ජස්වර් වසර දෙකක් ඉල්ලයි | සිළුමිණ

ජස්වර් වසර දෙකක් ඉල්ලයි

නිලවරණයකින් තොරව වසර දෙකක නිල කාලයක් තමා වෙත ලබා දෙන ලෙස වත්මන් පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් ඉල්ලා ඇත. වසර දෙකක් වන නිල කාලයක් ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරයකුට හිමි වන පරිදි හිටපු ක්‍රීඩා ඇමැති ධූරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ ක්‍රීඩා පනතේ සංශෝධනවලට අනුව තමාට වසර දෙක ක් හිමි විය යුතු බව ජස්වාර් උමාර් ලිපියක් මගින් ක්‍රීඩා අමාත්‍යාංශයට පවසා ඇත.


පාපන්දු ලීග් 64කට රුපියල් මිලියන 64ක්

ලියාපදිංචි පාපන්දු ලීග් සංගම් 64 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් බැගින් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැරසේ. එම වැඩසටහනේ ප්‍රථම පියවර ලෙස යාපනය අරියාලේ ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැති ශ්‍රී ලංකා පාපන්දු මධ්‍යම කමිටු රැස්වීමේ දි ඊට සහභාගි වී සිටි ලිග් කණ්ඩායම් 3 කට අයත් නියෝජිතයන් වෙත රුපියල් ලක්ෂ දෙක හමාරක් (250,000) බැගින් ප්‍රදානය කර ඇත.


සෆීයුල්ලාට හා මන්දිනිට මේසපන්දු ශූරතාව

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පැවැති මධයම පළාත් මේස පන්දු තරගාවලියේ විවෘත අංශයේ පිරිමි ශූරතාව හිල් කන්ට්‍රි ජාත්‍යන්තර පාසලේ සෆීයුල්ලා අක්‍රම් දිනා ගත් අතර වීවෘත කාන්තා ශූරතාව මහමායා බාලිකා විද්‍යාලයේ මන්දිනි මොහොට්ටිආරච්චි විසින් දිනා ගත්තා ය.


වෙරළ වොලිබෝල් කඳවුර අවසන ක්‍රීඩා උපකරණ

නිමාව දුටු මධ්‍යම ආසියා වෙරළ වොලිබෝල් තරගාවලියට සමගාමී ව නෙස්ලේ ලංකා “මයිලෝ “ සන්නාමයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ එක්ව මීගමුව අවට පාසල් සිසුන් ගේ සහභාගිත්වයෙන් වෙරල වොලිබෝල් පුහුණු කඳවුරක් පැවැත් වීමට කටයුතු යොදා තිබිණි. මීගමුව සහ ඒ අවට පාසල් හි දරුවන්ට කුසලතා වර්ධනය උදෙසා මෙම වැඩසටහන ක්‍රීයාත්මක කළ වොලිබෝල් සංගමය පුහුණු කඳවුර අවසන නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව වෙරළ වොලිබෝල් ක්‍රීඩා උපකරණ බෙදා දිමක් ද සිදුකෙරිණි.


ඩක්සන් දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ 31 හැවිරිදි වියේ පසු වූ ඩක්සන් පියුස්ලස් මාලදිවයිනේ මහල් නිවාසයක දී ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු මීගමුව නිව්යංග්ස්, කොළඹ පාපන්දු කණ්ඩායම මෙන් ම මාලදිවයිනේ වැලෙන්සියා කණ්ඩායම ද නියෝජනය කළ දක්ෂයෙකි.

2018 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග 21කට සහභාගී ව ඇති ඩක්සන් උතුරෙන් බිහිවී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතළොස්සක් වු ක්‍රීඩකයන් අතරින් අයෙකි.


රත්නපුර ටයිකොන්ඩෝ මුල් පුටව කාංචනට

රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා ලෙසින් 7 වැනි වරටත් කාංචන ජයරත්න මහතා පත්ව ඇත. ඔහු මේ වන විට වොලිබෝල් සංගමයේ සභාපති වරයා ද වන අතර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරමින් සිටී.

ගීශා මුණසිංහ


කාන්තා දිනය වෙනුවෙන් මේස පන්දු තරගාවලිය 19 දා

ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ කාන්තා ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සමස්ත ලංකා මේස පන්දු තරගාවලිය මේ මස 19 වැනි දා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මේ තරගාවලිය වෙනුවෙන් කුසපත් ඇදීම සිදුකරනුයේ මේ මස 12 කෑගල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ය.

අවුරුදු 13න් පහළ හා අවුරුදු 17න් පහළ ක්‍රීඩිකාවන් මෙන් ම විවෘත කාන්තා යුගල වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දී එක් ක්‍රීඩිකාවකට සහභාගී විය හැක්කේ එක් තරගයකට පමණි.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මේ මස 09 වැනි දින බවත් වැඩි විස්තර ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ කාන්තා ක්‍රියාකාරී කමිටු සභාපති නාමල් ගුණසේකර, 259/5A,සෙත්සිරි මාවත, තලංගම උතුර, බත්තරමුල්ල (දු.ක.0718278155) යන ලිපිනයට යොමු කරන ලෙසත් සංවිධායක මණ්ඩලය දන්වා සිටී.

උදුලා පීරිස්

Comments