වෙරළ තීරයේ උපන් පැතුම්-චන්දි ක්‍රිකට් විකුම් පෙන්වති | Page 2 | සිළුමිණ

වෙරළ තීරයේ උපන් පැතුම්-චන්දි ක්‍රිකට් විකුම් පෙන්වති

‘වාර්තා පිහිටුවීමට ජය ගැනීමට ම අවශ්‍ය නැත. පරාජයන් අභියස වුව වාර්තා බිහිවිය හැකිය. පසුගිය දා නිමාව දුටු ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ දී එවැනි වාර්තා දෙකක් බිහිවිණි. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් විසින් පිහිටුවූ මෙම වාර්තා සම්බන්ධයෙන් තැබෙන කෙටි සටහනකි මේ.‘

ඔස්ට්‍රේලියාව සමඟ පසුගිය දා පැවති තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාව 4-1 ක් ලෙස පරාජය විය. පළපුරුද්දෙන් බහුල නොවූ යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී අත්දැකීම් අතින් වඩාත් පරිණත වූවාට සැකයක් නැත.

තමන් සහභාගි වූ මුල් තරග පරාජයට පත් වුවත් පරාජයට පත් වූ තරගවලදී ද සත්කාරකයන්ට උපරිම තරගයක් ලබා දීමට ශ්‍රී ලංකා යෞවනයන් උත්සාහ කිරීම පැසසිය යුතු කරුණකි.

එහිදී යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට ද සමත් වූහ. ඔස්ට්‍රේලියානුවන්ට උචිත, ආසියානු ක්‍රීඩකයන්ට තරමක් ආගන්තුක ඔස්ට්‍රේලියානු තණ තීරුවල ඔස්ට්‍රේලියානුවන්ට තරගයක් ලබා දීමට හැකියාවක් ලැබීම ද එක් අතකට පරාජය අස්වසාලන ජයග්‍රහණයකැයි පිළිගත යුතු ය.

එහෙයින් පැතුම් නිශ්ශංක හා දිනේෂ් චන්දිමාල්ගේ වාර්තා සම්බන්ධව වෙසෙසින් සට-හන් තැබිය යුතු ය. යොවුන් ක්‍රීඩකයකු වන පැතුම් නිශ්ශංක මෙම තරගාවලියේ දී පිහිටුවූ වාර්තාව වූයේ විස්සයි20 තරග ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ දී තරගාවලියක වැඩි ම ලකුණු ලබා ගත් විදේශීය ආරම්භක පිතිකරුවා ලෙස ය. නිශ්ශංක මෙම තරගාවලියේ දී ලකුණු 184 ක් ලබා ගත් අතර, 2016 වසරේ දී තරග තුනකින් සමන්විත තරගාවලියක ලකුණු 143 ක් ලබා ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා පිහිටුවා තිබූ වාර්තාව මේ අනුව බිඳ වැටිණි.

පැතුම් නිශ්ශංක ඔස්ට්‍රේලි-යාවට එරෙහිව පළමු තරගයේ දී ලකුණු 36 ක්, දෙවැනි තරගයේ දී ලකුණු 73 ක් තෙවැනි තරගයේ දී ලකුණු 16 ක් සිව් වැනි තරගයේ දී ලකුණු 46 ක් මෙන් ම අවසන් තරගයේ දී ලකුණු 13 ක් රැස් කිරීමට සමත්විය.

2016 වසරේ ඉන්දීය පි‍ලේ ඔස්ට්‍රේලියානු සං-චාරයේ දී රෝහිත් ෂර්මා විසින් පළමු තරගයේ දී ලකුණු 31ක්, දෙවැනි තරගයේ දී ලකුණු 60 ක් සහ තෙවැනි තරගයේ දී 52 ක් ලෙස එම ලකුණු ප්‍රමාණය රැස්කර තිබුණේය.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ශිකර් ධවාන් මෙම ලැයිස්තුවේ තෙවැනි තැන පසුවන ක්‍රීඩකයා ය. ඔහු ලකුණු 117 ක් ලබා ගෙන ඇත. 2018 වසරේ ඉන්දීය පිල සිදු කළ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී ඔහු මෙම දස්කමට හිමිකම් කීය. එහි දී ධවාන් පළමු තරගයේ දී ලකුණු 76 ක් සහ තෙවැනි තරගයේ දී ලකුණු 41 ක් ලබා ගත්තේ ය. එම තරගාවලියේ දෙවැනි තරගය අයහපත් කාලගුණය නිසා අත්හැර දැමිණි.

2019 වසරේ පකිස්තානු කණ්ඩායම සිදු කළ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී බාබර් අසාම් විසින් තරගාවලිය පුරා ලකුණු 115 ක් ලබා ගත් අතර, මෙම ලැයිස්තුවේ ඔහු රැඳී ඇත්තේ සිව් වැනි තැනය. එම තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු 59 කුත් දෙවැනි තරගයේ දී ලකුණු 50 කුත් තෙවැනි තරගයේ දී ලකුණු 6 කුත් ලබා ගන්නට ආරම්භක පිතිකරුවකු ලෙස බාබර් අසාම්ට හැකි විය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන දි‍නේෂ් චන්දිමාල් ද අනගි වාර්තාවකට හිමිකම් කීවේ ය. ඒ විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ කිසිදු ඉනිමක ලකුණු නොලබා දැවී නොයමින් පෞද්ගලිකව ලකුණු දහසේ සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි. මේ වන විට විස්සයි20 තරග 65 ක දී ඉනිම 58 කට ක්‍රීඩා කර ඇති චන්දිමාල් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1022 කි.

චන්දිමාල්ට අමතරව ලකුණු නොලබා නො-දැවෙමින් ලකුණු දහසේ සීමාව පසු කළ ක්‍රීඩකයන් 6 දෙනෙක් විස්ස20 ජාත්‍යන්තර පිටියෙන් හමු වෙයි. දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් සහ ඩු ප්ලෙසිස්, බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි මාලන් සැමුවෙල්ස්, එංගලන්තයේ ඩේවිඩ් මලාන්, නෙදර්ලන්තයේ මැක්ස් ඕ ඩවුඩ් එම සෙසු පිතිකරුවෝ වෙති.

 

Comments