IPL 2022 වෙන්දේසියේ සම්පූර්ණ පැටිකිරිය | Page 2 | සිළුමිණ

IPL 2022 වෙන්දේසියේ සම්පූර්ණ පැටිකිරිය

- වනිඳු රුපියල් කෝටි 29කට විකිණෙයි
- ශ්‍රී ලංකාවේ පහකට අයි.පී.එල්. වරම් 
- රුපියල් කෝටි 862කට 33කට රැඳවුම් වරම්

ලොව ප්‍රමුඛත ම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව යට අදාළ ක්‍රීඩක වෙන්දේසිය මෙවර දෙදිනක් පුරා බැංගලෝර් හි දී පැවැති අතර, මෙවර තරගාවලිය සඳහා නව කණ්ඩායම් දෙකක් ද මේ වන විට එක් ව ඇත. ඒ, අහ්මදාබාද් සහ ලක්නව් යන නගර කේන්ද්‍ර කර ගනිමිනි.

අතිදැවැන්ත මුදල් කන්දරාවක් හුවමාරු වන ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන අයි.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩකයන් සඳහා ද හිමිවන මුදල් ප්‍රමාණය සුළුපටු නොවේ. මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් තුළ රඳවා ගැනීමට හැකි උපරිම ක්‍රීඩකයන් ගණන 4 දක්වා අඩු කෙරිණි. එමෙන්ම කණ්ඩායමේ රඳවා ගන්නා ක්‍රීඩකයන් වෙනුවෙන් හා වෙන්දේසියේ දී මිල දී ගන්නා ක්‍රීඩකයන් වෙනුවෙන් එක් කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය ඉන්දිය රුපියල් කෝටි 90 දක්වා ඉහළ නැංවීමට ද තරගාවලියේ සංවිධායකයෝ පියවර ගත් හ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 244 ක ට ආසන්න මුදලකි.

මෙම වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි අදියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට පෙර, ඒ ඒ කණ්ඩායම් විසින් (මෙතෙක් පැවැති කණ්ඩායම් 8 විසින්) සිය කණ්ඩායම්වල රඳවා ගැනීමට කටයුතු කර ඇති සමස්ත ක්‍රීඩකයන් ගණන 27 කි. ඊට අමතරව තරගාවලියට අලුතින් එක් වූ ලක්නව් හා අහ්මදාබාද් යන කණ්ඩායම් ද ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් තිදෙනා බැගින් මිල දී ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම ක්‍රීඩකයන් 33 දෙනා වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් වැය කර ඇති සම්පූර්ණ මුදල ඉන්දීය රුපියල් කෝටි 318 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 862කට ආසන්නය.

ඒ ඒ කණ්ඩායම් විසින් රඳවාගෙන හා මිල දී ගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුව ලක්නව් සුපර් ජයන්ට්ස්

01)කේ එල් රාහුල් – ඉන්දීය රු. කෝටි 17 ක්

02)මාර්කස් ස්ටොයිනිස් – ඉන්දීය රු. කෝටි 9.2 ක්

03) රවී බිෂ්නෝයි – ඉන්දීය රු. කෝටි 04 ක්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

01)විරාට් කෝලි – ඉන්දීය රු. කෝටි 15 ක්

02)ග්ලේන් මැක්ස්වෙල් – ඉන්දීය රු. කෝටි 11 ක්

03)මොහොමඩ් සිරාජ් – ඉන්දීය රු. කෝටි 07 ක්

චෙන්නායි සුපර් කිංග්ස්

01)රවින්ද්‍ර ජඩේජා – ඉන්දීය රු. කෝටි 16 ක්

02)එම්.එස්. දෝනී – ඉන්දීය රු. කෝටි 12 ක්

03) මොයීන් අලී – ඉන්දීය රු. කෝටි 8 ක්

04)රුටුරාජ් ගයික්වඩ් – ඉන්දීය රු. කෝටි 6 ක්

කොල්කටා නයිට් රයිඩර්ස්

01)ඇන්ඩ්‍රේ රසල් – ඉන්දීය රු. කෝටි 12 ක්

02)වරුන් චක්‍රවර්තී – ඉන්දීය රු. කෝටි 8 ක්

03)වෙන්කටේශ් අයියර් – ඉන්දීය රු. කෝටි 8 ක්

04)සුනිල් නරේන් – ඉන්දීය රු. කෝටි 6 ක්

මුම්බායි ඉන්දියන්ස්

01)රෝහිත් ෂර්මා – ඉන්දීය රු. කෝටි 16 ක්

02)ජස්ප්‍රිට් බුම්රා – ඉන්දීය රු. කෝටි 12 ක්

03)සූර්යකුමාර් යාදේව් – ඉන්දීය රු. කෝටි 8 ක්

04)කයිරන් පොලාඩ් – ඉන්දීය රු. කෝටි 06 ක්

දිල්ලි කැපිටල්ස්

01)රිෂාබ් පාන්ට් – ඉන්දීය රු. කෝටි 16 ක්

02)අක්සාර් පටෙල් – ඉන්දීය රු. කෝටි 9 ක්

03)ප්‍රිත්වි ෂෝ – ඉන්දීය රු. කෝටි 7.5 ක්

04)ඇන්රිච් නොකියා – ඉන්දීය රු. කෝටි 6.5 ක්

රාජස්තාන් රෝයල්ස්

01)සංජු සැම්සන් – ඉන්දීය රු. කෝටි 14 ක්

02)ජොස් බට්ලර් – ඉන්දීය රු. කෝටි 10 ක්

03)යශස්වි ජයිස්වාල් – ඉන්දීය රු. කෝටි 04 ක්

පංජාබ් කිංග්ස්

01)මායන්ක් අගර්වාල් – ඉන්දීය රු. කෝටි 14 ක්

02)අර්ශ්දීප් සිංග් – ඉන්දීය රු. කෝටි 04 ක්

අහ්මදාබාද් කණ්ඩායම

01)හර්ද්‍රික් පාන්ඩ්යා - ඉන්දීය රු. කෝටි 15 ක්

02)රෂීඩ් ඛාන් – ඉන්දීය රු. කෝටි 15 ක්

03)ශුබ්මන් ගිල්– ඉන්දීය රු. කෝටි 08 ක්)

