යොවුන් ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට | Page 2 | සිළුමිණ

යොවුන් ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට

නායක දුනිත් වෙල්ලාලගෙන් තුන් ඉරියව් දස්කම්

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා අපොහොසත් වූ යේ ය. මෙවර තරගාවලියට පෙර බංග්ලාදේශය හා එංගලන්තය පැරදවූ ඉන් පසු ආසියා කුසලාන තරගාවලියේ අනුශුරයන් බවට පත් වූ ශ්‍රී ලංකා යොවුන් පිල කොදෙව් දූපත් හි සංවිධානය කෙරුණු මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක්වූයේ ඉහළ බලාපොරොත්තු සහිතව ය.

තරගාවලියේ මූලික වටයේ තමන් සහභාගී වූ තරග තුන ම ජයගත් ඔවුන් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු අලුත් කළේ ය. ස්කොට්ලන්තය මෙන්ම ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායම, සත්කාරක බටහිර ඉන්දීය කණ්ඩායම වැනි කණ්ඩායම් පැරද වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ කාගේත් අවධානමට ලක් වූ කණ්ඩායමක් ලෙසිනි. කෙසේ නමුත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ දී මූලික වටයේ තමන් සිටි කොටසේ තරග දෙකක් පමණක් ජයගෙන සිටි ඇෆ්ගනිස්තානය වෙතින් පරාජය වීම කිසිවෙකු බලාපොරොත්තු නොවූ සිදුවීමක් විණි.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයේ දී ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 134 කට සිමා කරමින් පන්දු යවන්නන් තම යුතුකම් කොටස මැනවින් ඉටු කළ ද තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට පිතිකරුවෝ අසමත් වූහ. දුවද්දී දැවී යෑම් හතරක් ශ්‍රී ලංකාව වෙතින් වාර්තා වීම තරගයේ පරාජයට දොරටු විවර කිරීමක් විය.

විනුජ රන්පුල් 10/05 ලෙස අගනා පන්දු යැවී-මක් මෙහිදී වාර්තා කළ අතර, සුපුරුදු ලෙස නායක

දුනිත් වෙල්ලාලගේ මෙම තරගයේදී ද කඩුලු අතරට ආවේ 36/03 ලෙස කඩුලු දවාගනිමිනි. ජයග්‍රාහි ඉලක්කය කරා යෑමේ දී එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 43/07 ලෙස සටහන් වී තිබූ අතර, නායක වෙල්ලාලගේ 34, රවින් ද සිල්වා 21, විනුජ රන්පුල් 11 (නොදැවී) ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ ගත් නමුත් අවසානයේ පන්දු වාර 46 ක දී ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණේ ලකුණු 130 ක ට ය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා කොදෙව් හා ඔස්ට්‍රේලියා කණ්ඩායම් සමඟ තරග මෙන් මෙහිදී ද මුලින්ම පන්දු රැකීමට තීරණය කරන්නට ඇත්තේ එම තරග සාර්ථක ලෙස ලකුණු පසු පස ගොස් ජය අත් කර බැවින් විය හැකි ය. නමුත් මෙම තරගය තීරණාත්මක තරගයක් වීම බොහෝ විට ශ්‍රී ලංකාවට ලකුණු හඹා යෑමේදී පීඩනයක් එල්ල කළ බැව් දුවද්දී දැවී යාම් හතරක් වාර්තා වීමෙන් පෙනී ගියේ ය.

