ගාමිණි-මාලිනී වගේ බොනිපස් - වසන්තා යුගයකුත් තිබුණා | Page 2 | සිළුමිණ

ගාමිණි-මාලිනී වගේ බොනිපස් - වසන්තා යුගයකුත් තිබුණා

‘වසන්තාගේ වසන්තේ හරියට චිත්‍රපටයක නමක් වැනි ය. එහෙත් ඒ කලකට පෙර ‘ලේක්හවුස් පුවත්පතක‘ පළ වූ අපූරු හෙඩිමකි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුසිය විසින් සංවිධානය කළ ලංකා සවාරිය අඛණ්ඩව සිව්වතාවක් ජය ගත් එකම පාපැදි ශූරිය වන ඇගේ ජයග්‍රහණය අගයනු වස් මෙවැනි ශීර්ෂයක් යෙදීමට එදා ලේක්හවුස් කර්තෘ මණ්ඩලය කටයුතු කර තිබුණේ ය. දශක කීපයකට පෙර මුළු රටක ගෞරවය හිමිකර ගත් පාපැදි ශූරියක වූ වසන්තා කහපොළආරච්චි මෙදා පාපැදි විනිසුරුවරියකි. පාපැදිය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබස් වෙන සමයක මෙරට පහළ වූ විශිෂ්ටතම පාපැදි ක්‍රීඩිකාව සමඟ ක්‍රීඩා සම්මුඛ වූයේ මෙසේ ය.

මොකද මේ දවස්වල කරන්නේ?

නිකං ගෙදරට වෙලා ඉන්නවා. මේ කාලයේ ඒ තරම් තරග පැවැත්වෙන්නෙත් නෑනෙ. ඉතිං මොනවා කරන්න ද අසීරුවෙන් හරි ගෙදරට වෙලා ඉන්නවා හැර.

ඇයි ගෙදර ඉන්න අමාරු ද?

ගෙදර ඉන්න අමාරුයි කියන්නේ වැඩක් නොකර ඉන්න බෑ. අපි ඉතිං දශක පහකට ආසන්න කාලයක් පාපැදිය එක්කනෙ ජීවත් වුණේ. ඉතිං කොහොම ද නිකං ඉන්නේ?

ඔබ මේ කාලේ පාපැදි පදින්නෙම නැද්ද?

ඉඳල හිටල පදිනවා. එහෙම නොපැද කොහොම ද? හැබැයි කොවිඩ් කාලෙ නම් හුඟාක් වෙලාවට පාපැදිය අත හැරිලා ගියා.

දැන් පාපැදි පදින්න බය හිතෙනවා ඇති නෙද?

ටිකක් විතර බයයි. මොකද අපේ රටේ මාර්ග පද්ධතියේ අනික් රියැදුරන් වාහන පදවන ආකාරය නිසා තමයි එහෙම හිතෙන්නේ. නමුත් පාපැදි ධාවකයන්ට වෙනම මංතීරුවක් ලබා දුන්නොත් බය වෙන්න කාරණයක් නෑ.

වෙනම මංතීරුවක් බෙදා ගන්න සටන් කරන්න කැමැත්තක් නැද්ද?

අපි ඒ වෙනුවෙන් ඉදිරියෙන්ම ඉන්නවා. අපේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු ඒ වෙනුවෙන් පෙරට ඇදෙමින් ඉන්නේ. මේ බෝනොවන රෝගාබාධයි, ඊයම්, කාබන් වගේ ඉන්ධන දවලා පරිසරයට, වායුගෝලයට සිද්ධ වෙන හානියයි බලපුවහම අපි පරිසර හිත-කාමී පාපැදිය ප්‍රවාහන මාධ්‍ය බවට පත්කර ගන්න ඉදිරිපත් වෙන්න ඕනෑ.

කොහොම ද ඔබ ඒක කරන්න යෝජනා කරන්නේ?

දැන් කිලෝ මීටර් පහක් දහයක් ඇතුළත සේවා ස්ථානයට යන අයට පාපැදිය හුරු කරවන්න පුළුවන්නෙ. මේකට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. එතකොට ඊට අවශ්‍ය යටිතල පහසුකම වශයෙන් මාර්ග පද්ධතිය ඇතුළේ පාපැදි මංතීරුව ඇති කරනවා. මේවා කරන්න යම් කාලයක් අවශ්‍යයි. නමුත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළ ඉදිරියට ගේන්න ඕනෑ.

දැන් ඔබ පාපැදි පැදපු කාලයේ මෙරට කාන්තා පාපැදි ක්‍රීඩාව තිබුණ තැනයි අද තියෙන තැනයි ගැන සංසන්දනාත්මකව කතා කරන්න කැමතියි.

