ක්‍රිකට් විරෝධතාවයෙන් මතුවන යථාර්ථය | සිළුමිණ

ක්‍රිකට් විරෝධතාවයෙන් මතුවන යථාර්ථය

 

වර්තමානයේ විරෝධතා පැවැත්වීම විලාසිතාවක් බවට පත්ව තිබේ. එය කොතරම් සුලබ ද යත් බෙල්ල ඇමට්ටි වූ පසු කොට්ටයට එරෙහිව විරෝධතා දැක්වීමට පෙළගැසෙන තරමට ඒවා සුලබ ය.

රාත්‍රියට නින්ද නොගියේනම්, නිසි වේලාවට අවදි නොවුණේ නම් වුව කාට හෝ එරෙහිව උද්ඝෝෂණය කරන්නට බොහෝ දෙනෙක් කැමති ය. එහෙත් මෙලෙස දියත් වන සියලු විරෝධතා අසාධාරණ යැයි අප කියන්නේ නැත. රජයට බල කළ යුතු, ආයතනික කළමනාකාරිත්වය දැනුවත් කළ යුතු විරෝධතා ඕනෑ තරම් තිබෙන්නට පිළිවන. සමාජයක් වශයෙන් අතිශය සාධාරණ හේතු අරභයා විරෝධය පෑම අපි ද අනුමත කරමු. කෙසේ නමුත් යම් අඩුපාඩුවක් සකස් කර ගැනීමේ පළමු හා එකම පිළිතුර විරෝධතා පෑම ද නොවේ. ඊට පෙර අදාළ අර්බුදයට විසඳුම් සපයා ගැනීම පිණිස ගත හැකි පියවර රාශියක් වෙයි. යම් හෙයකින් විරෝධතාවක් සංවිධානය කරන්නේ නම් එය අදාළ ගැටලුව විසඳීම පිණිස ගනු ලැබූ පූර්ව ක්‍රියාදාමයන් රැසක අවසන් ප්‍රතිඵලය විය යුතු ය.

මෙතෙක් කාලයක් මෙවැනි විරෝධතා උද්ඝෝෂණ බොහෝ විට සංවිධානය කෙරුණේ කිසියම් දේශපාලනික සන්දර්භයක් සහිත කාරණා සම්බන්ධයෙන් පමණි. මෙවැනි විරෝධතා මගින් ආණ්ඩු පෙරළා නව ආණ්ඩු පවා පත් කර ගැනුණු අතර, අධිකරණ තීන්දුවලට පවා බලපෑම් කරනු ලැබුණේ ය.

එහෙත් පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සංවිධානය කර තිබූ විරෝධතාවය පොදු ජන විරෝධය නව මානයකට රැගෙන යන්නක්ව තිබුණේ ය. අදාළ විරෝධතාව දියත්ව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගන්නා ලෙසට බලකරමිනි. මේ සඳහා එක්ව සිටි විරෝධතාකරුවෝ සාමාන්‍ය උද්ඝෝෂණයක හෝ විරෝධතාවක මෙන් පෝස්ටර් කීපයක් ද ප්‍රදර්ශනය කළ හ. එහි භානුක රාජපක්ෂ කණ්ඩායමට එක්කර ගන්නැයි කරන ඉල්ලීම මෙන්ම කණ්ඩායමට එක්ව සිටින වෙනත් ක්‍රීඩකයන් විෂයේ සිදු කළ අවලාද ද විය.

අදාළ විරෝධතාවයේ සාර්ථක හෝ අසාර්ථක භාවය මෙන්ම එය සංවිධානය කර තිබුණේ කවුරුන් විසින් ද යන්න විමසීම අප අරමුණ නොවේ. එහෙත් මෙහි දී වෙසෙසින් සලකා බැලිය යුතුව ඇත්තේ එකී විරෝධතාවයෙන් මතුවන ප්‍රධාන කාරණාවන් කීපයක් ගැන ය.

ඉන් ප්‍රධාන කාරණය වනුයේ පාලකයන් විසින් විශිෂ්ට ක්‍රීඩකයන්ගේ මානසිකත්වය අවුල් කිරීම නොකළ යුතු ය යන්න ය. ඔවුනට නිදහසේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිමක් සකස්කර දිය යුතු ය. භානුකට දක්වන සැලකිල්ලට අනුව සෙසු ක්‍රීඩකයන් තුළ තමන්ගේ ක්‍රීඩා අනාගතය පිළිබඳ අනවශ්‍ය භීතියක් නිර්මාණය වන බව විරෝධතාකරුවන්ගේ මතය යි.

එම විරෝධතාවයෙන් මතුවන තවත් කාරණ-යක් වන්නේ රටක ජාතික කණ්ඩායමක් නම් කිරීමේ දී එයට ඇතුළත් වන ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයට අතිරේකව ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් ද සැලකිල්ලට ලක්කළ යුතු බව යි.

කෙසේ නමුත් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැළීමේ දී සංවේදී නොවූ කාරණා කීපයක් ද වෙයි. ඒ වර්තමානය වන විට ක්‍රීඩාව ගෝලීය වශයෙන් සුවිශාල රිද්මීය වෙනසකට ලක්ව ඇති බව ය. විද්‍යාත්මක දැනුමින් සන්නද්ධව, ලෝකයේ සෙසු ක්‍රීඩකයන්ගේ ප්‍රබලතා පිළිබඳ සලකා රටක ජාතික කණ්ඩායමක් තේරීම් වැදගත්කම ගැන ඔවුන් සලකා නැත. අනූව දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව හා නව සහස්‍රකයේ දෙවැනි දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු ගැටලුවකින් තොරව ඔවුන් සමපාත කරන්නේ එහෙයිනි.

විරෝධතා සංවිධානය කිරීමට පෙර මෙවැනි කාරණාවන් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සිතා බැලීමට උත්සුක විය යුතු ය. නීතියක් පවතින්නේ නම් සමස්තය ඊට අනුහුරු කළ යුතු ය. එසේ නොමැතිව වෙනත් කෙටි ක්‍රමවේද යොදා ගනිමින් තමන්ට සුදුසු ආකාරයට නීති කෙටුම්පත සකස් කිරීමට යෝජනා නොකළ යුතු ය. සිදුවිය යුත්තේ නීතියට අනුගත වන ආකාරයට පුද්ගලයන් හැඩගැසීම ය. එසේ නොමැතිව ‘වල්ගයට‘ අවැසි ලෙස බල්ලා සෙලවීමට ඉඩ දීම සාර්ථක නැත. වල්ගය සෙලැවිය යුත්තේ බල්ලාට අවැසි ආකාරයට ය. එය එසේ විය යුත්තේ පවත්නා නීතියක් එක් එක් පුද්ගලයාට ගැළපෙන ආකාරයට වෙනස් කරන්නට කටයුතු කරන්නේ නම් සමාජයක් වශයෙන් ගෙවීමට සිදුවන මිල අධික වන හෙයිනි.

Comments