සන් රයිසස් හයිද්‍රාබාද්

01)කේන් විලියම්සන් – ඉන්දීය රු. කෝටි 14 ක්

02)අබ්දුල් සමාද් – ඉන්දීය රු. කෝටි 04 ක්

03)උම්රාන් මලික් – ඉන්දිය රු. කෝටි 04 ක්

ඉහළ ම මිල නියම වු 11 දෙනා

දෙදින පුරා බැංගලෝර්හි දී පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය නිමාවට පත් වුණේ ක්‍රීඩකයන් 204 දෙනෙකු කණ්ඩායම් දහය අතර බෙදා ගනිමින්ය. 

විවිධ මිල ගණන් යටතේ එකි ක්‍රීඩකයන් සිය කණ්ඩායම්වලට මිලදී ගැනීමට තරගාවලියට එක් වන කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළ හ.

සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයන් මිලදී ගැනීම සදහා වැය කළ මුදලෙහි මුළු වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 551 කට අධික වු අතර මෙවර වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූයේ ඉන්දියාවේ ඉෂාන් කිෂන්.

ඉන්දීය රුපියල් කෝටි 15.25 ක මිලකට ඔහුව මිලදී ගත්තේ ද ඉෂාන් කිෂන් මීට පෙර නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනි.

මෙවර වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන්,පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 11.5 ක මුදලකටය.

මෙවර වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා

ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස්

– ඉන්දීය රුපියල් කෝටි 15.25

දීපක් චහාර් : චෙන්නායි සුපර් කිංග්ස්

– ඉන්දීය රුපියල් කෝටි 14

ශ්‍රේර්යස් අයියර් : කොල්කටා නයිට් රයිඩර්ස්

– ඉන්දීය රුපියල් කෝටි 12.25

ලියම් ලිවින්ග්ස්ටන් : පංජාබ් කිංග්ස්

– ඉන්දීය රුපියල් කෝටි 11.5

ශර්දුල් තාකූර් : දිල්ලි කැපිටල්ස්

– ඉන්දීය රුපියල් කෝටි 10.75

වනිඳු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

– ඉන්දීය රුපියල් කෝටි 10.75

හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

– ඉන්දීය රුපියල් කෝටි 10.75

නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද්

– ඉන්දීය රුපියල් කෝටි 10.75

ලොකී ෆර්ගියුසන් : ගුජරාට් ටයිටන්ස්

– ඉන්දීය රුපියල් කෝටි 10

අවේෂ් ඛාන් : ලක්නව් සුපර් ජයන්ට්ස්

– ඉන්දීය රුපියල් කෝටි 10

ප්‍රසිද් ක්‍රිෂ්නා – රාජස්ථාන් රෝයල්ස්

– ඉන්දීය රුපියල් කෝටි 10

අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

අයි.පී.එල්. වෙන්දේසියේ දී ක්‍රීඩකයන් 204 දෙනෙකු අලෙවි වූ අතර, ඊට අයත් වු විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 67 කි. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනෙකු ද මෙවර වෙන්දේසියේ දී අලෙවි වීම විශේෂත්වයක් වු

අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වැඩිම මිලකට අලෙවි වූයේ ලොව අංක එකේ විස්සයි20 දඟ පන්දු යවන්නාවන වනිඳු හසරංගයි.

වනිඳු ශ්‍රී ලංකා රුපියල් කෝටි 29ක මුදලකට මිලට ගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. ඔහු මෙවර වෙන්දේසියට ලියාපදිංචි වී තිබුණේ ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමක් සහිත කාණ්ඩය යටතේය. වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් විසින් ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට මිලදී ගත් අතර ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාමක් යටතේ ලියාපදිංචි වී තිබූණි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත්ව සිටි දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ය. ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකටය.

භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැය කරමින්ය.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50කටය.

චරිත් අසලංක, මතීෂ පතිරණ වෙන්දේසියට ඉදිරිපත් කළ නමුත්, ඔවුන්ව කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගත් අතර, මෙවර වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වෙන්දේසිකරු හියු ඇඩම්ස් සිහිසුන් වෙයි

වෙන්දේසිය අතරමඟ නතර විය!

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වී පැය දෙකකට වැඩි කාලයක් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ නමුත්, එය තාවකාලිකව අත්හිටුවීමට හිටිහැටියේ ම සිදු විය.

ඒ, ලංසු ඉදිරිපත් කරන අතරතුර දී වෙන්දේසිකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික හියු ඇඩම්ස් අධි රුධිර පීඩනය හේතුවෙන් හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීමෙන් ය.

අනතුරුව ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා කටයුතු කෙරුණු අතර, ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බව පසුව වාර්තා විය.

මෙම අනතුර සිදු වුණේ වනිඳු හසරංග වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ දී ය. ඒ වන විට වනිඳුට ඉන්දීය රුපියල් කෝටි 10.75 ක ලංසුවක් ඉදිරිපත්ව තිබිණි.

බන්ධුල ජයමාන්න

Comments