මාව කැපුවේ කවුද? පිටිය හැර ගියත් අර්බුද මවයි | සිළුමිණ

මාව කැපුවේ කවුද? පිටිය හැර ගියත් අර්බුද මවයි

දෙන්නං බැටේ කියමින් ස්වයං චරිතාපදානයක් නිකුත් කිරීමේ සූදානමින්

වරක් ඔහුට ක්‍රිකට් ක්‍රීඩකයකු ගර්හා කළේ වඳුරා කියාය. සැබැවින්ම තලප්පාවෙන් සැරසී රැවුලින් මුහුණ වසා සිටන මේ සික්කාරයා වල්ගය නොමැති වඳුරකු ලෙස මේ සුදු ජාතික ක්‍රීඩකයා දැක තිබිණි. ඉන්දියාවේ ප්‍රකටම වඳුරා දෙවියෙකි. ඒ හනුමාන්ය. හනුමාන් වරක් යුද්ධයකදී ලංක පුරය ගිනි ලෑවේ වල්ගයට ගිනි තබාගෙන ඇවිද යමිනි. එනයින් බලන කල සුදු ජාතික ක්‍රීඩකයකු ඔහු වඳුරකුට සමාන කළේ නම් හර්බජාන් වැඩිපුරම ඥාතිත්වයක් පෙන්වන්නේ හනුමාන් පරපුරට ය. පන්දුව අතට ගත් පසු පිතිකරුවන් වනසාලූ ඔහු දැන් ඉන්දීය ක්‍රිකට් ලෝකය ගිනි තබමින් සිටී. මේ ඔහුගේ ඒ ප්‍රයත්නයේ කතාවය.‘

 

අද්‍යතන ක්‍රිකට් ලොව බොහෝ කතාන්දර ඉන්දියාව ආශ්‍රය කරගෙන ගෙතෙන්නේය. 2022 වසර ආරම්භ කෙරුණේද ඉන්දියානු ක්‍රිකට් දෙස සමස්ත ලෝකයේම අවධානය යොමු කරවන අර්බුදයක් ඉස්මතු කරවමිනි. එම අර්බුදයේ කතා නායකයා, ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ගණයේ දඟ පන්දු යවන්නෙක් වන හර්බජාන් සිංය. ඔහු 2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේ අර්බුදයකට තුඩු දෙන චෝදනා පත්‍රිකාවක් ලෝකයා හමුවේ තබමිනි. එම චෝදනා පත්‍රයේ කරුණු එකින් එක මේ වන විට දිග හැරෙමින් පවතී.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ස්වර්ණමය යුගයක ඉන්දීය පිලේ ජයග්‍රහණයන් හි පතාක යෝධයෙක් ලෙස හර්බජාන් කටයුතු කළ බව රහසක් නොවේ. නමුත් වසර දහයක් පුරා ඉන්දීය ක්‍රිකට් හි ඔහුට හිමි තැන නොලැබී ගිය අතර ඊට බලපෑ හේතුව ලොවම නොදන්නා අබිරහසකි. නමුත් ඒ සෑම බිඳවැටීමක් හමුවේම නොසැලී කටයුතු කළ හර්බජාන් පසුගිය වසර 5 තුළදී ත් අයි.පී.එල්. ක්‍රිකට් තරගාලිය හරහා සිය දස්කම් මනාව ප්‍රදර් ශනය කළේ ය. අයි.පී.එල්. හි වැඩිම කඩුලුලාභීන් අතර තුන්වැනි තැන පසුවන්නේ ද ඔහුයි. නමුත් පසුගියදා හර්බජාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේ, වසර ගණනාවක් පුරා තමාට ජාතික කණ්ඩායමෙහි ස්ථානයක් අහිමි වූ කණගාටුව පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමිනි.

එහි දී ඔහු 2008 වසරේ සිඩ්නි හි දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින තරගයක දී සිදු වූ සිදුවීමක් සිහිපත් කළේය. Monkey gate නම් එම සිද්ධිය එකල මුළු ලෝකයේම ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ සිද්ධියකි. එම සිදුවීම් කතාවේ නායකයා වූයේද හර් බජාන්ය. එම තරගය අතරතුර හර්බජාන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් සමඟ ගැටුමක් ඇති කරගත්තේ ය. අයි.සී.සී.යේ නඩු විභාගයක් දක්වා දුරදිග ගිය එම සිදුවීම හමුවේ සාක්ෂි දෙමින් එවකට ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සහ මාක් බෙන්සන් ප්‍රකාශ කර තිබුණේ හර්බජාන් විසින් සයිමන්ස්ට වඳුරා යැයි කියමින් බැන වැදුණු බවයි.

