2025 මගේ තීරණාත්මක අවුරුද්ද | සිළුමිණ

2025 මගේ තීරණාත්මක අවුරුද්ද

මිස්ටර් වර්ල්ඩ් ලංකාවේ සංවිධානය කරන්නේ ඒ අවුරුද්දෙයි

කපිල කුමාර

(කායවර්ධන සම්මේලනයේ අනුශාසක)

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය තුළ හැල හැප්පිලි බොහෝ ය. එහෙත් එම හැල හැප්පිලි තරමට අන්තර් ජාතික ජයග්‍රහණ හිමි ව නැත. එහෙත් රට වටේ කායවර්ධන මධ්‍යස්ථාන බොහෝ ය. එම ක්‍රීඩාවෙන් ලෝකය තුළ නමක් හිමි කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ආසියානු කළු සිංහයා ලෙස විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් මෙන් ම තවත් ක්‍රීඩකයන් කීප දෙනෙක් දැක්වීමට පිළිවන.

මේ තත්ත්වය කායවර්ධන ක්‍රීඩාවට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇයි? ඒ සම්බන්ධයෙන් කතා කරන්නට මෙවර ‘ක්‍රීඩා‘ පුවත්පත ඉදිරියේ සම්මුඛ වූයේ එම සංගමයේ හිටපු සභාපතිවරයකු හා වත්මන් අනුශාසක කපිල කුමාර මහතා ය.

දැන් කොහොම ද? කායවර්ධන සම්මේලනයේ අභ්‍යන්තර තත්ත්වය? මොනද ඔබේ සම්මේලනයේ ඉදිරි සැලසුම්? ඒ වගේ ම ඔබ සභාපති වශයෙන් පත්වෙලා මොනව ද? මේ ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළේ කියන තැනින් අපි සංවාදය පටන් ගනිමු?

ප්‍රශ්න නැතුව නෙමෙයි. නමුත් අපි අලුත් කණ්ඩායමක් ලෙස නව ගමනකට අවතීර්ණ වී සිටිනවා. මම 2002 වසරේ දී තමයි මේ සම්මේලනයේ සභාපති ධුරය භාර ගන්නේ. ක්‍රීඩකයකු වශයෙන් ඇරැඹි ගමන පියවරෙන් පියවර ඇවිත් සභාපති ධුරයට පත්වුණා. එහෙම ඇවිත් දස වසරක සැලසුමක් මම ඉදිරිපත් කළා. ඊට අනුකූලවයි මමත් මගේ විධායක සභාවත් වැඩ ආරම්භ කළේ. ඒ තරගාවලින්ට අමතරව 2004 දී දකුණු ආසියාතික තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන්න අපට හැකි වුණා. 2007 වසරේ දී ජාතික මහා ක්‍රීඩා තරගාවලියට කායවර්ධන ක්‍රීඩාව ඇතුළු කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කරමින් විශාල වැඩ කොටසක් කරන්නත් මට පුළුවන් වුණා. එවකට ක්‍රීඩා ඇමැතිව සිටි ජීවන් කුමාරතුංග මහතා 2007 වසරේ පැවැති 33 වැනි ජාතික මහා ක්‍රිඩා උලෙළට කායවර්ධන ක්‍රීඩාව ඇතුළත් කරන්න කටයුතු කළා. ඒ වන විට කායවර්ධන ක්‍රිඩාව හැර අනෙකුත් ක්‍රීඩා ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත්ව තිබුණා.

ඉන් ක්‍රීඩාවට ඇත වුණු ප්‍රතිලාභයන් ගැනත් කතා කරමු?

ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා සංගම් ලියාපදිංචි කිරීමේ දී තෙවැනි තැනට තිබෙන්නේ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය යි. නමුත් 2007 වසර වන තුරුත් මෙම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් වුණේ නෑ. ඒ විධිහට ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් කිරීමත් සමඟ එම ක්‍රීඩාවේ නිරත තරුණයන් අතර පිබිදීමක් ඇතිවුණා. 2007 වනතෙක් මේ ක්‍රීඩාවෙන් අන්තර් ජාතික තරගාවලියක් ජයගෙන තිබුණෙත් නෑ. අපේ ක්‍රීඩකයකු වත් ක්‍රීඩා උපදේශකවරයකු වත් ක්‍රිඩා නිලධාරියකුවත් ජාත්‍යන්තර ක්‍රීඩකයකුවත් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක් දැකලා තිබුණේ නෑ. ඊට විකල්පයක් වශයෙන් 2014 වසරේ දී 48 වැනි ආසියාතික කායවර්ධන ශූරතා තරගාවලිය “මිස්ටර් ඒෂියා“ යනුවෙන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන්න අපට හැකි වෙනවා. එය ඉතාමත් සාර්ථක වුණා. අපේ උපදේශකයන්ට හා ක්‍රීඩකයන්ට ඒ තුළින් විශාල දැනුම් සම්භාරයක් උකහා ගන්නට හැකි වුණා.

