රැවුලෝ දිනූහ ගෝලීය සම්මාන | Page 4 | සිළුමිණ

රැවුලෝ දිනූහ ගෝලීය සම්මාන

 

අලු බඳුන කුසලානය දිනා ගත් අතර ෆ්ලින්ටොෆ් එහි තරගාවලියේ වීරයා බවට පත් වීම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට අවශේෂ හේතු කාරණය විය.

රැවුල යනු පුරුෂ පෞරුෂය ඔප් නංවන ආභරණයක් බඳු විලාසිතාවකි. රැවුල නිසා පුරුෂ පක්ෂය වෙත ඇතැම් කාන්තාවෝ ආකර්ෂණය වන්නේ ඉබේමය. ක්‍රිකට් ලෝකය තුළ ද රැවුල නිසා ප්‍රේක්ෂකයන් අතර මෙන්ම කාන්තා පාර්ශ්වය අතරේද වඩාත් ජනප්‍රියත්වයට පත් ක්‍රිකට් ක්‍රීඩකයෝ හිඟ නොවෙති.

 

විරාත් කෝලි, හෂීම් අම්ලා, මාටින් ගප්ටිල්, කේන් විලියම්සන් ආදි ලොව විවිධ රටවල ජාතික කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩකයෝ රැවුල සහිත ප්‍රියමනාප ක්‍රීඩකයෝ ය. මෙම ලිපියේ අරමුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රැවුල ගැන කතා කිරීම නම් නොවේ. රැවුල නිසා අන්තර්ජාති සම්මානයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් පිළිබඳව කතාබහ කිරීම ය.

මේ කතා බහ දශක එකහමාරකට අධික කාලයක් පුරා ලොව පැවැත් වූ එක්තරා සම්මාන උලෙළක් පිළිබඳව ය. වර්ෂයක් තුළ තෝරා ගත් පිරිසක් අතුරින් හොඳම රැවුල සහිත පුද්ගලයා තෝරා ගෙන සම්මානයට පාත්‍ර කිරීම මෙහි දී සිදු වෙයි.

Beard Liberation Front නම් එක්සත් රාජධානිය තුළ සංවිධානගත වූ එක්තරා සංවිධානයක් මෙම සම්මාන ප්‍රදාන කටයුත්තට මුල පිරුවේ 2000 වසරේ දී ය. 2000 වසරේ සිට 2017 වසර දක්වා මෙම සම්මාන උලෙළ අඛණ්ඩව පවත්වන්නට Beard Liberation Front සංවිධානය කටයුතු කළේ ය. එහි සම්මාන නාම යෝජනාවට ඇතුළත් කර ගැනීමේ දී ප්‍රධාන නිර්නායකය වන්නේ රැවුලක් තිබීම වුවත් රැවුල සහිත සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට ඊට ඇතුළත් වීමට අවස්ථාව සැලසෙන්නේ නැත. එක්සත් රාජධානියෙහි ජාතික වශයෙන් ප්‍රමුඛත්වයෙහි ලා සැලකෙන ක්ෂේත්‍ර ආශ්‍රිතව සේවය කරන විශිෂ්ට පුද්ගලයින් මෙහි දී ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක් කිරීමට Beard Liberation Front සංවිධානය කටයුතු කරයි. ඇතැම් වසරවල දී එක්සත් රාජධානියෙන් පරිබාහිර වෙනත් රටවල විශිෂ්ටයින් ද මෙහි සම්මාන නාමයෝජනාවට ඇතුළත් කර තිබිණි. ඒ අනුව විද්‍යාව, දේශපාලනය, ක්‍රීඩාව, ජනමාධ්‍යෙ, සංගීතය, නර්තන, නාට්‍ය, ලේඛනය ඇතුළු කලාව, වෛද්‍ය, ඉංජිනේරු ආදි වෘත්තීන් ඇතුළු ක්ෂේ්‍රයන් රැසක සුවිශේෂි වැදගත්කමක් උසුලන පුද්ගලයෝ එහි දී සම්මානයට නිර්දේශ වෙති. මනාප ලබා ගැනීම මගින් වසරේ සම්මානිත පුද්ගලයා තෝරා ගැනීම සිදු කෙරේ.

2000 සිට 2015 දක්වා කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් මෙම සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂි කරුණකි. අප මෙම ලිපිය ලිවීමට හේතුව වී ඇත්තේ ද එයම ය. 2004 වසරේ එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් වන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් වරක් මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. බ්‍රිතාන්‍ය අධ්‍යාපනඥයෙක් වූ පෝල් මැක්නි, 2004 වසරේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සමඟ මෙම සම්මානයෙහි සම ජයග්‍රාහකයා විය. එහිදී ඔවුන් දෙදෙනාම මනාප සම සමව ලබා ගෙන තිබිණි.

2005 වසරේ දී නැවත වරක් මෙම සම්මානය ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ට හිමි විය. වසර 16කට පසුව එංගලන්ත කණ්ඩායම අලු බඳුන කුසලානය දිනා ගත් අතර ෆ්ලින්ටොෆ් එහි තරගාවලියේ වීරයා බවට පත් වීම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට අවශේෂ හේතු කාරණය විය.

2006 වසරේ දී ද හොඳම රැවුල සම්මානය ක්‍රිකට් ක්‍රීඩාවෙහි විශිෂ්ටයෙක් වෙනුවෙන් පුද කෙරිණි. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොන්ටි පනේසාර් ය. පනේසාර් 2006 සිට 2013 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ දක්ෂ දඟ පන්දු යවන්නෙකි.

ඒ අනුව 2004, 2005, 2006 ආදි ලෙස අඛණ්ඩව තෙවසරක් හොඳම රැවුලා සම්මානය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් විසින් හිමි කර ගෙන තිබේ. කෙසේ නමුත් 2006 වසරෙන් පසුව මෙතෙක් ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවක නිරත ක්‍රීඩකයෙකු මෙම සම්මානයට හිමිකම් කියා නැත.

 

 

Comments