මෙරට ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ මම ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටියා | Page 2 | සිළුමිණ

මෙරට ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ මම ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටියා

 

‘පසුගිය දා ක්‍රීඩා පුවත්පතට මෙරට ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට පරිපාලන සේවාවක් කළ නිලධාරිනියක මුණගැසුණා ය. ඇය නමින් ජයනි පින්නවල ය. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත නාමයක් ලෙස සැලකෙන ප්‍රේමා පින්නවලයන්ගේ ප්‍රිය බිරින්දෑ වන ජයනි පින්නවල මහත්මිය විශිෂ්ට පරිපාලිකාවක් ද වන අතර, ඈ හා අප පැවැත්වූ සුහද සංවාදයෙන් තැබෙන සටහනකි මේ.’

‘මගේ කාලයේ තමයි මෙරට ක්‍රීඩාවේ ස්වර්ණ-

මය යුගය ඇති වුණේ. මට ඒ ගැන ආඩම්බරයි.’ ජයනි පින්නවල මහත්මිය කීවා ය. ක්‍රීඩා අමා-ත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් හා ඉතාලියේ හිටපු නියෝජ්‍ය තානාපති වශයෙන් ද ඈ කට-

යුතු කර තිබේ.

එදා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක ශුරතාව හිමි කර ගැනීම, සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් රිදී පදක්කම ගෙන ඒම. දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න ඇතුළු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු පදක්කම්, පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් ඇතුළු විවිධ ක්‍රීඩා ඉසව්-වලින් මෙරටට ජයග්‍රහණ රැගෙන ඒම ඇයට එලෙසින් පැවසීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබේ.

‘එදා නොයෙකුත් අභියෝග මැදින් නිදාගෙන සිටි දෙපාර්තමේන්තු අවදි කිරීමට හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වූ එස්.බී. දිසානායක මහතා දක්ෂ වුණා. ඒ සමගම මටත් අමාත්‍යාංශ නිලධාරීන් සමග නිසි කළමනාකරණයකින් පරිපාලන කටයුතු මෙහෙයවීමට හැකිවීම භාග්‍යක්.’ යැයි ඇය කීවා ය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සේවය කළත් තමාගේ පත්වීම වැඩ බලන ලේකම් බව සඳහන් කළ පින්නවල මහත්මිය තමා විශ්‍රාම ගියෙත් වැඩ බලන ලේකම් ධුරයෙන් බවත් ඇය කියා සිටියේ සිනහ මුවිනි.

‘ඒ කාලේ ක්‍රීඩා අමාත්‍යාංශ හරහා ජාත්‍යන්තර ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවාස, ඉඩම්, වාහන මෙන් ම කොළඹ අවට පාසල් වැනි බොහෝ වරප්‍රසාද ලබා දුන්නා. ඒ සඳහා මෙන් ම පරි-පාලනය සම්බන්ධයෙන් තමාට ස්වාධීන තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලබා දී තිබුණු බවද ඇය පෙන්වා දුන්නා ය.

‘එදා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වීම දැරුවත් මට තමයි ලේකම්ගේ රාජකාරිය කරන්න වුණේ. වෙලාවක් කලාවක් ඇත්තෙම නැහැ. එස්.බී ඇමැතිවරයා හිටි හැටියේ රැස්වීම් දානවා. ඉතිං අපිට නිදහසක් තිබුණෙම නැහැ. අපි අවශ්‍ය වැඩ කොටස නීත්‍යානුකූලව කළා.’ පින්නවල මහත්මිය කීවා ය.

ඇත්තෙන්ම මා ඒ වෘත්තිය කැමැත්තකින් කළෙත් මට ස්වාධීනව කටයුතු කිරීමේ බලය ලබා දී තිබුණු නිසයි. ඔලිම්පික් හා ආසියානු ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉඩකඩම් ලබා දීමේ දී ඒ ඒ අයගේ රුචි අරුචිකම් සොයා බලමින් වුවමනා එපාකම්වලට සවන් දෙමින් තම රාජකාරිය දේව කාරියක් ලෙස මා ඉටුකළා. කොහොම හරි ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අසාධාරණනයක් නොවන්න රජයෙන් ලබාදෙන සියලු පහසුකම් මා සෘජුව ඒ අයට ලබා දුන්නා. අභියෝගවලට මුහුණ දෙමින් රාජකාරිය ඉතා සුපිරිසිදු ව ඉටු කිරීමට මට හැකියාව ලැබුණා.’ ඇය කීවා ය.