ඒ තරගාවලිය සංවිධානය කිරීම ගැන ඔබ හා ඔබේ සම්මේලනයේ නිලධාරීන්ට චෝදනා කන්දක් එල්ල වුණා නේ ද?

ඔව්. කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපතිවරු හා නිලධාරින් හා ප්‍රවීණයන් එක්ව මට හා මගේ නිලධාරී මණ්ඩලයට විරුද්ධව අභූත චෝදනා හා අපහාස සිදු කළා. නමුත් මම හා මගේ නිලධාරී මණ්ඩලය පසුබට වුණේ නෑ. එවකට සිටි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා මට ශක්තියක් වුණා. එතුමා යෝධ සෙවණැල්ලක් වගේ තරගාවලිය සාර්ථක කර ගන්නට අපට උපකාර කළා. අපි ඇමැති තුමාගේ සහයෝගය ඇතිව තරගාවලිය පැවැත්වූවා. ආසියා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලියාපදිංචි රටවල් 29 න් 23 ක් ඒ තරගාවලියට එක් වුණා. තරගකරුවන් 223 දෙනෙක් හා නිලධාරීන් 100කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගි වෙන්න ශ්‍රී ලංකාවට ආවා. සාර්ථක තරගාවලියක් අවසන බහරේන් රාජ්‍යය 48 වැනි ‘මිස්ටර් ඒෂියා‘ කිරුළ හිමිකර ගනිද්දී අපට හිමිවුණේ අනුශූරතාවයි. අපේ ක්‍රිඩකයන්ට එම අවස්ථාව හිමිවීම ගැන අද මම සන්තෝස වෙනවා.

ඔබට ජීවිතාන්තය දක්වා පරිපාලන තහනමක් පැනවුණා නේ ද?

දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැති හැටියට වැඩ බාර ගත්තාට පස්සේ (2015 දී) කිසිම පරීක්ෂණයක්, චෝදනා පත්‍රයක් හා වග විභාගයක් නැතිව අනවබෝධයෙන් මට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් පැනවූවා. එය සිදු කළේ එවකට පරිපාලන බලයට පත් වූ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලයේ හා සභාපති තුමාගේ චෝදනා මත පිහිටායි. ඒක කිසිදු චෝදනා පත්‍රයකින් තොර ඒකපාර්ශ්වීය තහනමක්. එමගින් මට කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ කිසිදු තනතුරක් දැරිම තහනම් කළා. නමුත් මම කිසිම වරදක් කර නැති නිසා අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කළා. ඒ චෝදනාවලට පිළිතුරු ලබා දෙන්න අවස්ථාවක් ඉල්ලුවා. ඒත් ඒකට කිසිඳු අවස්ථාවක් ලැබුණේ නෑ. ඒත් මම සටන අතහැරියේ නෑ. රටේ නීතිමය රාමුව තුළ ඉඳිමින් සටන් කෙරුවා. අන්තිමට මගේ තහනම වසර දෙක දක්වා ලිහිල් කෙරුවා. ඒ මාව ජීවිතාන්තය දක්වා තහනම් කළ දයාසිරි ජයසේකර ඇමැතිතුමාමයි. ඒත් මම සටන අතහැරියේ නෑ. අන්තිමට නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුන් ටත් මම මට සිදුවුණු අසාධාරණය ගැන කිව්වා. අන්තිමට හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමැතිවරයා කැඳවූ පරීක්ෂණයක් මඟින් මගේ චෝදනා අසත්‍ය බව තහවුරු කර ගෙන මගේ තහනම සම්පූර්ණයෙන් ඉවත් කළා.

ඒත් ඔබට යළි චෝදනා ඉදිරිපත් වුණා නේද?

