හිටපු නායකයෝ සිව් දෙනෙක් සමඟ ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ | සිළුමිණ

හිටපු නායකයෝ සිව් දෙනෙක් සමඟ ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ

රටවල් 10 ක සහභාගිත්වයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන 06 වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලිය පසුගිය සිකුරාදා (11) ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.

2016 වසරේ නොවැම්බර් මස හොංකොං දේශයේ කව්ලූන් අගනුවර දී පැවැති ඉකුත් වර තරගාවලියේ රිදී පදක්කම දිනා ගනිමින් ආසියානු සම්මේලන කුසලාන තරගාවලිය ට මතකයන් රැසක් එක් කළ ශ්‍රී ලංකා ජාතික පිල මෙවර තරගාවලියට පිවිසෙන්නේ රන් පදක්කමක බලාපොරොත්තු කරපින්නාගෙනය. එය යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීම වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන් ගේ යුතුකම හා වගකීමකි.

ආසියානු හොකී සම්මේලන කුසලාන තරගය ඉතිහාසයේ දී වැඩි ගෞරව අත් කර ගැනීමට බංග්ලාදේශය සමත්ව සිටින අතර, හොංකොං දේශයට හිමි වී ඇත්තේ දෙවැනි ස්ථානය යි.

2016 රිදී පදක්කම ද 1997, 2002 සහ 2012 වසරවල ලෝකඩ පදක්කම ද දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

1997 දී මෙන්ම 2016 දී ද ආසියාතික රටවල විනීතම කණ්ඩායම ලෙස සම්මාන ලැබීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෝ සමත් වීම එහිදී ඉහළ අගයක් ගත්තේ ය.

ඉකුත් වර තරගාවලියට සහභාගි වෙමින් සුවිශේෂ දක්ෂතා අතරට පිවිස රිදී පදක්කම්ලාභී ක්‍රීඩකයින් බොහොමයක් මෙවර කණ්ඩායම නියෝජනය කිරීම එයට රුකුලක් වී තිබේ.

මෙවර තරගාවලියේ තීරණාත්මක අවසාන තරගය එළඹෙන 20 දින පැවැත්වේ.

රටවල් 10 ක සහභාගිත්වයෙන් ඇරඹුණු මෙවර තරගාවලියේ මූලික වටය කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත් වීමට සංවිධායකයින් වන ආසියානු හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, තායිලන්තය, චීනය, උස්බෙකිස්තානය සහ කසකස්තානය “ඒ” කාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වී සිටින අතර “බී” කාණ්ඩය යටතේ ඕමානය, සිංගප්පූරුව, බංග්ලාදේශය, ඉරානය සහ සත්කාරක ඉන්දුනීසියාව නියෝජනය කරන ක්‍රීඩකයෝ මූලික වටයට පිවිසෙති.

මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දී ඇති අයි.කේ. ජයසුන්දර, නලන්ත ද සිල්වා, එල්.ජී. වීරසූරිය සහ එස්.එස්. ප්‍රියලංකා යන ක්‍රීඩකයන් සිව් දෙනෙකු මෙවර කණ්ඩායමට ද ඇතුළත්ව සිටීම විශාල ශක්තියකි.

මෙවර කණ්ඩායමේ නායකත්වය ට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඩී.එම්. විජේසිංහ ද උප නායකත්වය ට මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ටී.අයි.ගුණවර්ධන ද පත් කරන්නට ශ්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන ඇත්තේ තම රන් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණෙනි.

ඔවුන් දෙපළ දස වසරක් තිස්සේ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබූවන් වන අතර, මැද පෙළ ආරක්ෂක අංශය ශක්තිමත් කරන අතර වාරයේ මැදපෙළ ක්ෂණික ආක්‍රමණයට ද හපනුන් ලෙස හැඳින්විය හැකිය.

හොකී ක්‍රීඩාවට සුප්‍රසිද්ධ කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් අත් පොත් තැබූ එකදු ක්‍රීඩකයකු හෝ මෙවර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වී නොතිබීම ද කැපී පෙනෙන්නකි.තරග සංචාරයට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පහත දැක්වේ. ඩී.එම්. විජේසිංහ (නායක), ටී.අයි. ගුණවර්ධන (උප නායක), අයි.කේ. ජයසුන්දර, එන්.ඩී. ද සිල්වා, එල්.ජී. වීරසූරිය, එස්.එස්. ප්‍රියලංකා, ටී.කේ. හේන්දෙණිය, සී.ආර්. ප්‍රනාන්දු, එස්.එස්.ද කොස්තා, එම්.එස්. වීරසූරිය , ආර්.එස්. නිමංක, එම්.ජී. සංජීව, කේ.එච්. තිලකසිරි, එම්.ඒ. සුරේෂ්, ආර්.ඩී. කුලතුංග, පී.යූ. ප්‍රනාන්දු, විපුල ධනුෂ්ක, ඩී.එල්. බණ්ඩාර, වයි.ඩී. අල්විස් සහ ඩී.පී. රණසිංහ.

Comments