මට ඉන්නේ ගාය තියන කෙල්ලෝ ටිකක් | සිළුමිණ

මට ඉන්නේ ගාය තියන කෙල්ලෝ ටිකක්

‘මම ආවේ වැඩකරන්න. මගෙත් එක්ක ඉන්නේ වැඩකරන පිරිසක්. අනෙක මගෙත් එක්ක රටේම දැල්පන්දු පවුලේ සාමාජිකාවෝ වැඩකරනවා. මට කතා සාප්පු දාන්න වෙලාවක් නෑ. බණ අහගෙන ඉන්න දැල්පන්දු ශ්‍රාවිකාවොත් නෑ. ඒ නිසා අපි වේගයෙන් වැඩකරනවා තමයි.‘ යැයි කීවේ වත්මන් දැල්පන්දු සභාපතිනී හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩිය. 

- තවත් ඒ වගේම කෙල්ලෝ හොයන වැඩේ අපි පටන් ගත්තා 
- මම ආවේ වැඩ කරන්න මිසක් කතා සාප්පු දාන්න නෙවෙයි
- තර්ජනී කියන සම්පතට අපි තව සහය ලබාදිය යුතුයි 
- හයිසින්ත් වගේම තිලකත් වැදගත් කියලා මම පිළිගන්නවා

වැඩටික සාක්කුවෙ දාගෙන ආව වගේ සභාපති පුටුවෙ වාඩිවුන ගමන්ම වැඩ පටන් ගත්තා නේද?

ඔව් මම මෙතනට ආවෙ වැඩ කරන්න මිසක් බලාගෙන ඉන්න නෙවේ. මම රාජ්‍ය පරිපාලන නිලධාරිනියක් හැටියට වැඩ කරපු සෑම ආයතනයකටම සාධාරණයක් කරලා තියෙනවා. ඒ මගේ ජීවිතේ දර්ශනය. මාව මේ තනතුර සඳහා පත්කරගත් අයගේ බලාපොරොත්තු වුණේ මට දැනෙන්න යමක් කරන්න පුළුවන් කියන එකයි. 

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් හිටපු නිසාද මේ තරම් වේගයෙන් වැඩකරන්නෙ?

මම කාලයක් ඒ තනතුරේ හිටියා. ඒ 2011 වසරේ සිටයි. වසර හතරකට ආසන්න කාලයක් තුළ ක්‍රීඩා අමාත්‍යංශය කූද්දවල ගන්න මට පරිපාලකයෙක් වශයෙන් හැකිවුණා. ක්‍රීඩාවලට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනගන්න ඒ කාලේ මම කටයුතු කලා. ඒවා අදටත් පවතිනවා. අනෙක දැල් පන්දු ක්‍රීඩාව මගේ ජාන ගතවූ ක්‍රීඩාවක්. ඒ නිසා මට මේ තනතුරෙන් වැජඹෙන්න හෝ නඩත්තු වෙන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා හදවතින්ම කැප වෙනවා අන්න ඒ නිසයි මම ආපු ගමන්ම කල් නොගෙන වැඩ පටන් ගත්තේ. ක්‍රීඩාව ගැන දන්න මට මොන පිට්ටනියත් එකයි.

ඔබේ ආරම්භය ජව සම්පන්නයි. ඒත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය තෝරා ගැනීම සම්බන්ධයෙන් පොඩි ගැටළුවක් තියෙනවා නේද ?.

හොඳ ප්‍රශ්නයක්. ඔබ කියන්නේ හයිසින්ත්ගේ පත් තිරීම ගැනයි. හයිසින්ත් වගේම තිලකත් දක්ෂයි. හයිසින්ත් කියන්නේ අවුරුදු පහළොවක් දැලු පන්දු ජාතික කන්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලි එකසිය පනහකට සිය දායකත්වය ලබාදුන් ඒ වගේම නායකත්වයේ අත්දැකීම් ඇති ප්‍රවීන ක්‍රීඩිකාවක්. ඇයව ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත්කෙරුවෙ ඇයගේ ඒ අත්දැකීම් හා සුදුසුකම් අනුවයි. තිලකව අපි අයින් කරලා නැහැ. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න මම ඇයට ඇරැයුම් කළා. තිලකා දක්ෂ ක්‍රීඩිකාවක් ඇයගෙනුත් ලබාගත යුතු දේ අපමණයි. ඒ නිසාම ඇයව මම පුහුණු කමිටුවට නම් කරලා තියෙනවා.