ඔව්. නැවතත් අභූත චෝදනා ගෙනුකරමින් මට ක්‍රීඩා පරිපාලනයට එන්න තිබෙන අවස්ථා අහුරන්න හිටපු පරිපාලනය කටයුතු කළා. එවර මම අධිකරණයේ පිහිට පැතුවා. උත්තරීතර අධිකරණය තමයි මේ සියලු චෝදනාවලින් මාව නිදහස් කරලා ක්‍රීඩා පරිපාලනයට මට එක්වන්න අවසර ලබාදුන්නේ. ඒ නිසා මට ක්‍රීඩා පරිපාලනයට එක්වන්නට, නිලතල හොබවන්නට අවස්ථාව ලැබුණා. නමුත් නැවත කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ කිසිදු තනතුරකට තරග කරන්නේ නෑ කියන තැනයි මම ඉන්නේ. නමුත් මම මේ ක්‍රීඩාවට ආදරේයි. ඒකයි මම වසර දහයක සැලැස්මක් ක්‍රියාත්මක කරමින් කාවර්ධන ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා විශාල වැඩ කොටසක් කරන්න සැලැසුම් කර තිබුණේ. නමුත් අභූත චෝදනා නිසා මට එම වැඩපිළිවෙළ අවසන් කරගන්න බැරි වුණා. නමුත් ක්‍රීඩාව අතහැරලා ගියේ නෑ. 2025 දක්වා මම මෙම ක්‍රීඩාව පිටුපසින් සිට දිරි ගන්වනවා. මට මගේ රාජකාරියත් එක්ක නිලතල දරමින් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ කාලිනව රැඳී සිටින්න බෑ. මම මේ වන විට කටාන ප්‍රදේශීය සභාවේ ලේකම් ලෙස වෘත්තීය ජීවිතයේ කටයුතු කරනවා.

ඉදිරි මාස කීපය තුළ සිදු කරන්න අපේක්ෂා කර ගෙන ඉන්න වැඩ පිළිවෙල ගැන කතා කරමු ද? 2025 කියන්නේ තරමක් දුර අනාගතයක්නෙ. ඒ වෙනකොට මොන වගේ තත්ත්වයක් උද්ගතවෙලා තියේවි ද අපට කියන්න බෑනෙ නේ ද?

මම වර්තමාන විධායක සභාව සමඟ එක්ව වසර 5 ක සැලැස්මක් ගොඩනඟන්න කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වත්මන් කායවර්ධන විධායක සභාව මට උපරිමයෙන් සහාය දෙනවා. කොවිඩ් නිසා 2021 පැවැත්විය නොහැකි වූ මිස්ටර් ශ්‍රී ලංකා තරාගවලිය පසුගිය දා පැවැත්වුවා. මැයි මාසයේ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය පවත්වන්න කටයුතු කරනවා. ඊට පස්සේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ජූලි මාසයේදී පවත්වන්න අපි සූදානම්. දෙසැම්බර් මාසයේ මුල 2022 මිස්ටර් ශ්‍රී ලංකා තරගය පැවැත්වීමට සැලැසුම් කරලා තියෙනවා. 2023 වසරේ මුල් කාර්තුවේ දී පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා සමස්ත ලංකා මට්ටමින් මිස්ටර් ශ්‍රී ලංකා තරගයක් පවත්වන්න සැලැසුම් කර තිබෙනවා.

2023 වසරේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා වසර 75ක් සම්පූර්ණ වෙනවා. එම වසරේ දී තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිතුමාගේ සැලැසුමකට අනුව කායවර්ධන තරගාවලියක් සැලසුම් කරලා තිබෙනවා. මේ සියලු සැලැසුම් 2025 දක්වා ක්‍රියාත්මක කිරීමට තමයි අපි සූදානම් වෙලා ඉන්නේ.

මේ ගමනේ පියවරවල් කොහොමද සැලසුම් කර තිබෙන්නේ? අපි ඒ ගැන තවත් පුළුල්ව කතා කරමු?

2025 දක්වා යන ගමනේ දී මුලින් කරන්න තියෙන දේ තමයි ක්‍රිඩකයන්ගේ විනය ඇති කරන එක. මේ වන විට බේදුම්වලට ලක්වෙලා ක්‍රිඩකයන්ගේ විනය පිරිහිලා තියෙන්නේ. මේ වනවිට ව්‍යාජ සංගම් රට ඇතුළේ තිබෙනවා. එවැනි සංගම්වල ලියාපදිංචි වෙලා ඉන්න අනාගතයක් සහිත ක්‍රීඩකයන් ඒවායේ ග්‍රහණයෙන් මුදවා ගත යුතුයි. එවැනි සංගම් මිනිස් ජාවාරමට සම්බන්ධයි. ඔවුන් කරන්නේ ලෝකයේ තිබෙන තරගවලට යවන විධිහට තරුණයන් විදේශීය රටවලට පන්නන එක. මේ ක්‍රියාවලිය වහාම නවත්වන්න අවශ්‍යයි. අපේ සංගමය පමණයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වුණු එකම සංගමය. වෙනත් කිසිදු කායවර්ධන සංගමයක් හෝ ආයතනයක් ක්‍රීඩා අමාත්‍යාංශය පිළිගන්නේ නෑ. අපිට පෙර මේ රටේ ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ලියාපදිංචිවී ඇත්තේ බැට්මින්ටන් සංගමය හා ජලක්‍රීඩා සංගමය පමණයි. අප සංගමයට ව්‍යවස්ථාවක් තියෙනවා. නීති හා රෙගුලාසි තියනවා. ඒ වගේම චක්‍ර ලේඛන තියෙනවා. අපි ක්‍රියා කරන්නේ ඒ අනුවයි. ව්‍යවස්ථාවට පිටින් අපිට ක්‍රියා කරන බෑ. ඒ නිසා ව්‍යාජ සංගම්වලට රැවටෙන්න එපා කියන එක පැවසිය යුතුයි.