“එම සිදුවීමෙන් මගේ වෘත්තිය ක්‍රිකට් දිවිය පහතටම ඇද වැටුණා.“ යනුවෙන් හර්බජාන් වරෙක පවසා තිබුණි. ඔහු ජාත්‍යන්තර පිටියට සමුදෙන බව ප්‍රකාශ කරද්දිත් එම සිද්ධි‍ය ගැන අදහස් දක්වා සිටියේය.

“ඇත්තටම එය අනවශ්‍ය දෙයක්. සිඩ්නි තරගයේ සිදු වූයේ සිදු නොවිය යුතු දෙයක්. මේකට හේතු වූ කාරණාවද සිදු නොවිය යුතු දෙයක්. මම එම සිදුවීමේ සත්‍ය කතාව සත්‍ය ලෙසම ලෝකයට කියලා නැහැ. නමුත් එම කාලයෙහි මා අත් විඳි දේ සහ මා මානසිකව වැටුණු ආකාරය ගැන කිසිවකු තැකුවේ නැහැ. මේ කතාවේ ඇත්ත ලෝකය දැන ගත යුතුයි. මම ඒ ගැන ඉදිරියේදී මගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථය තුළින් ‍හෙළි කරනවා.”

හර්බජාන් සිය හදවත තුළ කැකෑරුණු ගින්න පිට කළේ ඒ අයුරිනි. Monkeygate සිද්ධියේදී ලෝකය ඉදිරියේ ඔහු වැරදිකරුවෙකු වුවත් සිදුවීමේ සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව ඔහු පවසයි.

පසුගිය ජනවාරියේ හින්දුස්ථාන් ටයිම්ස් සමඟ සම්මුඛ වූ හර්බජාන් සිය ක්‍රිකට් දිවියේ අවසන් වසර කිහිපයේ දී තමන් මුහුණ දුන් නීරස අද්දැකීම් පිළිබඳව මෙසේ සැකෙවින් විස්තර කර තිබුණේ ය.

“ මම මගේ 400 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගන්නා විට මට වයස අවුරුදු 31 යි. 31 හැවිරිදි අයෙකුට කඩුලු 400 ක් ලබා ගත හැකි නම් ඊළඟ වසර අට නවය තුළ මට අවම වශයෙන් තවත් කඩුලු 100 ක් වත් ලබා ගන්නට පුළුවන්ව තිබුණා. නමුත් මට තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණේ නැහැ. මාව තෝරා ගත්තෙත් නැහැ. කඩුලු 400 ක් තියෙන කෙනෙක් ඒ විදියට ඉවත දමන්නේ කොහොමද කියන එක තවමත් සිතා ගන්නට බැරි ලොවට හෙළි නොවූ රහසක්. මට තාමත් පුදුමයි.. ඇත්තටම මොකද වුණේ? එවන්නක් සිදු කළේ කවුද? මම කණ්ඩායමේ රැඳී සිටීම ප්‍රශ්නයක් වු‍ණේ කාට ද ?” යනුවෙන් ඔහු ප්‍රශ්නකර තිබුණේය.

“මම එකල කණ්ඩායම් නායක දෝනිගෙන් මාව දිගින් දිගටම කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතුව විමසන්න උත්සාහ කළා. නමුත් මට වැටහුණේ ඔහු එයට පිළිතුරක් ලබා දීමට මැළි වන බවයි. ඒ නිසා මම ඒ ගැන දිගින් දිගටම ඔහු‍ගෙන් විමසන්න ගියේ නැහැ.”

හර්බජාන් සිං මෙතෙක් පළ කළ අදහස් තුළින් ඔහුට සිදු වූ අසාධාරණයන්ට නියම වැරැදිකරු කවුරුද යන්න නිශ්චය කර ගැනීම අපහසු බව පෙනේ. ඒ පිළිබඳ ව පැහැදිලි තොරතුරක් අනාවරණය කර ගැනීමට නම් ඔහු පෙර කියූ ලෙස ඔහු විසින් ලියූ ස්වයං චරිතාපදනය එළිදකිනු තුරු බලා සිටිය යුතු ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments