විශ්ව භාෂාවෙන් ගැයූ ඇගේ විශ්වීය ආශාව ක්‍රිකට් | Page 2 | සිළුමිණ

විශ්ව භාෂාවෙන් ගැයූ ඇගේ විශ්වීය ආශාව ක්‍රිකට්

 

‘සංගීතය විශ්ව භාෂාවකි. ඉන්දියාව ද විවිධ ජාතීන්, නේක ආගම්, අපූරු ජන මිශ්‍රණයන්, ඇදැහීම්, විශ්වාසයන්ගෙන් පිරුණු විශ්වීය සමාජයකි. දූවිල්ලෙන් පිරුණු යළි සැතපුම් දෙතුන් සියයක් ගිය පසු හිමෙන් උදුලන, වන ගහනයන්ගෙන්, ගංගා නදී ආදි සොබාවික විචිත්‍රතාවයන්ගෙන් සපිරුණු ඉන්දියාව විශ්වයක් නම් එරට තුළ උන්මාදයක් බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව ද විශ්වීය ක්‍රීඩාවකි. ඉන්දියාවේ විශ්වීය ක්‍රීඩාව ලෙස සැලකිය හැකි ක්‍රිකට් ක්‍රීඩාව හා භාරත ලෝකයේ අගග්‍රණ්‍ය ගායිකාව වන ලතා මංගේෂ්කාර් අතර සම්බන්ධයක් ඇතැයි පවසන්නේ නම් එය අපූරු ප්‍රවෘත්තියකි. පසුගිය දා සිය දිවිසැරිය නිම කළ ලතා මංගේෂ්කාර්ගේ ක්‍රිකට් හා පැවැති සබැඳියාව ඇසුරෙන් මෙම සටහන තැබෙනුයේ ඇයට ‘ක්‍රීඩා‘ ප්‍රේමීන්ගේ ආදරය පළ කිරීමක් වශයෙනි.

ඉන්දියානු සිනමා සංගීතයේ අද්විතීය සලකුණක් ලෙස සැලකෙන ලතා මංගේෂ්කාර් සිය ජීවන ගීතය පසුගිය දා නිමාවට පත් කළේ ඉන්දීය ජනයා මෙන් ම භේදයක් නැතිව ඇයට ආදරය කරන සියලු ලෝ වැසි සංගීත ලෝලී හදවත් කම්පාවට පත් කරවමිනි. ඇය තම ජීවිතය තුළ වඩාත් ම ඇළුම් කළේ සංගීතයට ය. විශ්ව සංගීතයේ පුරාවෘත්තයක් වූ මංගේෂ්කාර් නම් අසහාය භාරත ගායිකා රත්නය ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ සේ ඇළුම් කළ තැනැත්තියක් බව ඉන්දියානුවන් නොවන බොහෝ දෙනෙක් එතරම් නොදන්නා කරුණකි. ඇය ඉතා හොඳ ක්‍රිකට් ලෝලියක් සේම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් කැප කිරීම් සිදු කළ වීර කාන්තාවක් ලෙස ද ඉතිහාසයේ සලකුණු වී ඇත.

1983 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩා-යමයි. පළමු වරට ලෝක කුසලානයක ජය පහස ලබා මව්බිමට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ එක් ක්‍රීඩකයකු වෙනුවෙන් ඉන්දීය රුපියල් 25000 ක මුදලක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු සලසා තිබිණි. නමුත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් සමඟ ලෝක කුසලාන ජය මිහිර විඳගත් ලතා මංගේෂ්කාර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ත්‍යාග මුදල් වෙන් කිරීම පිළිබඳ ව කනස්සල්ලට පත් වූවා ය. ඒ ඔවුනට ලබා දෙන මුදල් ත්‍යාගය ප්‍රමාණවත් නැතැයි පවසමිනි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඇය තමා සතුව තිබූ මුදල් එක් රැස් කර අරමුදලක් පිහිටුවන්නට කටයුතු කළා ය. එයින් රැස්වුණු මුදල ද ක්‍රීඩකයන් හට ප්‍රදානය කිරීමට ප්‍රමාණවත් නොවන බව වටහා ගත් ඈ වහ වහාම නවදිල්ලියේ ප්‍රසංගයක් සංවිධානය කළා ය. ඒ අනුව ඇය එයින් ඉන්දීය රුපියල් ලක්ෂ 20 පමණ මුදලක් එකතු කර ගන්නට සමත් වූ අතර, එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කරන්නට ද ඇයට හැකියාව උදාවිණි. එය මංගේෂ්කාර් නම් අග්‍රගණ්‍ය ගායිකාව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සිදු කළ එක් මෙහෙවරකි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිලිප් වෙන්ග්සාර්කාර් අවස්ථා කිහිපයක දී ලතා මංගේෂකාර් මහත්මියගේ ක්‍රිකට් ලෝලීත්වය පිළිබඳ ව අදහස් පළ කර ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1983 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාවේ දී මංගේෂ්කාර් ක්‍රියා කළ ආකාරය පිළිබඳ ඔහු මෙසේ කියයි.