මේ ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ගන්නා වැඩපිළිවෙල ගැන මොකද හිතන්නේ?

තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති තුමාගේ සැලැසුමකට අනුව රටවටේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. තව තවත් පිහිටුවමින් යනවා. එම මධ්‍යස්ථාන මගින් අපට ආධුනික ක්‍රීඩකයන් හඳුනාගන්න අවස්ථාව උදාවෙනවා. එමගින් ඒ ආධුනිකයන් ප්‍රවීණ උපදේශකයන් වෙත යොමුකරන්න අපට හැකිවෙනවා. එමගින් සිදුවන්නේ නවක ක්‍රීඩක පරපුරක් ගොඩනගාගන්න හැකිවෙනවා. දේශීය වශයෙන් කාන්තාවන් මෙම ක්‍රීඩාවට යොමු කර ගන්නත් අපි අපේක්ෂා කරනවා. ලෝකයේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණු ක්‍රීඩිකාවන් සිටිනවා. වර්ජිනියා පීරිස් වත්මන් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ උප සභාපතිවරියක්. ඇයව ආදර්ශයට ගෙන මේ ක්‍රීඩාවට එන්න කියන විවෘත ආරාධනය කාන්තාවන්ට කරන්න මම මෙහිදී අවස්ථාව කරගන්නවා.

ඔබ කායවර්ධන ක්‍රීඩාවෙන් මොනවද ලබාගෙන තිබෙන ජයග්‍රහණ?

මේ ක්‍රීඩාව මට මගේ ජීවිතය ගොඩනගාගන්න, ජීවන ගමන හදාගන්න උපකාර කළා. මම විනය ගරුක මිනිසෙක්, ශිෂ්ට මිනිසෙක් කළේ මෙම ක්‍රීඩාවයි. සමාජය ඉදිරිපිට කොන්ද කෙළින් තබාගෙන ඉන්න මට පුහුණු කළේ මේ ක්‍රීඩාව තමයි. මම හිතන්නේ මට ජාත්‍යන්තරයට යන්න, ලෝකයේ විශිෂ්ට මිනිසුන් ඇති කරන්න මේ කායවර්ධන ක්‍රීඩාව විශාල අවස්ථාවක් නිර්මාණය කළා.

ඔබ දැන් 2025 දී මොකක්ද? මේ කරන්න යන ලොකු වැඩේ?

මට පමණක් නොවෙයි අපේ සම්මේලනයට අවශ්‍යයයි 2025 මිස්ටර් වර්ල්ඩ් තරගය ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන්න. එමගින් රටට විශාල කීර්තියක් ලැබෙනවා. අපේ ක්‍රීඩකයන්ට බොහෝ දේ ලබා ගන්න එමගින් අවස්ථාව උදා වෙනවා. මේ වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතුයි. සංචාරක ආකර්ශනය ඇති කර ගන්න අපට එය අස්ථාවක්. මේ වෙනුවෙන් මුදල් සොයන්න මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. අනුග්‍රාහාක ආයතන සොයනවා. එය කෙසේ හෝ මෙරට සංවිධානය කිරීම තමයි මගේ අපේක්ෂාව. එය කරන්න නොහැකි වුණොත් එක මොහොතක් මම කායවර්ධන පරිපාලනය තුළ ඉන්නේ නෑ. එය නොහැකි වුණොත් කපිල කුමාර කෙනෙක් ආයේ කායවර්ධන සම්මේලනයේ පස් පාගන්නේවත් නෑ. ඒත් මට විශ්වාසයි මේ තරගාවලිය අපට සංවිධානය කරන්න හැකි වේවි කියලා.

 

ඡායාරූප - රංජිත් අසංක

Comments