තරග පහකින් සමන්විත මෙවර ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය පසුගිය 11දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි දී ආරම්භ වූ අතර අද ඉරිදා දෙවන තරගය ද සිඩ්නි පිටියේම පැවැත්වේ. මීට පෙර 2019 -20 සංචාරයේ පැවති තරගමාලාව ශ්‍රී ලංකාව 0-3 ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියේ පරාජය වූ අතර මෙවර ද මෙය අභියෝගාත්මක තරග මාලාවක් වීමට ඉඩ ඇත නමුත් මෙම වසර අවසන එහි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙය හොඳ පෙරහුරුවක් ලෙස යොදා ගැනීමේ අවස්තාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සතු ය. කෙසේ නමුත් දෙරට අතර තරගාවලිය තුල ඕස්ට්‍රේලියාවේ දී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව අතීත වාර්තා පරික්ෂා කරන විට පෙනී යයි. 2010-11 (1-0),2012-13 (2-0),2016-17 (2-1) ලෙස මේ අනුව ශ්‍රී ලංකාව එහිදී ජයගෙන තිබීම විෂේශය. කෙසේ නමුත් මේ වනවිට අවසන් වරට දෙරට අතර පැවැත්වී ඇති විස්සයි විස්ස ජගත් තරග පහෙන්ම ජය අත්වි ඇත්තේ ඔස්ට්‍රේලියාවටය. මේ අනුව 2017 පෙබරවාරි 21 දින සිට මෙම ඕස්ට්‍රේලියානු ජයග්‍රහණ මාලාව සටහන්වී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ දී 04ක් හා ඩුබායි හිදී එකක් වශයෙනි. ශ්‍රී ලංකාව අවසන් වරට ජයගෙන ඇත්තේ 2017 පෙබරවාරි 19 දින ඕස්ට්‍රේලියාවේ ගිලෝන්හිදී ය.
ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වන ඩේවිඩ් වෝනර් හා මිෂෙල් මාර්ෂ් ඉදිරි පාකිස්ථාන සංචාරය වෙනුවෙන් මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබුන ද ශ්‍රී ලංකාවට එරෙහිව ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් මෙවර ඔස්ට්‍රේලියාව නියෝජනය කරනු දැක ගත හැකිවන අතර එරට අසු ගණන්වල, අනු ගණන්වල කැපී පෙනුණු වේග පන්දු යවන්නෙකු වූ ක්‍රෙග් මැක්ඩමොට් ගේ පුතෙකු වන බෙන් මැක්ඩමොට් මෙවර කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවෙකි. සිය පියා මෙන් වේග පන්දු යවන්නෙකු නොවන ඔහු ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ලිග් තරගාවලිය වෙනුවෙන් හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්වන ලද දස්කම්වලට අනුව මෙවර ඔහුට ශ්‍රී ලංකාව සමග තරගාවලිය සඳහා අවස්තාව හිමිවී තිබේ.මිට පෙර පසුගිය වසරේ බංගලි දේශ, කොදෙව් සංචාරවල හොඳින් දස්කම් අතර නොසිටීම මත විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවූ ඔහු මෙවර තම දස්කම් සම්බන්ධයෙන් මහත් විශ්වාසයෙන් පසුවෙයි.” මම හිතනවා දැන් තමයි වෙන අවස්ථාවලට වඩා මම ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීම සඳහා වඩාත් සුදුසු කියා. ඒ වගේම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා පසුගිය කාලේ ලබපු පළපුරුද්දෙන්. මේ වනවිට මම මගේ ක්‍රීඩාවේ උපරිම දස්කම් අතර සිටින බව මට තේරෙනවා”. ශ්‍රී ලංකාව සමග සංචිතයට තෝරා ගැනීමෙන් පසු ඔහු පවසා තිබිණි.” ඔහු මේ වන විට පසු වන්නේ රිද්මය අතින් ඉහළම තැනක ඔහු කණ්ඩායමට තෝරා නොගත්තානම් තමයි පුදුම” නායක පින්ච් තම ක්‍රීඩක බෙන් කණ්ඩායමට ඇතුලත් වීම දකින්නේ ඒ අයුරෙනි. එමෙන්ම ට්‍රාවිස් හෙඩ් පසුගිය අළු බඳුන තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා බවට පත්වූ අතර ඔහුද ශ්‍රී ලංකාව සමග තරගාවලියට ඇතුලත් කර තිබිණි. 2018 වසරෙන් පසු ඔහු විස්සයි විස්ස ජගත් තරගයකට මුහුණ දෙන මුල් අවස්ථාව මෙය වෙයි. “ඔහු සුදු පන්දු තරග වැඩි ගණනකට ක්‍රීඩා කර නැහැ.නමුත් ඔහු මෙම තරග රටා තුන සඳහාම හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්”. ඔහු කණ්ඩායමට තේරීම ගැන තේරීම් කමිටු සාමාජික ජෝර්ජ් බේලි පවසා තිබිණි.