“ලතා ජී ත් අපිට සුබ පතන්න ආවා. උමතු රසික රසිකාවියන් අතර ඇයද සිටීම ගැන අපි සැවොම පුදුමයට පත්වුණා.”

ලතා මංගේෂ්කාර් හා බැඳුණු ක්‍රීකට් දිවිය පිළිබඳ ව තවත් අවස්ථාවක් පිළිබඳ මතකය වෙන්ග්සාර්කාර් මෙසේ විස්තර කරයි.

“ලතා ජීට ලෝඩ්ස් ක්‍රීඩාංගණය අසල නිවෙසක් තිබුණා. මම 1986 වසරේ දී ලෝඩ්ස් පිටියේ පැවති තරගයක් අතරතුර මගේ තුන් වැනි ශතකය රැස්කළා. ඇය ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතියට පත් වෙලා තිබුණා. ඇය මා ඇතුළු ක්‍රීඩකයන් හතර පස්දෙනෙකුට දිවා ආහාරය සඳහා ඇගේ නිවෙසට ආරාධනා කළා.”

1980 වසරේ දී පාකිස්තානය පරාජ-යට පත් කළ ඉන්දීය පිලට පෞද්ගලිකව ම සුබ පතන්නට ඇය කටයුතු කළ බව ද වෙන්ග්සාර්කාර් පවසා තිබේ. ඇගේ නිවෙස් ගැලරියේ තබා ඇති ඡායාරූප අතර ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ගත් සේයාරූ ද බොහෝ වේ.

ලතා මංගේෂ්කාර් 1970 දසකයේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර වූ ක්‍රිකට් තරගයක් නරඹන වීඩියෝවක් ද ඒ අතර සුරැකිව ඇත. සුනිල් ගවස්කාර්, සචින් ටෙන්ඩුල්කාර්, දිලීප් වෙන්ග්සාර්කාර් ඇය සමඟ සමීපව ඇසුරු කළ ක්‍රිකට් තරු වෙති.

“ලතා මංගේෂ්කාර්ගෙන් මම සරස්වතිය දුටිමි.” යනුවෙන් සචින් ටෙන්ඩුල්කාර් අවස්ථා කිහිපයක දී ම පවසා තිබේ. 2019 වසරේ එම්. එස්. දෝනි ජාත්‍යන්තර පිටියට සමු දීමට ගත් තීරණය වෙනස් කරන්නැ යි මංගේෂ්කාර් මැතිනිය ට්විටර් හරහා දෝනිගෙන් ඉල්ලීමක් කර තිබුණේ ඇගේ දැඩි ක්‍රිකට් ලෝලීත්වය නිසා ම ය.

ලතා මංගේෂ්කාර් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ ‍මෙහෙය සලකා ඉන්දියාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයන්හි ප්‍රභූ ආසන 2 ක් ඇය වෙනුවෙන් ම වෙන් කර තබන්නට ද කටයුතු ‍යෙදිණි. පසුගිය දා ඉන්දීය ක්‍රිකට් පිල, බටහිර ඉන්දිය කොදෙව් පිල හා පැවති එක්දින තරගයේ දී කළු පටි පැලඳ ගන්නට ද කටයුතු කළේ ඇගේ වියෝව වෙනුවෙන් සොව පළ කිරීම පිණිස ය. එපමණක් නොව විරාට් කෝලි, ටෙන්ඩුල්කාර් ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක්ම ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා ශෝක ප්‍රකාශ නිකුත් කර තිබුණි. ඒ

අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක බාබර් අසාම්, හිටපු නායකවරුන් වන වකාර් යුනිස්, ඉම්රාන් ඛාන්, රමීෂ් රාජා මොහොමඩ් යුසුෆ්, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හසන් අලී මෙන්ම හිටපු බටහිර ඉන්දිය කොදෙව් නායක ඩැරන් ගංගා ද වෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නාය-කයා වන දිමුත් කරුණාරත්න “ඉන්දීය සංගීතයේ පුරාවෘත්තයක් වන ලතා මංගේෂ්කාර්ගේ අභාවය වෙනුවෙන් සංවේගය පළ කරමි” යනුවෙන් ට්විටර් සමාජ ජාලය හරහා පණිවුඩයක් නිකුත් කර තිබුණි.

“ලොවම දැන සිටි විශිෂ්ට ගායිකාවක් අහිමි විය. සමස්ත ලෝකයක්ම ඇගේ ගී තුළින් රසයක් අත්වින්දේය” යනුවෙන් හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු මෙන්ම වත්මත් පාකිස්තාන ජනාධිපති-වරයා වන ඉම්රාන් ඛාන් පණිවිඩයක් නිකුත් කර තිබේ

 

 

Comments