රට වටේ ගිය ටැලන්ට් සර්ච් එකේ තත්ත්වය කොහොමද ?

හරිම සාර්ථකයි. අපි ළමයි 110 තෝරගෙන තියෙනවා. කොළඹ හැරුණූකොට මාතර, කුරුණෑගල, බදුල්ල, මහනුවර, උතුරේ කිලිනොච්චිය, යාපනය, වගේ දිස්ත්‍රික්ක වල ළමයි ඉදිරියෙන්ම ඉන්නවා. උතුරෙදි අපිට හොඳ පිළිගැනීමක් තිබුණා. ඒකට හේතුව මම 2011 වර්ෂයේ දි ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස පත්වීමෙන් පසුව දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවකට ගෘහස්ත ක්‍රීඩාංගන ලබා දීම යටතේ යාපනයටත් ඒ පහසුකම සැපයීම. ඒ හැම ක්‍රීඩාංගනයකින්ම අපේ දරුවෝ දැන් උපරිම ප්‍රයෝජන ගන්නවා. උතුරේ අයට ඒක හොඳට මතකයි. යුද්ධයෙන් හෙම්බත් වෙලා හිටපු උතුරේ දරුවන්ට අපි එදා අවිය වෙනුවට බෝලය අතට ගන්න පුරුදු කළ. ඒ වගේම උතුරේ දරුවන්ගේ දක්ෂතාවයන් ඉහළයි. ඒ ප්‍රදේශයේ පවතින දේශගුණික හා පාරිසරික විභවතාවයත් ඔවුන්ගේ ජානමය ශක්තියත් එයට හේතුව වෙන්න ඇති. මේ ලක්ෂණයම කුරුණෑගල දරුවන් ගෙනුත් මම දකිනවා.

ඔබ උතුර ගැන සඳහන් කළා. දැල් පන්දුවෙන් ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවෙන් තර්ජනයක් එල්ල කරපු තර්ජනීට ලබාදී ඇති පහසුකම් ප්‍රමාණවත් නැහැ නේද ?

එය අපි අවිවාදයෙන්ම පිළිගත යුතු සත්‍යයක්. තර්ජනී කියන්නේ දැල් පන්දු ක්‍රීඩාවට සම්පතක්. ඒ ඇගේ උස නිසා. ඒත් අපිට සම්පතක් වුණු රටට සම්පතක් වුණු ඇගේ උස පෞද්ගලික ජීවිතයේදී ඇයට අපහසුතා රාශියක් ඇතිකරනවා. තර්ජනීට පොදු ප්‍රවාහනවල යාමට අපහසුයි. පුහුණුවීම් වලට ගෙන්වනව නම් ඇයට වෙනම ප්‍රවාහන පහසුකම් වගේම නවාතැන් පහසුකම් අප සැපයිය යුතුයි. ඇයට නිවසක් ලබාදී තිබුණත් එය ඇයට ප්‍රමාණවත් නැහැ. අපි රටක් හැටියට තර්ජනීගේ දක්ෂතා ගත්තට එයාට අපි උදව් කලාද කියන ගැටළුව මෙතනදි මතුවෙනවා. ඒ වගේම තර්ජනීට අවශ්‍ය පහසුකම් උපරිමයෙන්ම ලබා දෙන්න පෞද්ගලික අංශයේ සහය ලබාගන්න මම අදහස් කරනවා. මේ කතිකාවෙන්ම ඒසඳහා මම ඔවුන්ට විවෘතව ආරාධනා කරනවා. අනෙක තර්ජනීව රැක බලාගන්නවා කියන්නේ අපි ජාත්‍යන්තරයට හොඳ පණිවුඩයක් දෙනවා කියන එකයි. තර්ජනීට වගේම අපේ හැම ක්‍රීඩිකාවකටම පෞද්ගලික අංශයේ භාරකාරකත්වයක් ලැබෙනවනම් ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ සිහිනයක් වන්නේ නැහැ.

එතකොට සභාපතිතුමියණි, මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් නැද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා නේද?

