
ජාත්‍යන්තර මල්ලවපොර
විනිසුරු හා තීරක
(පස්වන ගුනානුස්මරණය වෙනුවෙනි)
‘ඔහු අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ දැක්වූ දක්ෂතා අදටත් මතකයේ රැඳී ඇත්තේ අපූරු ලෙසටය. දේදුන්නක් සේ පායා අහස සුන්දර කළ ඔහු අකල්හි අහස පියා නික්ම ගියේ ය. රට දැය වෙනුවෙන් ක්‍රීඩාවෙන් බොහෝ දක්ෂතා ප්‍රකට කළ විශිෂ්ට ක්‍රීඩකයකු, පරිපාලකයකු, විනිසුරුවරයකු වූ නෙවිල් පත්මසිරි උයන්හේවගේ මහතාගේ පස්වැනි අනුස්මරණ දිනය සිහිකරමින් ලියැවෙන විශේෂාංගයකි මේ.‘
ඒ 1990 වසරේ ජපානයේ ටෝකියෝ නුවර මල්ලපොර වේදිකාවයි. එම වසරේ එහි පැවැතුණේ ලෝක ශූරතා මල්ලව පොර තරගයකි. සිහින්, ශක්තිමත් දේහ ධාරී ක්‍රීඩකයකු සුදු පැහැ ඡවි වර්ණයෙන් යුත් ශක්තිමත් පෙනුමැති ක්‍රීඩකයකු හා තරග වදිමින් සිටී. සුදු ක්‍රීඩකයා ලෝකයම හඳුනන එකල අමෙරිකාවේ අති දක්ෂ මල්ලව පොර ක්‍රීඩකයා වූ ජෝන් ස්මිත් ය. අනෙක් පසින් ඔහු හා සටන් කරන්නේ ශ්‍රී ලංකාව නියොජනය කරන නෙවිල් පත්මසිරි උයන්හේවගේ ය. පළපුරුද්ද, දක්ෂතාවය, පහසුකම් සමගින් ලෝක ශූරතා මල්ලව පොර පිටියේ සටන් වදින අමෙරිකානු ක්‍රීඩකයාට පහසු ජයක් දෙන්නට නෙවිල් තීරණය නොකළේ ය. ඔහු ප්‍රතිවාදියාට එරෙහිව හොඳ සටනක් දියත් කළේ ය. අවසානයේ තරගයේ ජය අමෙරිකානුවාට හිමිවුණ ද එය පහසු ජයක් වූයේ නැත. අමෙරිකානු මල්ලවපොර ශූරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයා හා මිනිත්තු කීපයක් සටන් කර ලබාගත් ජයග්‍රහණයක් වූ හෙයින් එම තරගය වඩා කැපී පෙනිණි. එහෙයින් එදා ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් දෙස් විදෙස් මල්ලපොර ක්‍රීඩකයන්ගේ සුබ පැතුම් ගලා ආවේ ය.
නෙවිල් යනු වයස අවුරුදු 10 දී පමණ මල්ලව පොර ක්‍රීඩාවට පිවිසියෙකි. එසේ ක්‍රීඩාවට එක්වී බර පන්ති කිහිපයක් යටතේ ක්‍රීඩා කෙරූවෙකි. එලෙස ක්‍රීඩා කිරීමේ දී වසර 9 ක් අඛණ්ඩව මෙරට ජාතික මල්ලව පොර ශුරයා බවට පත් වූ ක්‍රීඩකයෙකි. ක්‍රීඩකයකු වශයෙන් විශ්‍රාම යෑමෙන් පසු ඔහු පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නේ මෙම ක්‍රීඩාව තුළින් ඉවත්වීමට ඔහු දක්වන අකමැත්ත හේතුවෙන්ය.
1991 වසරේ දී ජපානයට ගොස් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. එය ඔහුගේ ජීවිතයේ නව්‍ය වෙනසක් ලෙස දැක්වීමට පිළිවණ. එලෙස ජපානයට ගිය නෙවිල් පත්මසිරි වසර 6 ක් ම එරටේ මල්ලවපොර ක්‍රීඩාව හා කික් බොක්ෂිං ක්‍රීඩාව සම්බන්ධයෙන් ජපන් ක්‍රීඩකයන්ට න්‍යායාත්මක දැනුම බෙදා දුන්නේ ය. ඔහු කෙතරම් අවංකව එම කටයුත්තේ නියැලියේ ද යත් ඔහුට ජපානය තුළ දැඩි සුහදත්වයක් ගොඩනැගීමට එයම ප්‍රබල හේතුවක් වූයේ ය. එය කොතරම් ප්‍රබල ද යත් අද ඔහු ජීවතුන් අතර නොමැතිව වුවද ජපන් ජාතිකයන් අදටත් ඔහුගේ පවුලේ සාමාජිකයන් හා සමීපවී සිටින්නේ එහෙයිනි.