මෙවර බිග් බෑෂ් ලිග් තරගාවලියේ දස්කම් අතරට පැමිණි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සිටින අතර ඊ.එස්.පි.එන්. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කරන ලද තරග වාරයේ බිග් බෑෂ් ලිග් කණ්ඩායමේ සිටින ක්රීඩකයින්ගෙන ඇෂ්ටන් අගා, මොයිසන් හෙන්රික්ස්, ගලෙන් මක්ස්වල්, වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සමග තරග වදින කණ්ඩායමට ඇතුලත් වීම විශේෂය. “කලකිරෙන සුළු සති දෙකක් ගෙවුනා ඇත්තෙන්ම ශ්‍රී ලංකාව සමග තරගාවලියෙන් යලි පිටියට ඒම පහසුයි.” ජෝෂ් හෂල්වුඩ් මෙසේ පවසා තිබුනේ සති කිහිපයක පමණ වූ ආබාධිත තත්ත්වයකින් අනතුරුව ශ්‍රී ලංකාව සමග තරගාවලියෙන් නැවත කණ්ඩායමට පැමිණීමේ බලාපොරොත්තුවෙනි.
ඊ.එස්.පි.එන්. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මෙම ඕස්ට්‍රේලියා ශ්‍රීලංකා තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ගැන බලාපොරොත්තු තබා ඇත.ඒ දෙපිලේම පිතිකරුවන් දෙදෙනා බැගින් හා පන්දු යවන්නන් දෙදෙනා බැගින් නම් කරමිනි. මේ අනුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඒරෝන් පින්ච්, මැතිව් වේඩ් පිතිකරුවන් ලෙස ද ඇඩම් ෂම්පා, ජෝෂ් හෂල්වුඩ් පන්දු යවන්නන් ලෙස ද පෙන්වා දෙන ඔවුන් ශ්‍රී ලංකාව පැත්තෙන් බලාපොරොත්තු තබා ඇති පිතිකරුවන් වන්නේ චරිත් අසලංක, පැතුම් නිශ්ශංක දෙදෙනාය.ඔවුනට අමතරව වනිඳු හසරංග හා මහේෂ් තීක්ෂණ වඩාත් අවධානයට ලක් විය හැකි පන්දු යවන්නන් ලෙස නම් කර තිබේ. ශ්‍රී ලංකා පිලේ අනාගතය භාර ගැනීමට සිටින ක්‍රීඩකයින් සිව් දෙනෙකු වශයෙන් මෙම යොවුන් ක්‍රීඩකයින් සිව් දෙනා තමන් කෙරේ ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍ය දක්වන ලද මෙම සැලකිල්ල තව දුරටත් ඉදිරියට ගෙන යන්නට එරට වේගවත් තණ තීරු මත හැකි වෙතොත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයකි.
මෙවර පළමු හා දෙවන තරග සිඩ්නි පිටියේ පැවැත්වීමට නියමිතව තිබු අතර තුන්වන තරගය කැන්බරා හි මනෙකා ඕවල් හි පැවැත්වේ. සිව්වන හා පස්වන තරග පැවැත්වෙන්නේ මෙල්බර්න් හිදීය. තරග පැවැත්වෙන ක්‍රීඩා පිටිවල අතීත වාර්තා දෙස බලන විට මෙල්බර්න්හි මේ දක්වා දෙපිල අතර පැවත්වී ඇති තරග ගණන තුනකි. මෙයින් 2012-13හා 2016-17 තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර අවසන් වරට තරග වැදුණු 2019-20 තරගයේ ජය අත්වුවේ ඔස්ට්‍රේලියාවටය. මේ හැරුණු විට දෙපිල කැන්බරා හි මනෙකා ඕවල් හි මෙවර විස්සයි විස්ස ජගත් තරගයකට සහභාගී වන්නේ මුල් වරටය. එමෙන්ම සිඩ්නිහිදී මිට පෙර දෙරට අතර තරගයක් පැවත්වී ඇති නමුත් ඒ වෙනත් පිටියක් වන ඒ. ඇන්ඩ් ඉසෙඩ් නමැති පිටියේ මිස සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොවේ.