සිලෝන් නිදහස් කුසලාන පාපන්දු සමාප්ති ගැටුමට මං තැනෙයි | සිළුමිණ

සිලෝන් නිදහස් කුසලාන පාපන්දු සමාප්ති ගැටුමට මං තැනෙයි

 

ජාත්‍යන්තරයට අභියෝග කළ හැකි ප්‍රබල ජාතික කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම උදෙසා ඇවසි දක්ෂයන් සොයා අභිනවයෙන් හඳුන්වා දෙන ලද "සිලෝන් නිදහස් අභියෝග කුසලාන" අන්තර් පළාත් ශූරතා පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගය ලබන සෙනසුරාදා (05) පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

තරග 28 කින් සැදුම්ලත් වූ මූලික වටයේ දී සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට සබරගමුව පළාත, උතුරු පළාත, නැඟෙනහිර පළාත සහ දකුණු පළාත නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

පළාත් කණ්ඩායම් 08‍ක සහභා-ගිත්වයෙන් මෙහි මූලික වටය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණි. පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සහ තමන් උපන් පළාත නියෝජනය කරමින් තම ප්‍රදේශයට කීර්තිය අත් කර ගැනීමට අවස්ථාව උදා කර දීම උදෙසා මෙහි මූලික වටයේ තරග මෙරට සෑම පළාතක ම පැවැත් වීමට පියවර ගැනීම ඉහළ අගයක් ගත්තේ ය.

එහි දී සබරගමුව ලකුණු 17 ක් ද, උතුර ලකුණු 13 ක් ද, නැඟෙනහිර ලකුණු 11 ක් හා දකුණ ලකුණු 11 ක් ද සටහන් කර ගනිමින් අවසන් පූර්ව වටයට වරම් ලබා ගත්තේ ය.

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක වූ මූලික වටයේ දී අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සබරගමුව, උතුර සහ නැඟෙනහිර සමත් විය. තරග 07 කට මුහුණ දෙමින් සබරගමුව පළාත ජයග්‍රහණ 05 ක් ද ජය පරාජයෙන් තොර අවස්ථා 02 ක් ද සටහන් කර ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ ම ස්ථානය තහවුරු කර ගත්තේ ය.

උතුර ජයග්‍රහණ 03 ක් ද ජය පරාජයෙන් තොර අවස්ථා 04 ක් ද නැ‍ඟෙනහිර ජයග්‍රහණ 02 ක් ද ජය පරාජයෙන් තොර අවස්ථා 05 ක් ද සමඟින් අපරාජිත බව ආරක්ෂා කර ගත්තේ ය. දකුණ ජයග්‍රහණ 03 ක් ද ජය පරාජයෙන් තොර අවස්ථා 02 ක් ද හිමි කර ගන්නා අතර වාරයේ අවස්ථා දෙකක දී පරාජයේ අමිහිරි රස පානය කළේ ය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝ-ජනය කරමින් ජාත්‍යන්තර තරග අත්-දැකීම් ලාභී ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් වූ ප්‍රබල බස්නාහිර පළාත් පිල මූලික වටයේ දී ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට නොහැකි වීම ද මෙවර කැපී පෙනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් හට මූලික වටයේ 06 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය. වයඹ/උතුරු මැද ඒකාබද්ධ කණ්ඩායමට 05 වැනි ස්ථානය ද මධ්‍යම පළාතට 07 වැනි ස්ථානය ද හිමිවූ අතර, මූලික වටයේ අවසන් ස්ථානය ඌව පළාත සතු විය.

“සිලෝන් නිදහස් අභියෝග කුසලාන” අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග යාපනය, ගාල්ල, අම්පාර සහ රත්නපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබීම ද සුවිශේෂත්වයක් ගෙන තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන අවසාන පූර්ව වටයේදී උතුරු පළාතට එරෙහිව නැඟෙනහිර පළාත තරග වදින අතර, සබරගමුව පළාතට එරෙහිව දකුණු පළාත සටන් බිමට අවතීර්ණ වීමට නියමිත ය.