තරගාවලිය ශ්‍රී ලංකාව ආරම්භ කළේ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 40ක ජයක් ලබමිනි. මෙහිදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ඉනිම පන්දුවාර 45.2ක් තුළ ලකුණු 218 කට නිම කිරීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට හැකි වූ අතර, එක් අවස්ථාවක 99/06 ලෙස ලකුණු පුවරුව සටහන් කර තිබියදී සකුණ ලියනගේ 85, රවින් ද සිල්වා 30 ලෙස ලකුණු ලබමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 77 ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වෙනුවෙන් වූ මුලික සන්ධිස්ථානයකි. ජයග්‍රාහී ඉලක්කය කරා ගිය ප්‍රතිවාදී කණ්ඩායම පන්දු පන්දුවාර 48.4ක් තුළ ලකුණු 178 ක ට සිමා කිරීමට තරගයේ වීරයා වූ නායක දුනිත් වෙල්ලාලගේ 27/05 ලෙස දක්ෂ පන්දු යැවීමක නිරත විය.

මුල් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඉන් පසු ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගය ජය ගත්තේ ලකුණු පසුපස හඹා යමිනි.නායක වෙල්ලාලගේ 28/05 ලෙස යළිත් පන්දුවෙන් කැපී පෙනුණු අතර, ඔස්ට්‍රේලියාවට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 175ක් පමණි. ජයග්‍රාහි ඉලක්කය කරා යෑමේ දී 49/04 ලෙස කඩුලු බිඳ වැටී තිබියදී වෙල්ලාලගේ පිත්තෙන්ද කැපී පෙනෙමින් මෙම තරගයේ ද වීරයා වෙමින් ලකුණු 52 ක් රැස් කළේ ය. අංජල බණ්ඩාර 33, රනුඳු සෝමරත්න 32 (නොදැවී) ලෙස ලකුණු රැස් කරමින් මැද පෙළ ශක්තිමත් කිරීම මත පන්දු වාර 37 ක් තුළ 177/06 ලෙස තරගය ජයග්‍රහණයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා යෞවනයන්ට හැකි විය.

ලකුණු 250ක ඉලක්කයක් කරා ගොස් සත්කාරක කොදෙව් පිල පරාජය කිරීම මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් තවත් විශිෂ්ටත ම ජයග්‍රහණයකි. සුපුරුදු ලෙස වෙල්ලාලගේ මෙවරද පන්දුවෙන් දස්කම් දැක්වුවේ 39/03 ලෙස ය.

පළමු කඩුල්ල ලකුණු 04 දී බිඳ වැටුණද අනික් ආරම්භක පිතිකරු සදිෂ රාජපක්ෂ තරගයේ වීරයා වෙමින් ඉනිම ශක්තිමත් කරමින් මුළු ලකුණු 199 සටහන් වනතුරු කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 76 ක් ලබා ගනිමිනි. එමෙන්ම 02,03,04,05,07 යන කඩුලු සඳහා ශක්තිමත් සම්බන්ධතා එක්වීම මත පන්දු වාර 48.2 ක් අවසන කඩුලු 03 ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ෂෙහාන් ඩැනියල් 34, අංජල බණ්ඩාර 40, රනුඳු සෝමරත්න නොදැවී 28 ලෙස ලකුණු අතරට එන්නට සමත් වීම ද ජයග්‍රහණයට හේතු විය.

සමස්ත තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ

මූලික වටයේ තරග තුන හා අර්ධ අවසන් තරගය දෙස බලන විට නායක දුනිත් වෙල්ලාලගේ පන්දුවෙන් මෙන්ම අවශ්‍ය වූ විට පිත්තෙන් ද දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයකු බැව් ඔහු මැනවින් ඔප්පු කළේ ය. ඉදිරියේදීත් තම දස්කම් ඔප කර ගැනීමට ඔහු සමත් වෙතොත් අතීතයේ මෙම යොවුන් ලෝක ශුරතාව නියෝජනය කළ වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් මෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට ඉක්මනින් උදා කර ගත හැකි වනු ඇත.

එමෙන්ම සදිෂ රාජපක්ෂ, සකුණ ලියනගේ පිතිකරුවන් වශයෙන් ද තමා සහභාගී වූ එක ම තරගයේ දී කඩුලු පහක් බිඳ හෙළූ විනුජ රන්පුල් ද මෙහිදී අමතක කළ නොහැකි ය.

Comments