමට අමතක නොකළේය.
පසුගිය සෙනසුරාදා ගාල්ල හසාරා හෝටලයේ පැවැති ක්‍රියාකාරී හමුවේ දී සත්යග්රහ ව්‍යාපාරය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ක්‍රියාකාරීන් දැනුම්වත් කළේය.