
‘මිනිසුන්ට ජීවත්වීම සඳහා බොහෝ දේ කිරීමට සිදුවෙයි. ඇතැම් විට කිසිසේත් නොසිතූ දේ වන්නට පිළිවන. තුන්වැනි ලෝකයේ රටවල ක්‍රිකට් ක්‍රීඩකයකු යනු මහා ධන කුවේරයකු වූවාට දියුණු රටවල් තුළ ක්‍රිකට් ක්‍රීඩකයකු යනු මහා ධනවතකු වන්නේ ද නැත. ක්‍රීඩාවෙන් සමුගත් පසු ජීවිතය පවත්වා ගෙන යෑමට විවිධ රැකියාවල නිරත වීමට ඔවුනට සිදුවන්නේ එහෙයිනි. මේ ඉයන් බොතම් සම්බන්ධයෙන් බටහිරෙන් ඇසෙන කතාවකි.‘
“බීෆි, බෝත්, ගයි” ඔහුව හඳුනා ගන්නට නම් බොහෝමයි. 1970-80 දසකයන්හි ක්‍රිකට් රසිකයන් අතර ඔහු බොහොම ජනප්‍රිය චරිතයක්. නමුත් අදටත් ඉයන් බොතම් කිව්වම ඔහුව නොදන්න කෙනෙක් නැති තරම්.
1955 එංගලන්තයේ විරල් හි හෙස්වෝල් ග්‍රාමයේ උපන් ඔහුගේ මව්පියන් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සමීප සම්බන්ධයක් තිබුණු යුවළක්. ඒ නිසාම කුඩා කාලයේ ඉඳන් ම ඉයන්ගේ ආසාව වුණෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා තම මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කරන්නටයි. ඔහු අධ්‍යාපනය ලැබූ සමර් සෙට් හි මිල්ෆෝර්ඩ් පාසලේ අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ඉයන් බොතම් ට වරම් ලැබෙන්නෙත් ඔහුගේ අරමුණේ එක් පියවරක් සාර්ථක වෙමිනුයි. පාසල් අධ්‍යාපනය නිමා කළ ඉයන් අනතුරුව සමර් සෙට් ප්‍රාන්ත කණ්ඩායම සමඟ අත්වැල් බැඳ ගත්තා. එය එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට ප්‍රවේශ වීම සඳහා ඔහුට කදිම අත්වැලක් වුණා.
1974 වසරේ තමයි ඔහු පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් බෞතිස්මය ලබාගන්නේ 1977 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකින්. වේගවත්ව ලකුණු රැස් කළ හැකි පිතිකරුවෙක් වූ නිසා බොතම් වසරක් ගතවන්නටත් පෙර ම ප්‍රේක්ෂකයන් අතර මහත් ජනාදරයට පත් වෙනවා. එම නිසාම 1981 වසරේ දී ඉයන්ට එංගලන්ත ජාතික කණ්ඩායමේ නායකත්වයේ වගකීම පවා පැවරෙනවා. 1981 වසරේ අළු බඳුන තරගාවලියේ එක් තරගයක හයේ පහර 6 ක් එල්ල කරමින් ඔහු තැබූ වාර්තාව 2005 වසර තෙක් ම නොබිඳී පවතිනවා.
1986 වසරේ දී මත්ද්‍රව්‍ය පානය කළේ යැයි ඔහුට චෝදනාවක් එල්ල කෙරුණා. එපමණක් නොව ඒ කාලයේ දී ම ඔහු ක්‍රිකට් තරග බිමෙන් ඉවත් වන්නට තීරණය කළේ බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ බොතම්ගේ කල්‍යාණ මිතුරන් වූ විවියන් රිචඩ්ස් සහ ජොයෙල් ගානර් ව එම කණ්ඩායමෙන් නෙරපා හැරීමට විරෝධය පෑමක් නිසයි.