මගේ මවුපියෝ විදුහල්පති සේවයේ සිටි අයයි. ඔවුන්ගේ ආභාසයත් පාසල වන කොළඹ විශාකා විද්‍යාලයේ පන්නරයත් ඉවහල් වූ බව ද ඈ පැවසුවාය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයට පෙර අභ්‍යන්තර වෙළෙඳ කොමසාරිස් ලෙස හා අමාත්‍යංශ ගණනාවක සේවය කර තිබෙනවා. අනතුරුව ලෝක බැංකු ව්‍යාපෘතියක මා සේවය කර තියෙන අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටිය දී ම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන කාන්තා ක්‍රීඩා ආසියානු කණ්ඩායම (AWG) යටතේ සේවය කළා. එහි පරිපාලන කටයුතු සියල්ල ජපානය මෙහෙයවනු ලැබූ අතර, එම සංවිධානයේ ආසියානු නියෝජිත ලෙස මා පත් කර තිබුණා. එම කණ්ඩායමේ රටවල් 31ක විදේශ උපදේශකයෝ 70 ගණනක් හිටියා. AWG මඟින් හැම රටක් සම්බන්ධයෙන් වසරකට සිදු කෙරෙන ප්‍රගති සමාලෝචන රැස්-වීමේ දී තම තමන්ගේ රටවල් තුළ පැවැතෙන අඩුපාඩු ඉදිරිපත් කර සාකච්ඡා කෙරෙන අතර, යේමන් සමුළුවේ දී මා අප රට සුනාමි තත්ත්වය බල පෑ රටක් ලෙස ගෙනහැර දැක්වූ දේශනය කාගේත් අවධානයට යොමුවුණා. එදා අප රටේ සිදුවූ වැදගත් ප්‍රවෘත්තියක් වූ අවුරුදු 8 ක දරුවෙකු වෙනුවෙන් මවුපියන් කිහිප දෙනකු ඉල්ලන අයි-

තිය සම්බන්ධව හැඟුම්බර පුවත මම ඉදිරිපත් කළා. එය අසා සිටි අමෙරිකාවෙන් පැමිණි නියෝජිත-වරිය මගෙන් ඒ සම්බන්ධව වැඩි දුර විස්තර විමසා

RIGHT TO PLAY වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා. ඒ අනුව එම වැඩසටහන මෙරට ආරම්භ කෙරුණු අතර ඒ හරහා කළ ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් දරුවාගේ නියම දෙමව්පියෝ සොයා දී ඒ දරුවා ඇතුළු සිය පවුලට ම එංගලන්තයට පවා යෑමේ භාග්‍ය උදාකර දුන්නා.

එසේම තායිලන්තය, බැංකොක්, මැලේසියා, කටාර්, යේමනය වැනි රටවල වාර්ෂිකව සම්-මේලන පවත්වා අදහස් හුවමාරු කර ගෙන දුප්පත් රටවලට ක්‍රීඩාව වෙනුවෙන් සහයෝගය ලබා දීමට මට හැකියාව ලැබුණා. උදාහරණයක් විදිහට එම වසරේ දී ඇෆ්ගනිස්තානයේ දරුවන්ගේ ක්‍රීඩාව නැංවීම සඳහා ක්‍රීඩා සපත්තු ලබා දීමට මැදිහත් වීමට මට හැකි වුණා. එම වැඩ සටහනේ දකුණු ආසියාව භාරව හිටියේ මමයි. ඒවගේ දකුණු ආසියාවේ සංවර්ධනය වෙන රටවල බොහෝ අඩුපාඩු වෙනුවෙන් ඉදිරිපත් වී මා ඒ රටවලට

විශාල සහයෝගයක් සලසා දුන්නා. ඒ සම්බන-ධයෙන් සිහිපත් කර මම අද විශාල ආශ්වාදයක් ලබනවා.‘ ඈ පැවසුවාය.

‘ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පසුව මා විදේශ සේවය ඉල්ලුම් කළා. ඒ මගේ දරුවෝ එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවීම නිසාත් මට අමතර ආදායමක් ලැබෙන නිසාත්. කොහොම හරි මට ඉතාලියේ නියෝජ්‍ය තානාපති ලෙස 1992 සිට 1995 දක්වා සේවය කරන්න ලැබුණා.