තියෙනවා තියෙනවා. තර්ජනී වගේම තවත් දක්ෂ දරුවෝ අපි හඳූනගෙන තියෙනවා. වෙනත් රටවල වගේ අපේ ළමයින්ට නිසි අයුරින් තාක්ෂණික හා විද්‍යාත්මත පුහුණුවීම් හෝ උපදෙස් නොමැති වුණාට ඔවුන්ට ක්‍රීඩාව සම්බන්ධයෙනුත් ජයග්‍රහණ හඹායාම පිළිබඳවත් පුදුම උනන්දුවක් හා කැපවීමක් තියෙන්නේ. ගමේ භාෂාවෙන් ඕකට කියන්නේ ‘ගාය‘ කියලා. එවැනි ජයග්‍රහණ හඹා යන ‘ගාය‘ තියෙන දරුවන් අපි රැකබලා ගතයුතුයි. මේ සම්බන්ධයෙන් මම ක්‍රීඩා ඇමතිතුමා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිට තර්ජනී වගේම දක්ෂ ක්‍රීඩිකාවෝ රාශියක් ඉන්නවා. ඉඳලත් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඔවුන්ටත් උපරිම පහසුකම් දීලා ක්‍රීඩාව පවත්වාගෙන යාමට මූලිකත්වය ගැනීම තමයි අපේ වැඩසටහන වෙන්නේ. 

දැල් පන්දු විනිසුරු කමිටුව සම්බන්ධයෙන් ගැටළු පවතිනවා නේද ?

අපේ විනිසුරුවන් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හා අත්දැකීම්වලින් සපිරි පිරිසක්. මෙතන තියෙන්නේ පුහුණුකරුවන් පිළිබඳ ගැටළුවකුයි. ඔවුන් ඇතැම් අවස්ථාවලදී තරග ජයග්‍රහණ කරවන්ඩ විනිසුරුවරුන්ට බලපෑම් කරන බව අපට දැනගන්නට ලැබිලා තියෙනවා. ඇත්තෙන්ම මෙය කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම ක්‍රීඩාවේ පැවැත්මට බාධාවක්. විනයක් නැති තැන ක්‍රීඩාවක් නැහැ. ඒ නිසාම මම මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා.

ඔබ පාසලෙන් දැල් පන්දුව අතට ගත් කෙනෙක්. දැල් පන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමෙන් අනාගතයේ ජාතික කණ්ඩායම ස්ථාවර කරගත හැකියි නේද?

ඇත්තෙන්ම එය අවිවාදයෙන්ම පිළිගත යුතුයි. දැල් පන්දු ක්‍රීඩාවේ ජීවය පවතින්නේ පාසලෙයි. මෙවර දැල් පන්දු පාසැල් සංගමයේ සභාපතිනිය හැටියට තේරී පත්වුනේ කුරුණෑගල මලියදේව බාළිකාවෙ විදුහල්පතිනිය වන නිරෝදා අබේවික්‍රම මහත්මියයි. මම ඒ ගැන හුගක් සතුටු වෙනවා. කුරුණෑගල ක්‍රීඩාවට උපතින්ම දක්ෂ ළමයි ඉන්න පළාතක් හැටියට හඳූන්වන්න පුළුවන්. දැල් පන්දු ක්‍රීඩාවෙන් දිවයිනේ හතරවන තැන හිමි කුරුණෑගලටයි. ඒ වගේම නව සභාපතිනියට හොඳ දැක්මක් තිබෙන බව පේනවා. මම හිතනවා සමස්ත ලංකා පාසල් මට්ටමින් දැල් පන්දු ක්‍රීඩාව ඉහළට තබන්න ඇයට හැකිවේවි. ඒ සඳහා උපරිම සහය අප ඇයට ලබා දෙනවා.

අවසන් වශයෙන් ඔබට මේ සාකච්ඡාව වෙනුවෙන් යමක් පවසන්න තියෙනවා මේක ඊට අවස්ථාව කරගන්න?

දැල් පන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළටම ගෙනියන්න මේ දරණ වෙහෙසට මම මිලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙන්න කැමති හැම කෙනෙකුටම මම විවෘතව ඇරැයුම් කරනවා එන්න ස්වෙච්ඡාවෙන් ඇවිත් අපිත් එක්ක වැඩ කරන්න කියලා. දරුවෝ කියන්නේ අපේ රටේ සම්පතයි. ඔවුන්ට ක්‍රීඩාවෙන් නිසි මග පෙන්වා දුන්නොත් ජව සම්පන්න, ඉවසිලිවන්ත, ඥානාන්විත, පුරවැසියෙක් රටට දායාද කරන්න පුළුවන්. අපේ පරම්පරාවෙ ඒ කැපවීම නිවැරදිව කලොත් ඒක අනාගතයට හොඳ ආයෝජනයක් වේවි.

අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ

Comments