නමුත් නැවතත් පිටියට පිවිසෙන බොතම් 1992 වසර දක්වා ජාත්‍යන්තර පිටිය මත සිය අණසක පතුරුවනවා. එක්දින තරග 116 ක දී ඔහු පිතිකරණයෙන් ලකුණු 2113 ක් ලබා ගෙන ඇති අතර කඩුලු 145 ක් බිඳ හෙළන්නට සමත් වෙනවා. ටෙස්ට් පිටියේ ඔහු ලකුණු 5200 ක් ලබා ගෙන ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 383 ක්
ඉයන් බොතම් වඩාත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස වුවත් ඔහු පාපන්දු ක්‍රීඩාවේ ද දක්ෂයෙක්. 1980 වසරේ දී බොතම් ස්කන්තෝර්ප් යුනයිඩට් පාපන්දු සමාජය හා අත්වැල් බැඳ ගන්නවා. එහි දී ලීග් පාපන්දු තරග 11 ක් නියෝජනය කරන්නට ඔහුට අවස්ථාව උදා වෙන බවයි ඉපැරණි වාර්තා පිරික්සද්දී සොයා ගත හැක්කේ. ක්‍රිකට්, පාපන්දු වගේම ගොල්ෆ් ක්‍රීඩාවටත් ඔහු අති දක්ෂයෙක්.
මේ වෙද්දි ඉයන් බොතම්ගේ වයස අවුරුදු 66 ක්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන මේ වන විට වසර 30 ක් ගත වෙලා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දි වගේ ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තට පස්සෙත් බොතම් සම්මාන ගණනාවකින් ම පිදුම් ලබා තිබෙනවා. 1978 වසරේ විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනා අතරට ඔහුව නම් කෙරෙනවා.
බී.බී.සී ය වෙතින් පිදෙන වසරේ (1980) හොඳම ක්‍රීඩා පෞරුෂය සම්මානය, 2004 වසරේ බීබීසීය වෙතින් ක්රීඩකයකුට සිය ජීවිතයේ එක් වතාවක් පමණක් පිදෙන වසරේ ක්‍රීඩා පෞරුෂය සම්මානය, 2007 වසරේ බ්‍රිතාන්‍ය රාජකීය නයිට් පදවිය, 2008 වසරේ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය විසින් පිරිනැමූ ක්‍රීඩා විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර්ය උපාධිය, 2010 වසරේ ලින්කන් විශ්වවිද්‍යාලය විසින් පිරිනැමූ ක්‍රීඩා විද්‍යා ආචාර්ය උපාධිය ආදී ගෞරව සම්මාන රැසකින් ම බොතම් පිදුම් ලැබුවා.
2014 වසරේ මාලිබෝන් ක්‍රිකට් සමාජය වාර්ෂිකව පවත්වන්නට යෙදෙන කව්ඩ්රි දේශනය (Spirit of Cricket Cowdery) පවත්වන්නටත් ඔහුට අවස්ථාව උදා වුණා.
ක්‍රිකට් ක්‍රීඩාව හරහා ඔහු ලැබූ ප්‍රසිද්ධිය සමා-
ජයේ යහපත උදෙසා යොදා ගැනීමටත් ඔහු කටයුතු කිරීම ප්‍රශංසාවට කරුණක්. ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින්නන් වෙනුවෙන් ඔහු නිතර ම කැප වී සිටියා. ඔවුන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීම, ඔවුන්ගේ යහපත වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධා-නය කිරීම ආදියේ දී ඔහු පෙරමුණ ගත්තා.
2003 වසරේ දී බොතම් එක්සත් රාජධානියේ ලියුකේමියා රෝගීන් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රමුඛතම සංවිධානයක් වන ලියුකේමියා පර්යේෂණායතනයේ සභාපති ධුරයට පත් කෙරුණා. 2007 වසරේ දී ඔහුට නයිට් පදවියක් ප්රදානය කෙරන්නට ද මෙම කැපවීම ප්‍රධාන වශයෙන් බලපෑවා.
වර්තමානයේ ඉයන් බොතම් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙසත් කටයුතු කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු තෝරා ගත් ප්‍රධානම කාර්යය එයයි.
ඊට අමතරව ඔහු රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් විටින් විට ප්‍රේක්-ෂකයන්ව හමු වෙනවා. ඔහු පුතුන් දෙදෙනෙක්ගේ සහ එක් දියණියකගේ පියෙක්.
ජීවිතයේ සැඳෑසමය ගෙවන බොතම් අද වන විට ජීවත් වන්නේ ස්පාඤ්ඤයේ. බොතම්ගේ දියණියට ස්පාඤ්ඤයේ අවන්හලක් සහ වයින් බාර් එකක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කාලයක් අණසක පතුරවපු ඉයන් බොතම් දැන් විවේක වේලාවක් ලැබුණාම දුවත් එක්ක අවන්හලේ, වයින් බාර් එකේ වැඩවලට සහාය වෙන්නත් මැලි වන්නේ නැහැ. ජීවිතයේ හැටි එහෙමයි. බොතම් අපට මෙන් ම ලොවට කියන්නේ ඒ දේ යි.