මම උපාධිය හැදෑරුයේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ යි. මට ස්වාමියා හමුවුණෙත් එම විශ්ව විද්‍යාලයෙන්ම තමයි. මගේ ස්වාමියා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතායි. එදා විශ්ව විද්‍යාලයේදී මා, සරත්චන්ද්‍ර සූරීන්ගේ සිංහබාහු නාට්‍යයේ ගීත ගායනා කළා. ස්වාමියා මනමේ චරිතය රඟපෑවා. මම විශ්ව විද්‍යාලයෙන් පිටවන අවුරුද්දෙම මට කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පත්වීමක් ලැබෙනවා. ඒ අතරම මා පරිපාලන සේවයට ඉල්ලුම් කර පරිපාලන ක්ෂේත්‍රයට ඇතුළත් වුණා. මගේ පෞද්ගලික ජීවිතය ගැන කියනවා නම් අපිට දියණිවරු දෙදෙනෙක් සිටිනවා. වැඩිමහල් දියණිය පර්වනී පින්නවල ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ මනෝ වෛද්‍යවරියක්. දෙවැනි දුව කසුනි පින්නවල ඇය නීතීඥවරියක්. මගේ දුවලා දෙන්නාම අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ විශාකා විද්‍යාලයෙන්මයි. මමයි මහත්තයයි දෙන්නම පරිපාලන සේවයේ හිටියට මම රාජ්‍ය පරිපාලනයේ. ඉතින් අපි අතර කිසිදු මත ගැටුමක් නැහැ. පවුලේ සමගිය එදත් අදත් තියෙනවා. මගේ රාජකාරි-වලට වගේම මහත්තයගේ රාජකාරි වෙනුවෙන් මා මේ වන විට රටවල් 80කට වඩා වැඩියෙන් ගිහින් තියෙනවා. අපි ජීවිතය තේරුම් අරගෙන සාම-

යෙන් සමගියෙන් අදටත් එකම වහලක් යට සැඳෑ සමය ගත කරනවා.

මම එදා මගේ පශ්චාත් උපාධිය ගන්න වසර දෙකකට පමණ ජපානයේ කෝබේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහි මා තනියෙන් සිටිය දී මගේ දූවරු දෙදෙනත් සමඟ මහත්තයා මාව බලන්න ජපානයට එනවා. මගෙත් එක්ක සිටි ජපන් කාන්තාවන් හරිම හොඳයි. මිනිසුන්ට ගරු කරනවා. එහෙදී මම ජපන් අයට කුඩා පන්ති දමාගෙන ඉංග්‍රීසි ඉගැන්නුවා.

මා පාසල් යන කාලයේ සිට කලාවට කැමැතියි. එදා විශාකා ගීත නාටකයේ සිට අපි අපේම නාට්‍ය පෙන්වා ඒ මුදල් පාසලේ ගොඩනැඟිලි අරමුදලට බැර කළා. පාසලේ සුන්දර ළමා කාලය සිහිපත් කරමින් අදටත් මගේ මිතුරියන් මට කතා කරනවා. ඉතාලියේ දී මා දුටුවේ කලාව ඒ රටේ ආභරණයක් කියලයි. ඒ තරම් ඒ මිනිසුන් කලාවට කැමතියි. මා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ස්වාභාවික සිතුවම් සම්ප්‍රදායටයි. එසේම සුරතල්ලු හා ජීවිතයේ සැඳෑව සිත්තමට නඟමින් වර්ණ සංකලනයන් හා සේයා යෙදීම මඟින් ස්වභාව ධර්මයේ ප්‍රබෝධය පෙන්වීමට මා ගොඩක් කැමතියි. කොහොම හරි මා ඉතාලියේ සිටිය දී විශේෂයෙන්ම රෝමයේ චිත්‍ර හා තෙල් සායම් කලාවට යොමුවුණා. ඉතාලි කැප්රි දූපතේ සමූහ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එය ඉතා සාර්ථක වුණා. එදා සිට අදටත් චිත්‍ර අඳිනවා. පොත් ලියනවා. මම හරි කැමැත්තකින් තමයි ඒ දෙක ම කරන්නේ. ඊට අමතරව නිවෙසේ මම මල් වගාව කරනවා. ඉතිං දැන් වගා කටයුතු තනියම කරන්න අපහසුයි සහයට කවුරුහරි සම්බන්ධ කර ගන්නවා. වත්තේ පිපෙන මල් මෙන්ම මෙහි පැණි බොන්න එන සමනල්ලු දැකලා ලබන්නේත් අසීමිත සතුටක්. එයින් මා විශාල මානසික තෘප්තියක් ලබනවා.

Comments