ජාතික ක්‍රිකට් පිල අතහැර ඩාර්බිෂයර් හා ගිවිසුම්ගත වූ දෙබරවැව ගමේ ඇල්බට්ගේ කොල්ලා | Page 4 | සිළුමිණ

ජාතික ක්‍රිකට් පිල අතහැර ඩාර්බිෂයර් හා ගිවිසුම්ගත වූ දෙබරවැව ගමේ ඇල්බට්ගේ කොල්ලා

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූයේ වින්දනයටය. හමබන්තොට දෙබරවැව මහා විද්‍යාලයේ උගන්නා සමයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඔහු ලෝකයේ තමුන් දුටු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගේ පන්දුයැවීමේ ඉරියව් ස්වීකරණය කරගැනීමට උත්සුක විණි. අකමැත්තෙන් වුව දෙබරවැව පාසල අතහැර රිච්මන්ඩ් ගිය සුරංග ලක්මාල් ඉනික්බිතිව එහි දැක්වූ දක්ෂතා සමඟ ක්‍රීඩා සමාජාන්තර හා ජාතික තලය දක්වා වේගයෙන් නැග ආවේය. අද එසේ පැමිණි ගමනේ පරිසමාප්තිය ඔහු දකිමින් සිටින්නේ එකී ගමන අවලෝකනය කර බලමිනි. ඒ අවලෝකනය හා ඔහු ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට පසුගියදා තීරණය කර තිබුණේය. මේ ඔහුගේ එකී තීරණය සම්බන්ධ කතාවය.’

‘ඉඩෝරයට ඉරිතලන දෙබරවැව ගමේ පොළොව එදා මෙන් ම අදත් වෙනසක් නැතුව ම දැඩි හිරු රශ්මිය විහිදුවන කාලයට පෙර ලෙසම වියැළී යයි. දෙබරවැව ගමේ හේන් ගොවිතැනින් ජීවිකාව සරිකර ගත් ඇල්බට් ගොවි මහත්තයාට ලොකු ලොකු හීන තිබුණේ නැත. හේනක් කොටාගෙන දරු පවුල රැක ගන්නට ඔහු දිවා රෑ නොබලා වෙහෙසුණේ ය. පවුලේ කෙල්ලන් දෙතුන් දෙනෙකු ට එකම කොල්ලා වී උපන් සුරංග ‘රටට වැඩැති- ගුණ යහපත් හිත හොඳ මිනිහෙකු‘ කරවන්නට නම් හේනේ හිටවපු බීජ මෙන් ඇල්බට් ගොවි මහත්තයාගේ හිත යට පුංචි ම පුංචි හීනයක් දලු දාමින් තිබුණේ ඔහුටත් නොදැනීම ය.හේන පුරා දුව පැන ඇවිදින පවුලේ එක ම කොල්ලාගෙන් එහෙමට කියා වැඩක්පලක් කරගන්නට වත් ඇල්බට් ගොවි මහත්තයාට හිත නොදුන්නේ ඒ නිසා ම වන්නට ඇත.

එහි ප්‍රතිඵලය ලෙස ඔහු දුෂ්කරතා මැද ක්‍රිකට් ක්‍රීඩාවට හුරුව අවසන දෙබරවැවෙන් නික්ම ගාල්ලට පැමිණ ගාල්ලෙන් කොළඹ අතික්‍රමණය කර ලෝකය අබිමුවට නික්ම යාමය. ඒ ඇල්බට් අයියාගේ කොල්ලා ගැන පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබිණි. ඉන් කියැවුණේ සුරංග ලක්මාල් නමැති මේ ඇල්බට් අයියාගේ කොල්ලා තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සමුදෙන බවය.‘

හිටි හැටියේ ලාංකේය ක්‍රිකට් පිටියෙන් අසන්නට ලැබුණු එම ප්‍රවෘත්තියට අනුව එළඹෙන ඉන්දීය සංචාරයෙන් අනතුරුව හේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතය. එකී උණුහුම මැකෙන්නටත් මත්තෙන් ම අසන්නට ලැබුණේ සුරංග ඩාර්බිෂයර් ප්‍රාන්තය සමඟ වසර දෙකක ගිවිසුමක් අත්සන් කර ඇති බවය.

මඳ වේගපන්දු යවන 34 හැවිරිදි ක්‍රීඩක ලක්මාල් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිය උපරිමය ඉටුකළ අතර මේ වන විට තරග 68 ක දී කඩුලු 168 ක් දවාගෙන ඇති අතර ඉන් කඩුලු 112 ක් ම විදේශීයන් හි දී දවා ගෙන තිබේ.

මගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගැනීමට වගේම මගේ ජීවිතය උසස් මට්ටමකට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට ලැබීම පරම සතුටට කරුණක්. ඒ වගේ ම මට මෙම විස්මිත අවස්ථාව ලබා දීම සහ මගේ මව්බිමේ ගෞරවය ගෙන ඒමට මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ණයගැතියි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරිපත් කළ සිය විශ්‍රාම ගැනීමේ ලිපියේ සඳහන් කර ඇත.

තමන්ට ප්‍රාන්ත ක්‍රිකට් අත්දැකීමක් ලැබීම බොහෝ කලක සිට අවශ්‍ය වූ දෙයක් බවත් පුහුණුකරු මිකී සමඟ නැවත වැඩ කිරීමට ලැබුණු අවස්ථාව විශිෂ්ට බවද සුරංග ලක්මාල් පවසා ඇත.

මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සෑම තත්පරයකටම මම ආදරය කළෙමි, මගේ සිහිනය සැබෑ කර ගැනීමට මට අවස්ථාව ලබා දීම ගැන මම ශ්‍රී ලංකාවට ස්තූති කිරීමට කැමැත්තෙමි. දැනටමත් සිටින තරුණ පන්දු යවන්නන්ට උපකාර කිරීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ‘ සුරංග පවසා තිබේ.

ලක්මාල් ශ්‍රී ලංකා වනුවෙන් ටෙස්ට් තරග පහකදී ද නායකත්වය දී ඇති අතර, ඉන් තුනක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

පසුගිය වසර හය තුළ ලක්මාල් ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ ප්‍රමුඛයා විය. ඔහු එම කාලය තුළ විශිෂ්ට ප්‍රතිඵල කිහිපයකට දායක වී ඇති අතර, 2019 වසරේ පෝර්ට් එලිසබෙත්හි ජයග්‍රහණය කිරීමට පළමු ඉනිමේ දී ලකුණු 39 ක ට කඩුලු 4 ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 25 ක ට කඩුලු 3 ක් ද ලබා ගනිමින්, පෙර වසරේ බ්‍රිජ්ටවුන් හි දී ජයග්‍රහණයක් සහ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. වර්ෂ 2017 දී කොල්කටාහිදී පැවති වර්ෂාවෙන් පීඩාවට පත් වූ තරගයක් සම කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමාද වූ බැවින් ලකුණු 119 ක ට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්විය.

34 හැවිරිදි ලක්මාල් ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් භුක්ති විඳ තිබේ. ඔහු සියලු ආකාරවලින් කඩුලු 285 ක් දවාගෙන ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 168 කි.

 

Comments