
වර්ගය, ආගම, කුලය කියන්නේ මිනිසුන් එකිනෙකට බැඳ තබන දෙයක් වගේම එකිනෙකා වෙන් කරන සාධකයක් කිව්වොත් වැරැදි නැහැ. ආගමක් තුළින් සත්‍ය වශයෙන් ම යහපත් මාර්ගය පෙන්වා දී තිබුණාට ප්‍රත්‍යක්ෂ වශයෙන් ම එකී යහපත් මාර්ගයේ ගමන් කරන අය බොහෝම අඩුයි. ඒ නිසාම විවිධ විදියට විශ්ව සමාජය ආගම්, වර්ග, කුල මත පදනම් වෙලා බෙදිලා වෙන් වෙලා ඉන්නවා.
2011 වසරේ කැන්ගරු දේශයෙන් ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබූ උස්මාන් කවාජාත් ආගම නිසා සමාජය තුළ ගොඩනැඟුණු පරතරයෙන් කලක් පීඩනයට ලක් වුණු අයෙක්. විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් ඔස්ට්‍රේලියානු ජාතිකයන් අද කිසිදු භේදයකින් තොරව ඔහුව ආදරයෙන් වැලඳ ගත්තත් ළමා කාලයෙහි කවාජාට කටුක අත්දැකීම් ගොන්නකට මුහුණ දෙන්නට සිදු වුණා. නමුත් ක්‍රීඩාවෙන් බේද බිඳ දමයි යන කාරණාව මනාව පසක් කරමින් අද වන විට කවාජා හට ඔස්ට්‍රේලියාව තුළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස හොඳ පිළිගැනීමක් ලැබිලා තියෙනවා.
ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයෙහි පළමුවැනි මුස්ලිම් ක්‍රීඩකයා වන්නේ උස්මාන් කවාජායි. ඉපදුණු දා ඉඳන් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ප්‍රවේශ වන තුරු ඔස්මාන්ගේ ජීවිත කතාව රස, නීරස කතා ගොන්නකින් ගෙත්තම් වී තිබේ. ඔහු උපන්නේ 1986 වසරේ දී පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ය. වයස අවුරුදු 5ක් වෙද්දී උස්මාන් කවාජා සිය මව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් නගරයේ පදිංචියට ගියහ. මුල් කාලයේ ඔවුන්ට මහල් නිවාසයක කුඩා කාමරයක් තුළ දිවි සරන්නට සිදු විය. පාකිස්ථානයේ සිට ඉසුරු සොයා පැමිණි ඔවුන් හට අත්විඳින්නට වූ අත්දැකීම් සිතූ පැතූ තරම් සොඳුරු වූයේ නැත.
කුඩා උස්මාන් සෙල්ලම් කිරීමට සිය නිවාසය අසල උද්‍යානයකට නිතර ගිය නමුත් එහි ක්‍රීඩා කළ ළමෝ කවාජාව ප්‍රතික්ෂේප කරන්නට විය. කවාජාගේ ආගම ඊට හුදෙක්ම බලපෑවේය. ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා අල්ප වූ අතර, එයද ඔහුව සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට බලපෑ කරුණක් විය. එම කරුණ නිසා ඔහුට පාසලේ දී ද ගැටලු රාශියකට මුහුණ පාන්නට සිදු විණි. ආගම, වර්ගය පිළිබඳ ව අධිතක්සේරුවෙන් සිටින කණ්ඩායම් ඕනෑ ම සමාජයක සිටිති. බටහිර සමාජයේ කියා එහි වෙනසක් නැත. නමුත් එසේ සිදු වූ වෙනස්කම් පිළිබඳ ව වැඩි තැකීමක් නොකළ උස්මාන් ක්‍රිකට් ක්‍රීඩාව මෙන් ම අධ්‍යාපන කටයුතු ද හොඳින් සිදු කළේය.
ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ සිට කලක් ගත වන තුරුම උස්මාන්ගේ පියාට හොඳ ආදායමක් උපයා ගත හැකි ස්ථිර රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. උස්මාන් සහ තවත් දරුවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙ-නෙකුගෙන් යුතු පවුලක් නඩත්තු කිරීම, උස්මාන්ගේ පියාට ඉතාම දුෂ්-කර කාර් යයක් වී තිබිණි. එම නිසා උස්මාන් හට ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ ආර්ථික දුෂ්කරතාවන්ටද මුහුණ දෙන්නට සිදු විය. නමුත් කලකට පසු උස්මාන්ගේ පියා හට තොරතුරු තාක්ෂණ අංශයේ ස්ථාවර රැකියාවක් හිමි වුණු අතර, එයින් පැවති ආර්ථික දුෂ්කරතා පහව ගියේය.
දුෂ්කරතා රැසක් මධ්‍යයේ උස්මාන් අධ්‍යාපන කටයුතු මෙන් ම ක්‍රීඩා පුහුණුවීම් ද මැනවින් සිදු කළේය. හෙතෙම අධ්‍යාපනයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි උනන්දුවක් දැක් වූ නමුත් අධ්‍යාපනයේ ද ප්‍රවීණයෙක් බව මනාව පැහැදිලි කරමින් ගුවන් නියමුවෙක් ලෙස ගුවන් නියමු බලපත්‍ර විභාගය ද ඉහළින් ම සමත් විය.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස උස්මාන් නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ශූරතාවලිය නියෝ-ජනය කරන්නට වරම් ලද්දේය. එහි හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානිත වූ කවාජා, ඔස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගන්නට එරට බලධාරීහු කටයුතු කළහ. 2006 වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ද හෙතෙම ක්‍රීඩා කළේය. 2011 වසරේ අලු බඳුන ටෙස්ට් තරගයේ අවසන් තරගයේ දී ඔහුට ජගත් ටෙස්ට් පිටියට පිවිසෙන්නට අවස්ථාව උදා විය. එසේම එහි දී ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු මුස්ලිම් ජාතිකයා ලෙසද කවාජා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට අලුත් පිටුවක් එක් කළේය.
මේ වන විට උස්මාන් කවාජා ටෙස්ට් තරග 46ක දී ලකුණු 3142ක් එක්දින තරග 40ක දී ලකුණු 1554ක් සහ විස්සයි20 තරග 9ක දී ලකුණු 241ක් ලබා ගෙන තිබේ. කලක් සිය වර්ගය නිසා පසෙකට ඇද දැමූ සමාජයම අද ඔහු වෙනුවෙන් ඔල්වරසන් නඟයි. ඒ ඔහු නියෝජනය කරන්නේ වර්ගයක් නොව සමස්ත ඔස්ට්‍රේලියානු ජාතියම බව සැමට අවබෝධ වී ඇති නිසා ය. ක්‍රීඩාව යනු සියලු භේද පසෙකලා එක් අරමුණක් වෙනුවෙන් සියලු තැන් එක්කාසු කරන රන් දම්වැලක් බව කවාජාගේ කතාව තුළින් සැමට පසක් කර දී ඇත.
පසිඳු මිහිරාන් රැටියල