ලබන (2023) වසරේ චීනයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත් වෙන අවසාන තේරීම් තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ අවසන් තේරීම් තරග ජුනි 08 වැනි දා උස්බෙකිස්ථානයේ දී ආරම්භ වෙයි.
මෙම තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග වදී. මෙම තරග වටය ජුනි 8, 11 හා 14 යන දිනයන් හි දී පැවැත්වීමට නියමිත ය. ඒ සඳහා සහභාගි වන රටවල් ගණන හතරකි.
කණ්ඩායම් 24 ක් තරග වදින ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය (අවසන් වටය) වසර 2023 දී චීනයේ සත්කාරයෙන් පැවැත්වීමට නියමිත ය.
ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලබා ගැනීමේ අවසන් තේරීම් තරග මාලාව කණ්ඩායම් 24 ක සහභාගිත්වයෙන් කාණ්ඩ හයක් යටතේ පැවැත්වේ.
ඒ සඳහා උස්බෙකිස්ථානය හැරෙන්නට මැලේසියාව, ඉන්දියාව, මොංගෝලියාව, කිරිගිස්තානය, කුවේට් රාජ්‍යය සත්කාරය දරනු ලැබේ.
ආසියානු කුසලාන (2023) අවසන් වටය සඳහා දැනටමත් රටවල් 12 ක් නිර්දේශ ලබා සිටී. මේ වන විට ඔස්ට්‍රේලියාව, ඉරානය, ඉරාකය, ජපානය, දකුණු කොරියාව, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ වියට්නාමය සුදුසුකම් ලබා අවසන් අතර ඒ සඳහා ඉතිරි රටවල් 11 ක් නිර්දේශ කර ගැනීම සඳහා මෙම අවසන් තේරීම් තරග පැවැත්වෙනු ඇත.
මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් හය සහ දෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් හයෙන් හොඳම කණ්ඩායම් පහ 2023 ආසියානු කුසලානය සඳහා එක්කර ගැනීමට නියමිත ය.
ආසියානු පාපන්දු සමුළුව හඳුන්වා දුන් නව තරග ක්‍රමයක් යටතේ මෙවර ආසියානු කුසලාන (2023) තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනෙනු ඇත. එහි දී විශේෂත්වය වන්නේ පැවැති මුල් වටයේ පරාජිතයන් සඳහා ද සුදුසුකම් තේරීමේ තරග වටයක් හඳුන්වා දීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ද තවදුරටත් ආසියානු කුසලාන (2023) අවසන් වටය සඳහා නිර්දේශ ලබා ගැනීමේ තවත් තරග වටයක් ජුනි මාසයේදී හිමිව ඇත.
නවතම ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ආසියාවේ රටවල් 46 කින් 45 වැනි ස්ථානයේ පසුවන අතර ආසියානු කලාපයේ දී ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින්නේ ගුවාම් රාජ්‍යය පමණි. පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවතම ශ්‍රේණි සටහනෙන් ශ්‍රී ලංකාව රටවල් 210 කින් 204 වැනි ස්ථානය ලබා සිටී.