
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ මුල් තරග තුනම ජය ගත් ඔස්ට්‍රේලියාව එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය. එහි පළමු හා දෙවැනි තරගයන් හි දී යම් සටන්කාමීත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිල තෙවැනි තරගය බන්දේසිය තබා ඔස්ට්‍රේලියානුවන්ට පිරිනැමූයේ තරගාවලියේ ජය ද ඔවුන් සතු කරමිනි. මේ ඒ තරගාවලිය සම්බන්ධව ය.‘
“ඔස්ට්‍රේලියාවේ පක්ෂපාති විනිශ්චය නොතිබෙන්නට අපට මෙම තරගාවලිය ජය ගන්නට තිබුණා,” මෙසේ පැවසුවේ ඉන්දීය හිටපු ටෙස්ට් නායකයකු වන කපිල් දේව් විසිනි. ඒ 1985-86 ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ජය පරාජයෙන් තොරව නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ය.
නමුත් එම අවස්ථාවේ ඔහුගේ එම ප්‍රකාශය එතරම් අවධානයට යොමු නොවුයේ ය. ඒ එවකට ලොව සිටි වඩාත් පක්ෂග්‍රාහී විනිසුරුවන් සිටියේ ඉන්දියාවේ හා පාකිස්තානයේ බවත් එංගලන්ත හා ඔස්ට්‍රේලියාව යන රටවල විනිශ්චයකරුවන් ලොව හොඳම විනිශ්චයකරුවන් වන බවටත් මතයක් ගොඩ නැඟී තිබීම හේතුවෙනි. එම තරගාවලියට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සමග පැවති තරගාවලිය පරාජය වීමෙන් පසු ද ඉන්දීය නායකයා විනිසුරුවන් සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් කර තිබීම ද ඔහුගේ ප්‍රකාශය ගණනකට නොගැනීමට ඉවහල් විය. කෙසේ නමුත් පසුකලෙක ශ්‍රී ලංකාවට ද ඔස්ට්‍රේලියාවේ දී එවන් අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිණි.
මෙවර සංචාරයේ තරගාවලියේ දී විශේෂයෙන් දෙවැනි විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට දුර්වල නැතහොත් පක්ෂපාති විනිශ්චය හරස් වූ බව දැක ගැනීමට ලැබිණි.අවසන් පන්දු වාරයේ පැහැදිලි වයිඩ් පන්දුවක් විනිශ්චයකාරවරයා විසින් ශ්‍රී ලංකාවට ලබා නොදීම මත තීරණාත්මක ජයග්‍රාහි ලකුණ අහිමි වීමෙන් සිදු වූයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වී සුපිරි පන්දු වාරය කරා එය රැගෙන යාමට සිදුවීම ය.
“මෙය මතභේදාත්මකයි, එය වයිඩ් පන්දුවක් ලෙස නම් කළා නම් ශ්‍රී ලංකාව මේ තරගය ජය ගන්නවා,” මෙසේ පැවසුවේ එදා මෙදා තුර ඔස්ට්‍රේලියාවේ බිහි වූ සුපිරිතම දඟ පන්දු යවන්නා වන වන ෂේන් වෝන් ය. මෙහිදී තවත් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වූ කෙරී ඕ කිෆ් ද ඔහුව අනුමත කළේ “එය වයිඩ් පන්දුවක්” යැයි පවසමිනි.
කෙසේ නමුත් තුන්වැනි තරගය අවසන් වන-විට තරගාවලියේ ජය 3-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව සතු වූයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීය. මුල් තරග දෙකේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු පසුපස යාමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය අසලට එන්නට සමත් වූ නමුත් තෙවැනි තරගය මුලින් පහරදී සටනකින් තොරව පරාජය විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුල් තරග දෙකේ ඉතාමත් හොඳින් පන්දු යැව්වේ ප්‍රතිවාදී පිතිකරුවන් හට රිසිසේ ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ලබා නොදෙමිනි.
මුල් තරගයේ පන්දු වාර 11.3 ක් අවසන් වන විට 89/02 ක් ලෙස දැක ගත හැකි වූ ඔස්ට්‍රේලියා ඉනිම ලකුණු 149/09 කට සිමා විණි.
බෙන් මැක්ඩර්මොට් බලාපොරොත්තු වූ ලෙස ලකුණු අතරට පැමිණියේ ලකුණු 53 ක් ලබමිනි. පන්දු යැවීමේ දී වනිඳු හසරංග 38/03
ලෙස කඩුලු දවාලු අතර බිනුර ප්‍රනාන්දු ද දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ 12/02 ලෙසය.
ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ද මෙහිදී කැපී පෙනුණු නමුත් ලකුණු පසුපස
හඹා යාමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ගේ නිවැරදි එල්ලය මෙන්ම වේගයෙන් ඉහළට ඉපිලී එන පන්දු හමුවේ අසාර්ථක වනු දැක ගැනීමට ලැබිණි. එමෙන්ම ඔවුන්ගේ පන්දු රකින්නන් ඉක්මන් ලකුණු ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවනට හරස් වූයේ
පිටිය හොඳින් ආවරණය කරමිනි. පන්දු යවන්-නන් ද තම නායකයාගේ පිටිය සකස් කිරීමට අනුව මැනවින් පන්දු යැවූ බව කිව යුතු ය. මේ අනුව පිටියේ රඳවා ඇති පන්දු රකින්නන්ට ඉහළින් පහර එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවනට සිදු විය. ධනුෂ්ක ගුණතිලක,චරිත් අසලංක,දසුන් ශානක,අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට එන්නට අපොහොසත් වීමද ශ්‍රී ලංකා පරාජයට බලපෑවේය.
පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරු ලෙස ලකුණු 36ක් ලබා ගත් අතර දිනෙෂ් චන්දිමාල් නොදැවී ලකුණු 25 ක් ලැබිය. ජෝෂ් හැෂල්වුඩ් 12/04,ඇඩම් ෂම්පා 18/03 ලෙස පිතිකරුවන් සිරකර තබා ගැනීම ද ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුවකි.
දෙවැනි තරගයේ දී ඔස්ට්‍රේලියාව ලබා ගත් 164/06 ලකුණු සංඛ්‍යාව හඹා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම ද 164/08 ලෙස විශිෂ්ට ලෙස ලකුණු රැස් කළ අතර අවසන් පන්දු වාරයේ කලින් සඳහන් කළ වයිඩ් පන්දුව විනිසුරුවරයා නම් කර තිබුණේ නම් ශ්‍රී ලංකාවට ජය අත්වීමට ඉඩ තිබිණි. පැතුම් නිශ්ශංක මෙවර ද ලකුණු 72 ක් රැස්කරමින් ලකුණු අතරට පැමිණුනේ ය.
ඔහුට අමතරව දසුන් ශානක ලකුණු 34 ක්
ලබා ගත්තේ පන්දු 19 කිනි. කෙසේ නමුත් අවසානයේ දෙපිලේ ලකුණු සමාන වීම මත
සුපිරි පන්දු වාරයේ දී ඔස්ට්‍රේලියාවට ජය අත්විය. සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු පහක් පමණක් වූ අතර එය කිසිසේත් ප්‍රමාණවත් එකක් නොවේ. එමෙන්ම එම පන්දුවාරයේ පන්දුවට පහර දීම සඳහා ආරම්භක පිතිකරුවන් වශයෙන් දසුන් ශානක හා දිනේෂ් චන්දිමාල් ඉදිරිපත් කිරීම යෝග්‍ය තීරණයක් ද යන්න සොයා බැලිය යුතු ය.
තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූයේ සටනකින් තොරව ය. ඔවුහු කඩුලු හයක් දැවී ලකුණු 121 ක් රැස් කළහ. දිනේෂ් චන්දිමාල් ලකුණු 25 ක් ද, දසුන් ශානක ලකුණු 39 ක් ද රැස් කළ හ. මහේෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියා ඉනිමේ මුල්ම පන්දුව යවමින් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාලීය. ඔස්ට්‍රේලියා පිතිකරුවන් ඔහුට මුහුණ දුන්නේ යම් චකිතයකින් යුතුවය. ඔහු තම පන්දු වාර හතර තුළ (24/03) මැනවින් පන්දු යැවීය. කලින් තරග දෙකේදී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ඉහළ තත්ත්වයක තිබූ නමුත් මෙම තරගයේ දී උඩ පන්දු කිහිපයක් ගිලිහි යාම මත ඕස්ට්‍රේලියානුවන් පීඩනයක් එල්ල කිරීමේ අවස්තාවක් තිබුණේ නම් එයද ගිලිහි යාමකි.
“ඉතිරි තරග ජයගැනීම සඳහා චරිත් අසලංක ඉක්මනින් ඔස්ට්‍රේලියානු තණතීරුවලට හැඩ ගැසීම අවශ්‍යයි.” මේ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබු අයුරුය. නමුත්
ඔහු තෙවැනි තරගයේ දී ද අසාර්ථක විය. ධනුෂ්ක ගුණතිලක ද තරග තුනේදීම අසාර්ථක විණි. තෙවැනි තරගයේ දී කලින් තරග දෙකේ දී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබූ නමුත් ඔහුට ද ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.
අනිල් වීරසිංහ