අපේ කාලයේ පාපැදි ක්‍රීඩාව තුළ ජයග්‍රහණය වෙනුවෙන් සටන් වැදීමක් තිබුණා. ඒත් දැන් කරන්නේ ඔක්කොම එක පොකුරක් වගේ ගිහින් අන්තිම මොහොතේ ස්ප්‍රින්ට් කරලා දිනා ගන්න උත්සාහ කරන එකයි. කිසිකෙනෙක් සූදානම් නෑ අධිෂ්ඨානයෙන්, අභියෝ-ගාත්මකව ඉදිරියට යන්න. මේ විධිහට පාපැදි පැදලා අපිට එක දෙක ස්ථාන බේරා ගන්න පුළුවන්. ඒත් කාලය වැඩිදියුණු කර ගෙන ලෝකයේ ඉදිරියට යන්න බෑ.

ඇයි දැන් එහෙම වෙන්නේ?

දැන් ඉන්න ළමයින්ගේ හිත දුර්වලයි. පුහුණුකරුවනුත් ඔවුන්ව තරගවැදිලා තනියම දිනන්න පුරුදු කරන්නෙ නෑ. කරන්නේ අර පොකුරක් වශයෙන් ගිහිල්ලා අන්තිම මොහොතේ අනිකාට වඩා ශක්තිය ඉතිරි කර ගෙන ඉදිරියට ඇවිත් ජය කනුව පසු කරලා යන එක හුරු කරන එකයි. ඒකෙන් රට දිනවීම කෙසේ වෙතත් තමන්ගේ පැවැත්ම වසරින් වසර දිගු කර ගන්න එක තමයි සිද්ධ වෙන්නේ.

දැන් කාලේ ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් ඒ කාලේ ඔබලාට ලැබුණේ නෑ නේද?

අප්පොයි ඔව්. ඒ කාලේ මේ තරම් පහසුකම් අපිට ලැබුණේ නෑ තමයි.

ඉතිං දැන් ඒ ගැන පොඩි පසුතැවිල්ලක් එහෙමත් ඇති වගේ?

අනේ නෑ. අපිට ලැබුණේ නෑ කියලා අලුත් ළමයින්ට දේවල් ලැබෙන එක ගැන අපේ කිසිම කහටක් නෑ. නමුත් ඒ දරුවන්ට ලැබෙන පහසුකම්වලට ඔවුන්ගෙන් ප්‍රතිඵල ඕනෑ. ඒක නො-ලැබෙන එක ගැන නම් කනගාටුයි. සමහර වෙලාවට තරහකුත් එනවා. ඒ වගේ වෙලාවට මම තරගවල දී ළමයින්ට දොසුත් කියලා තියෙනවා.

දුප්පතාගේ ක්‍රීඩාව පාපැදිය කියලා කියනවා නෙ. ඉතිං අහිංසක ළමයින්ට මේ වගේ හරි දෙයක් ලැබෙන නිසා ඔවුන් ආබාධ නැතිව පවතින්න උත්සාහ කරනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

කවුද කියන්නේ මේක දුප්පතාගේ ක්‍රීඩාව කියලා. දැන් හොඳ පාපැදියක් හදන්න ලොකු ගණනක් වියදම් වෙනවා. සාමාන්‍ය ගමේ කොල්ලෙකුට පාපැදියක් හදා ගෙන රේස් පදින්න බෑ. ඉස්සර අපිටත් හොඳ පාපැදියක් හදා ගන්න රුපියල් තිස්දාහක්, හත-ළිස් දාහක් වැය වුණා. ඒ ඒ කාලේ හැටියට. ඒ යුගයේ සුමනවීර පාවිච්චි කළේ ලක්ෂය, එකහමාරේ පාපැදි. මේ හින්දා පාපැදිය කියන්නේ දුප්පතාගේ ක්‍රීඩාවක් නෙවෙයි. ඒකට ගොඩාක් විය පැහැදම් වෙනවා. දැන් ආයතනගතව ක්‍රීඩාව සිදුකරන නිසා ක්‍රීඩකයන්ට පාපැදි, පෝෂණය ඇතුළු බොහෝ දේ හිමි වෙනවා. ඒ නිසා පාපැදි ක්‍රීඩාව කරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තිබෙනවා

ඒ කාලේ ආයතනගත රැකියා ලැබුණේ නැද්ද?