දකුණු ආසියා තරග ඇතුළු විදෙස් තරග රැසක් නියෝජනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ මල්ලවපොර කණ්ඩායම භාරව කටයුතු කරන්නට නෙවිල් පත්මසිරි මහතාට අවස්ථාව උදාවූයේ මේ අතරේය. විනයවත් කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් සංචාරයන් සඳහා සහභාගිවී රටේ කීර්තිය ආරක්ෂා කරන්නට හැකියාව උදාවිණි. එහෙයින් පරිපාලකයකු වශයෙන් ද ඔහු නිරන්තරයෙන් ගෞරවාදරයට ලක්වන්නේ ය.
1997 වසරේ දී මෙරට මල්ලවපොර ක්‍රීඩාව පුහුණු කරවීමේ භාරදූර කාර්ය ඔහු තමන් වෙත පවරා ගනු ලැබුවේ ස්ව කැමැත්තෙනි. එම ක්‍රීඩාවේ පුහුණුකරුවකු වශයෙන් දක්වා ඇති පරිචය කොතරම්ද යත් ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, කැලණිය විශ්ව විද්‍යාලය, කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන ගණනාවකින් දක්ෂ මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට දායාද කරන්නට ඔහුට හැකියාව උදාවිණි.
සහෝදර සහෝදරියන් හත් දෙනෙකු ගෙන් යුත් පවුලක සිව්වැනියා වූ නෙවිල් පත්මසිරි මහතා රට වෙනුවෙන් මෙන්ම තම මාපියන් හා සහෝදර සහෝදරියන් වෙනුවෙන්ද යුතුකම් ඉටුකළ අපූර්ව ඥාතිවරයකු විය. ඔහුගේ ආදරණීය බිරිය මංජු, දර්ශිත් හා දෙවිදු පුතුන් දෙදෙනාගේ යුතුකම් හා අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කර ඇති ඔහු සිය ආදරණීයන් සමඟ සැමවිටම සතුටින් ජීවත්වීමට උත්සාහ ගත් උදාර මිනිසෙකි. ඔහුගේ මනුසත් ගුණය හේතුවෙන් අදටත් ඔහු මල්ලව පොර ක්‍රීඩාවේ හා ඔහු ජීවත් වූ සමාජය කාරුණිකව සිහිපත් කරන චරියක් බව කිව යුතුය.
ජපානයේ සේවයේ සිටිය දී පවා මෙරට මල්ලව පොර ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ ඔහු ආර්ථික අපහසුතා ඇති මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධනය වෙනුවෙන් විවිධ උපකාර සිදුකළේ ය. ඔහුගේ සහාය ලැබූ විශිෂ්ට මල්ලවපොර ක්‍රීඩකයන් බවට පත්වූ ක්‍රීඩකයන් විශාල පිරිසක් අදටත් ක්ෂේත්‍රය තුළ දැකගැනීමට හැක්කේ එහෙයිනි.
කොතරම් සාර්ථක මිනිසකු වුවත් මරණය නමැති සනාථන තත්ත්වයෙන් මිදෙන්නට ඔහුට ද හැකියාවක් නොලැබුණු අතර දශක පහක කෙටි ආයු කාලය නිමවා සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් ජීවිතයෙන් සමුගත්තේ හරියටම මීට වසර පහකට පෙරය.
ඔහු මිය යනවිට මුලු දිවයිනටම සාමවිනිසුරුවරයකු වූ ඔහු ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ සභාපති, ශ්‍රී ලංකා මල්ලවපොර විනිසුරු හා තීරක සංගමයේ සභාපති, දකුණු ආසියා මල්ලවපොර සංගමයේ උප සභාපති ඇතුළු ක්‍රීඩා සංගම් ගණනාවක සභාපති ධූරය හොබවමින් සිටි අතර අදටත් ඔහු සම්බන්ධ මතකය සුවිශේෂී වන්නේ ඔහු විසින් මල්ලවපොර ක්‍රීඩාවට කළ සේවය අසිරිමත් වන හෙයිනි.