උතුර සහ නැගෙනහිර අතර පළමු අවසන් පූර්ව තරගය ඊයේ යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවත්-වීමට නියමිතව තිබූ අතර, එහි දෙවැන්න මාර්තු මස 01 දින අම්පාර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. පාපන්දුවට පෙම් බැඳි ක්‍රීඩකයන් මෙන් ම ක්‍රීඩා ලෝලීන් අති විශාල පිරිසකගෙන් ස්වයංපෝෂිත උතුර සහ නැඟෙනහිර පළාත්වලට සාධාරණත්වයක් ඉෂ්ට කරමින් උතුරු-කරයේ යාපනයේ දී හා අම්පාරේ දී අවසන් පූර්ව තරග සංවිධානය කර තිබීම ඔවුන්ගේ ධෛර්යය වඩවා ලීමට හේතුවක් වනු නොඅනුමාන ය.

මෙම දෙපිල අතර ක්‍රියාත්මක කෙරුණු මූලික වටයට අයත් තරගය ගෝල් 00 - 00 ක් ලෙස නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ජය පරා-ජයෙන් තොරව නිමාවට පත්වීම දෙපිල නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ සමබර හැකියාවට කදිම නිදසුනකි.

සබරගමුව සහ දකුණ අතර ප්‍රථම අවසාන පූර්ව තරගය පෙරේදා ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත විණි. එහි දෙවැන්න මාර්තු මස 02 දින රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට පියවර ගෙන තිබේ.

මෙම දෙපිල අතර තරගය යාපනය අර්ධද්වීපයේ පිහිටි අරියාලේ ක්‍රීඩාං-ගණයේදී ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ගෝල් 01 - 00 ක තියුණුත ම ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට සබරගමුවට හැකි විය.

තරග ද්විත්වයම ප:ව: 03.30 ට ආරම්භ කෙරේ.

පුහුණුකරු ෆසූල් රහූමාන් මහ-තාගේ මග පෙන්වීම අනුව එම්.එන්.එම්. ෂිෆාන්ගේ නායකත්වයෙන් සබරගමුව පළාත ද පුහුණුකරු එම්.ආර්. මොහොමඩ් ජස්මින් මහතාගේ මග පෙන්වීම අනුව එම්. නිදර්ශන්ගේ නායකත්වයෙන් උතුර පළාත ද පුහුණුකරු එන්.එස්.එම්. හසන් රූමී මහතාගේ මඟ පෙන්වීම අනුව එම්.එම්.එම්. මුස්තාක් ගේ නායකත්වයෙන් නැඟෙනහිර පළාත ද

පුහුණුකරු ශිරන්ත කුමාර මහතාගේ මග පෙන්වීම අනුව එම්.ආර්.රිෂාඩ් ගේ නායකත්වයෙන් දකුණු පළාත ද තීරණාත්මක අවසාන පූර්ව වටයේදී සටන් බිමට අවතීර්ණ වෙයි.

මෙතෙක් පැවති තරඟ ආශ්‍රිතව "Golden Boot" හෙවත් “රන් සපත්තුව” සම්මානය දිනා ගැනීම සඳහා උතුරු පළාත වෙනුවෙන් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වන එම්. නිදර්ශන් ඉදිරියෙන්ම පසුවෙයි. තරග 07 ක් තුළ නිදර්ශන් රැස් කර ගෙන ඇති ගෝල් සංඛ්‍යාව 06 කි.

සබරගමුව පළාතේ ඒ.එච්.එම්.මුෂ්ෆික් එකි දෙවන ස්ථානයේ පසු වන්නේ ගෝල් 05 ක් සමඟිනි. දකුණු පළාත වෙනුවෙන් සුපුන් ධනංජය ගෝල් 03 ක් ද නැගෙනහිර පළාත වෙනුවෙන් මොහොමඩ් මුස්තාක් ගෝල් 02 ක් ද රැස් කර ගනිමින් තම පළාතේ වැඩි ම ගෝල ලාභියා ලෙස නම සඳහන් කර ගත්හ. සබරගමුවේ මොහොමඩ් ෂිෆාන් රැස් කර ගෙන ඇති ගෝල් සංඛ්‍යාව ද 03 කි.

Comments