ලැබුණා. සුමනවීර තෙල් සංස්ථාවට ගියා. මමත් පෝසිලේන් වෙනුවෙන් ක්‍රීඩා කළා. නමුත් අදට සාපේක්ෂව ඒ කාලේ එතරම් විශාල ප්‍රතිලාභ ලැබුණේ නෑ. අපිට තරගයකට යන්න නිවාඩු දුන්නා. ලොකු තරගයකට යනවා නම් රථයක් දුන්නා. පුහුණුව සඳහා විවේකයක් දුන්නා. ඒත් අද වෘත්තීය මට්ටමෙන් ම පාපැදි ක්‍රීඩාව කරන්න පහසුකම් සපයා දී තිබෙනවා නෙ. ඉතිං ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ කියලයි මම කියන්නෙ.

දැන් ඔබ ලංකාවේ නම ගිය පාපැදි ශූරිය. ඔය ගෞරවය ලබන්න කොපමණ තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබලා තිබෙනව ද?

මම තරග 300-400ක් විතර පැදලා තිබෙනවා. ඉන් 150 කට වැඩිය පළමු-වැනියා වශයෙන් ජය ගත්තා. දෙක, තුන ස්ථාන හිමිකර ගත්ත තරග සෙසු ඒවා. ඊට වඩා පහළට මම ගිහින් නෑ.

ලංකා සවාරිය පිට පිට සිව් වතාවක් ඔබ ජය ගත්තා නේද?

ඔව්. ලංකා සවාරිය අඛණ්ඩව සිව්-වරක් ජය ගැනීම මගේ පාපැදි ජීවිතයේ අග්‍රඵලය.

දැන් සිංහල සිනමාවේ ගාමිණී- මාලිනී, විජය- මාලිනී වගේ ඔබගේ නමත් යුගල වුණු ක්‍රීඩකයන් හිටිය කාලයක් තිබුණා නේද?

ඔව්. ඔව්. ඒ කාලේ පුවත්පත් බොනිපස් - වසන්තා, සුමනවීර- වසන්තා කියන පාපැදි යුග ගැන කතාකළා.

කවුද ඔබේ සිත් ගත් පාපැදි තරු වෙන්නේ?

ඇන්තනි සීමන්ස්, බොනිපස් පෙරේරා, ඒ.එම්.සුමනවීර, මොරිස් කුමාර්වේල් වැනි අය පාපැදි වීරයෝ වශයෙන් මගේ ගෞරවය දිනා ගෙන තිබෙනවා.

ඒ කාලේ කොහොම ද පාපැදි තාක්ෂණය ගැන තොරතුරු දැන ගත්තේ?

අපිට අපේ පුහුණුකරුවන්ගෙන් ලැබුණු තොරතුරු අනුව තමයි. දැන් වගේ ඒ කාලේ අන්තර්ජාලයක් තිබුණේ නෑනෙ.

කවුද ඔබේ පුහුණුකරුවෝ?

මගේ පුහුණුකරුවා වුණේ මගේ සැමියා. ඔහුගේ උත්සාහය නිසා තමයි මගේ අධිෂ්ඨානය හා දක්ෂතාවය වැඩිදියුණු කර ගෙන මෙතරම් කාලයක් පාපැදි ක්‍රීඩාව තුළ රැඳෙන්න පුළුවන් වුණේ.

ඔබ පාපැදි ක්‍රීඩාවට ඇවිත් කොපමණ කාලයක් ද දැන් ?

1973 තමයි මම මුලින් ම පාපැදි ක්‍රීඩාවට ආවේ. මේ වෙනකොට අවුරුදු 49ක් මම පාපැදි ක්‍රීඩාව සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.

මොනව ද දැන් ඔබ පාපැදි ක්‍රීඩාව තුළ කරන්නේ?

ඇත්තටම මම පරිපාලනය පැත්තට හා විනිසුරුවකු වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඒත් මම හිතනවා ඒක මම ගත්තු වැරදි තීන්දුවක් කියලා. මොකද පාපැදි ක්‍රීඩා පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරන්න අවශ්‍ය දැනුම වැඩිදියුණු කර ගත්තා නම් මට තවදුරටත් මේ ක්‍රීඩාවට ඇතුළත් වෙන්න තිබුණා. ඒත් මම පරිපාලනය පැත්තට සම්බන්ධ වෙන්න තීරණය කිරීම නිසා පුහුණුකාරිණියක් වශයෙන් දැනුම ලබාගැනීමේ අවස්ථාව මගෙන් ගිලිහුණා. ඒ නිසා මට නිවැරදිව පාපැදියට සේවය කිරීමේ අපහසුතා ඇති වී තිබෙනවා.

ඔබ ක්‍රීඩා කරන යුගයේ කොහොමද ඔබේ පුහුණු සැලසුම් සකස් වෙලා තිබුණේ?

මම ඒ කාලේ දෛනිකව කිලෝ මීටර් 50-60ක් පදිනවා. සතියකට හෝ දෙකකට වරක් කිලෝ මීටර් 100,150 ක් හෝ 200 ක් පදින අවස්ථාත් තිබෙනවා. අපි ඔය ගිනිගත්හේන වගේ කඳු තිබෙන ප්‍රදේශ දක්වා පුහුණු කටයුතුවලට පාපැදියෙන් යනවා. ඒ වගේ ම සෑම දවසකම අනිවාර්යයෙන් රෑ 9 ට නිදා ගන්නවා. උදේ 4 වෙද්දී අවදි වෙනවා. බර ඉසිලීමේ ව්‍යායාම සිදුකරනවා. එමගින් දෙපා, කලවා, දෑත් ශක්තිමත් කර ගැනීමටත් ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කර ගන්නත් අපි ක්‍රියා කළා.

විදේශීය තරගවලට ක්‍රීඩා කරලා නැද්ද?

නෑ. ඒ කාලේ විදේශීය කාන්තා පාපැදි තරග අපට ලැබුණේ නෑ. නමුත් විදේශයන්ගෙන් ආපු කණ්ඩායම් එක්ක තරග කළා. වරක් ඉන්දියානු කණ්ඩායමක් හා තරග කරලා මම රෝද භාගයෙනුයි දෙවැනියා වුණේ. ඒ පුහුණුකරුවා කිව්වා මාව හොඳට පුහුණු කළහොත් නිසැකවම ආසියානු පදක්කමක් දිනා ගන්න හැකි බව. තවත් ලංකා සවාරියක ආරම්භයේ සිට අවසානය දක්වාම මම ඉදිරියෙන් ඉන්නවා දැකපු එංගලන්ත ජාතික පාපැදිකරුවෙක් මට මාස හයක පුහුණුවක් වෙනුවෙන් එරටට යවන්න කැමැත්ත දැක්වූවා. නමුත් එවකට මෙරට පාපැදි සම්මේලනය ඒ වගකීම ගත්තේ නෑ. ඒ නිසා එම අවස්ථාවත් ගිලිහී ගියා.

ඔබ මෙරට පාපැදියේ වීරවරිය වුණාට දරුවෝ කවුරුවත් පාපැදිය වෙනුවෙන් තිළිණ කළේ නෑ නේද?

මට දරුවෝ දෙන්නයි. දෙන්නම පුත්තු. ඔවුන්ගෙන් වැඩමලා නම් පාපැදි ක්‍රීඩාවට නැඹුරු වුණේ නෑ. ඔහු පිහිනුම් හා ක්‍රිකට්වලට කැමති වුණේ. බාල පුතා මවුන්ටන් පාපැදි තරග වෙනුවෙන් තරග කළා. නමුත් අන්තිමට ඔහු පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. ඒ නිසා රගර් ක්‍රීඩාවෙන් තමයි නතර වුණේ. මම කිසිම වෙලාවක ඔවුන්ට බලපෑම් කළේ නෑ. ක්‍රීඩාව කියන්නේ එහෙම බලපෑම් කරලා යවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඔවුන් තමයි තීරණය කළ යුත්තේ.

අවසන් වශයෙන් යළි ඔබට ඔබේ ජීවිතය දෙස හැරී බලද්දී ඇති වෙන්නේ කවරාකාරයේ හැඟීමක්ද?

මට සමහර වෙලාවට ලොකු දුකක්, කළකිරීමක් ඇති වෙනවා. ඒ තමයි මේ ක්‍රීඩාව යා යුතු තැනට නොයාම සම්බන්ධව. ඒ වගේ ම මගේ පාපැදි ආදරයට අනුව සුදුසු ම රස්සාව පාපැදි පුහුණුකරුවකු වෙන්නයි. නමුත් මම ඒ දේ නොකිරීම ගැන කනගාටුයි. ඒ වගේ ම අතීතයේ ඇතැම් මිනිස්සු පාපැදිය කියන්නේ තරුණියන් නොකළ යුතු ක්‍රීඩාවක් යැයි සිතූ කාලයකුත් තිබුණා. විශේෂයෙන් පාපැදි පැද්දාම කන්‍යාභාවය නැති වෙනවා වැනි මිත්‍යා මතවාද සමාජගතව තිබුණා. ඒක හරිම ම්ලේච්චයි. අපේ කාලයට එන විට පාපැදියට හොඳ පිළිගැනීමක් ආවා. අපෙන් පස්සේ ඒක නැතිවී ගියත් යළි තරුණියන් පාපැදි ක්‍රීඩාවේ නියැළෙන එක ගැන සතුටුයි.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments