සියැටල් මුත්තාගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනූ ඔස්ට්‍රේලියානු මිනිබිරී ඈෂ් බාර්ටි | Page 2 | සිළුමිණ

සියැටල් මුත්තාගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනූ ඔස්ට්‍රේලියානු මිනිබිරී ඈෂ් බාර්ටි

‘මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කිරුළ දිනූයේ ඇය ය. වසර හතළිස් හතරකට පසු එවැනි දස්කමක් පෑ පළමු ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ද ඇය ය. ලෝක ටෙනිස් පිටියේ කාන්තා ටෙනිස් කිරුළේ නවතම හිමිකාරිණිය වන ඈෂ් බාර්ටි ගැන කතා නොකර සිටීමට නොහැකි ය. මේ බාර්ටිගේ ජයග්‍රහණයේ කතාව ය.’

බාර්ටි අර්ධ වශයෙන් ඔස්ට්‍රේලියානු ආදීවාසී පවුලකින් පැවත එන්නියකි. ඒ සිය පියා වන රොබර්ට් බාර්ටි නිසා ය.

රොබර්ට් බාර්ටි යනු කලක් ගොල්ෆ් ක්‍රීඩාවෙන් ක්වින්ස්ලන්ත ප්‍රාන්තයත් ඔස්ට්‍රේලියාවත් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඇගේ මව ද එම ප්‍රාන්තය නියෝජනය කර ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාවෙන්ම ය. මේ නිසා ඈෂ් බාර්ටිට ක්‍රීඩාව හා බැඳුණු ලේ උරුමයක් තිබේ.

අප එසේ කියන්නේ කුඩා සන්ධියේ බාර්ටි දැල්පන්දු ක්‍රීඩාවට ආකර්ෂණය වූ ක්‍රීඩිකාවක් වූ හෙයිනි. එහෙත් තමන්ට වඩා තම සොහොයුරියන් දැල් පන්දුවට දක්ෂ යැයි දැන ගැනීමත් එය කාන්තා ක්‍රීඩාවක් පමණක් වීම නිසාත් බාර්ටි වහා නැඹුරු වූයේ ටෙනිස් ක්‍රීඩාවට ය. එවිට ඇගේ වයස අවුරුදු හතරකි.

‘බාර්ටි පුංචි ම කාලේ ඉඳලා ම දක්ෂයි. මට මතකයි මුලින්ම මම ඇයට පන්දුව යවපු වෙලාවේ ඇය එයට නිවැරැදි ව පෙරළා ප්‍රබල පහරක් එල්ල කරලා මා වෙත එව්වා.’ යැයි පවසන්නේ ඇගේ කුඩා සන්ධියේ ටෙනිස් පුහුණුකරුවා වන ජිම් ජොයිස් ය.

ටෙනිස් ක්‍රීඩාවට නැඹුරු වූ දා සිට පුංචි බාර්ටි පාසල නිමවා නිවසට පැමිණි මොහොතේ සිට කළේ ටෙනිස් පුහුණු වීම ය.

‘බිත්තිය තමයි මගේ ප්‍රතිවාදියා. නිදන කාමරයේ බිත්තියට බෝලයෙන් මේ විදිහට තඩි බබා පුරුදු වුණා. ‘බාර්ටි පවසන්නී ය.

අවුරුදු නවයක් වද්දී ඈ අවුරුදු හයක් පමණ වැඩිමහලු පිරිමි ළමුන් සමඟ ද අවුරුදු 12 ක් වද්දී වැඩිහිටි පිරිමි ක්‍රීඩකයන් සමඟද තරග කළාය. එයින් ප්‍රකාශ වන්නේ ඈ මෙම ක්‍රීඩාවේ දැක්වූ දක්ෂතා එතරම් ප්‍රබල ගාමක බලයකින් සන්නද්ධව තිබූ බව ය.

ඇගේ ළමා කාලයේ ටෙනිස් විජිතය ජයග්‍රහණ රැසක අභිමානයෙන් පිරී ගිය එකකි. 2011 වසරේ බාලිකා විම්බල්ඩන් ශූරතාව දිනූයේ ද ඇය ය. එසේම ලෝකයේ අංක දෙක ස්ථානයට ද ශ්‍රේණිගත වූවා ය. ඈ ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩිකාවක වන Casey Dellacqua හා එක්ව යුගල තරගයන්ගෙන් විශේෂ දක්ෂතා දක්වමින් සිටියා ය. ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග තුනක දී අවසන් තරගයට එන්නට ද සමත් විණි.

මේ අතර ඈ හදිසියේ ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලික විරාමයක් ගැනීමට තීරණය කළේ 2014 වසරේ දී ය.

‘මට කෙටි නිවාඩුවක් ඕනෑ වුණා.‘ ජවයෙන් පිරුණු හොඳ ම වයසකට පැමිණ තිබිය දී ඇයට මෙලෙස ක්‍රීඩාවෙන් විවේක ගැනීමට සිතීම පුදුමාකාර ය. සල්ලි උපයන්නට ඇති හොඳම ක්‍රීඩාවක් වසර දෙකකින් අතහැර දැමීම කවරාකාරයේ උමතුවක් යැයි සිතෙන්නේ ද? එහෙත් ඈ සිය හදවත කරන යෝජනාවට නොපැකිලව එකඟ විණි.

ටෙනිස්වලින් තාවකාලිකව සමුගත්තේ ඇයි?

‘ජීවිතේ බොහෝම පුංචි සන්ධියේ ඉඳලා ලෝකය පුරා ගොඩාක් සංචාරය කරන්නියක් වෙන්න මට සිද්ධ වුණා. මට හිතුණේ නව යෞවන ජීවිතය සාමාන්‍ය දැරිවියක් වශයෙන් ගත කරන්න අවශ්‍යයි කියලා. මොකද ආයෙ කවදාවත් ඒ වයස ආයෙ එන්නෙ නෑ. ඉතිං වෙනත් අත්දැකීම් ටිකක් ජීවිතයට එකතු කරගන්න හිතුවා.’ ඈ තමන්ගේ විරාමය ගැන පවසන්නේ එවැන්නකි. 

යළි සුපුරුදු මඟට

බාර්ටි යළි ටෙනිස් ක්‍රීඩාව වෙතට නැඹුරු වන්නේ 2016 වසරේ දී ය. 2017 වසරේ දී මැලේසියානු විවෘත ටෙනිස් කේවල ශූරතාව දිනා ගනිමින් 2018 වසරේ දී ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතාවට හිමිකම් කියන්නට ඇය සමත් විණි. 2019 වසරේ ඒකල ශූරතාව ද ජයග්‍රහණ ගොන්නට ඈ ඇතුළත් කර ගත්තාය.

‘මට පසුගිය වසරේ ශූරතා පහක් දිනන්න හැකි වුණා. විම්බල්ඩන් ප්‍රධාන කේවල තරග දෙකක්, කාන්තා ටෙනිස් සම්මේලන තරගාවලියේ ශූරතා දෙකක් ඊට ඇතුළත් වුණා.‘

මේ වන විට ඈ ඔස්ට්‍රේලියානු ටෙනිස් සංගමය විසින් ජාතික ආදිවාසී ටෙනිස් තානාපතිනිය ලෙස ද නම්කර ඇත. ඒ ස්වදේශික ඔස්ට්‍රේලියානු ජනතාව ටෙනිස් ක්‍රීඩාව වෙත වඩා ආකර්ෂණය කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ය.

ඈෂ් බාර්ටි ගැන තවත් බොහෝ දේ අනාගතයේ කතා කරන්නට හැකිවනු ඇත. එතෙක් ඈ ගැන ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක් වූ වික්ටෝරියා අෂරෙන්කා කියූ දෙයකින් මෙම සටහන අවසන් කරන්නට කැමති ය.

‘ගෙදර දී දිනන එක තරම් සතුටක් වෙන කොහෙදිවත් ලැබෙන්නේ නෑ. ඇත්තටම කියනවා නම් බාර්ටි කියන්නේ පරිපූර්ණ ක්‍රීඩිකාවක්.’

ඇය පවසන ආකාරයට බාර්ටිව පරද්දන්නට සමත් වෙනත් ටෙනිස් ක්‍රීඩිකාවක් මේ වනවිට ලෝකයේ ඇත්තේ නැත. ඒ ආකාරයට බලන කල ප්‍රකට ආදිවාසී මිනිසා වන සියැටල්ගේ ඔස්ට්‍රේලියානු මිනිබිරිය ගැන අනාගතයේ මීට වඩා පුරසාරම් කතා අසන්නට හැකි වන බව නම් නිසැක ය.

Comments