තමන් මත යැපෙනු මිස අනුන් මත යැපෙන්නේ කුමට? | Page 4 | සිළුමිණ

තමන් මත යැපෙනු මිස අනුන් මත යැපෙන්නේ කුමට?

දෛවය සරදම් පමණක් නොව මිතුදම් ද  ගොඩනඟයි

අංගසම්පූර්ණ දරුවකු ලෙසින් ජන්මය ලැබීම ඇත්තෙන්ම භාග්‍යයකි. දෛවයේ සරදමින් ඒ භාග්‍යය අහිමි ව උපදින්නන්ගෙන් ලෝකය හිඟ නොවන්නේ ය. එසේ වූ පමණින් ජීවිතය අඳුරු නොකර ගෙන, ඒ ආබාධිත බව ම අභියෝගයක් බවට පමුණුවා ගනිමින් අනාගතය ජයගත්තවුන් සැබෑ විරුවන්, වීරවරියන් වන්නෝ ය. ටට්යානා මැක්ෆෙඩන් ඒ කුලකය නියෝජනය කරන්නියකි.

1989 වසරේ අප්‍රේල් 21 වැනි දින, එවකට සෝවියට් සංගමයේ ලෙනින්ග්‍රෑඩ් හි දී ඇය උපත ලැබුවේ සුෂුම්නාවේ පහළ කොටස අක්‍රියව, සදහටම දෙපයින් සිට ගත නොහැකි දැරියක වෙමිනි.

“මේ දරුවා කොහොමටත් තව වැඩි කාලයක් ජීවත්වෙන එකක් නම් නැහැ” ඇය ගැන වෛද්‍යවරුන් කීවේ එලෙසිනි.

ඇය හදා වඩා ගැනීමට තරම් හැකියාවක් නොතිබූ මවුපියෝ දියණිය ළමා නිවාසයකට යොමුකළ හ. ඒ නිවාසය කොතරම් අඩු පහසුකම් සහිත වූවක්දැයි කිවහොත් ඇයට රෝද පුටුවක් ලබාදීමට තරමේ හැකියාවක් නොවූවකි. ඒ හේතුවෙන් ඇය ජීවිතයේ මුල් සය වසරම ගමන් කළේ දෑතේ සවියෙන් ලිස්සා යමිනි.

මෙවන් අසරණ තත්ත්වයක පසු වූ ටට්යානා සොයා 1993 දී ඇයගේ ‘වාසනාව’ පැමිණියේ ය. ඒ, ඩෙබොරා මැක්ෆෙඩන් මහත්මිය යි. ඇය එසේ මෙසේ තැනැත්තියක නොවූවා ය. එක්සත් ජනපද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආබාධිතයන් පිළිබඳ කොමසාරිස්වරියකි.

“අපි මේ පැටියව අරගෙන හදා ගමු. මේ දරුවව අපි අපිට ගෙන යන්න පුළුවන් ඉහළම තැනකට ගෙන යමු. ඇත්තටම මට මේ දරුවව මෙතන දාලා යන්න හිත දෙන්නෙම නැහැ.” ඩෙබොරා පැවසුවේ උතුරා ගිය මවු දරු සෙනෙහසිනි. සිය සැමියා ද ඒ යෝජනාවට එකහෙළාම එකඟ වූයේ කරුණාව උතුරා ගිය ඇත්තකු වූ හෙයිනි. ඔවුන් මේ දැරිය රැගෙන ගොස් අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝරි හි පදිංචි වූ හ.

අලුත් මවුපියෝ ටට්යානාගේ මාංශ පේශි සවිමත් කරවීමට ඇය විවිධ ක්‍රීඩාවල යෙදවූහ. පිහිනීම, ජිම්නාස්ටික්, රෝද පුටු පැසිපන්දු, රෝද පුටු ධාවනය ඒ අතර විය.

ඉගෙනීමට ද උපන් හපනියක වූ ටට්යානා, ඉලිනොයිස් විශ්වවිද්‍යාලයට පිවිස මානව සංවර්ධනය සහ පවුල් අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබාගත්තා ය. එවකට ඇය එම විශ්වවිද්‍යාලයේ රෝද පුටු පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකාවක් ද වූවා ය.

ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ දී ටට්යානාහට රෝද පුටු පැසිපන්දු ක්‍රීඩාව පුහුණු කරවූයේ ඇඩම් බ්ලීක්නි නම් ප්‍රවීණ රෝද පුටු ධාවකයා ය. ඔහු වෙතින් ලද ක්‍රමානුකූල පුහුණුව ඇය ක්‍රීඩාව තුළින් යාමට තෝරා ගෙන තිබූ ඉදිරි ගමනට මහඟු රුකුලක් විය.

“මාව හදා වඩා ගත්ත අම්මයි තාත්තයි, මගේ හෙවණැල්ල වගේ හිටපු පුහුණුකරුයි නොහිටින්න අද මට අනාගතයක්, ජීවිතයක් නොතිබෙන්න තිබුණා. ඒ තුන්දෙනාගෙන් ලැබුණු යෝධ ශක්තිය “මට ඇවිදගන්න බෑ” කියන දුර්වල සිතුවිල්ල යටපත් කළා.” ටට්යානා පවසන්නේ කෘතගුණ සපිරි හැඟීමෙනි.

ටට්යානා අමෙරිකාව තුළ වඩාත් ප්‍රචලිත වූයේ රෝද පුටු ධාවන ශූරියක ලෙසිනි. එරට ක්‍රීඩා බලධාරීන් ඇය පැරාලිම්පික් තරග සඳහා යොමු කරවූයේ මේ හැකියාව තුළින් ඇය සිය දේශයට අභිමානයක් උරුම කර දෙනු ඇතැ’යි යන දැඩි විශ්වාසයෙනි.

ටට්යානා ඒ විශ්වාසය අකුරට ම රැක්කා ය. ඒ, පැරාලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමිනි. ඒ, රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 7 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් ලෙසිනි.

ඇය මුල් වරට පැරාලිම්පික් තරගාවලියකට ඉදිරිපත් වූයේ 2004 දී ග්‍රීසියේ ඇතෑන්ස්හිදී ය. එවිට 15 හැවිරිදි වූ ඇය එම වසරේ අමෙරිකාව නියෝජනය කළ පැරාලිම්පික් ක්‍රීඩා කණ්ඩායමේ ළාබාලතමයා වූවාය. ඒ මුල් තරගාවලියේ දී ම ඇය රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගත්තා ය.

ඇය ලෝක ශූරතා රෝද පුටු ධාවන තරගවලින් ලබා ඇති රන්, රිදී හා ලෝකඩ පදක්කම් ගණන පිළිවෙළින් 13 ක්, 3 ක් හා 1 කි. 2013 දී පැවැති මේ තරගාවලියේ දී ධාවන ඉසවු 6 කින් ඇය රන් පදක්කම් 6 ක් දිනා ගත්තා ය. එතෙක් පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී රන් පදක්කම් 6 ක් දිනාගත් ප්‍රථම මලල ක්‍රීඩිකාව වූයේ ඇයයි.

2010, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 හා 2021 වසරවල දී පැවැත්වුණු නිව්යෝර්ක් සිටි රෝද පුටු මැරතන් ධාවන තරගවලින් ටට්යානා දිනා ගෙන ඇති රන් පදක්කම් ගණන 5 කි, රිදී පදක්කම් ගණන 4 කි, ලෝකඩ පදක්කම් ගණන 1 කි.

ටට්යානා මේ වන විට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ජාතික මෙන් ම අන්තර්ජාතික තලය තුළ දැවැන්ත ආකර්ෂණයක් හා පෞරුෂයක් දිනාගෙන සිටින චරිතවලින් එකක් බවට පත්ව අවසන් ය.

“මට ක්‍රීඩාවෙන් වගේ ම ජීවිතය ජයගැනීම කියන ක්ෂේත්‍රවලින් මේ තරම් දුර ගමනක් එන්න බලපෑවෙ එකම එක කාරණයයි. ඒ තමයි මට මා ගැන ම තිබුණු අසීමිත, අපරිමිත විශ්වාසය. මට කකුල් දෙකෙන් ප්‍රයෝජනයක් නැති වුණත් ශක්තිමත් අත් දෙකක් ලැබිලා තියෙනවා. ඒ නිසා කකුල් නැති අඩුවක් මට දැනෙන්නෙම නැති තරම්. මට ලෝකයට දෙන්න තියෙන්නෙ එක පණිවිඩයයි. ඒ තමයි කිසිම දවසක කිසිම කෙනෙක් තවත් කෙනෙක් මත යැපෙන්නෙ නැතුව තමන්ට තියෙන ශක්තිය ගැන උපරිම විශ්වාසය තියලා ඒ තුළින් දියුණුවක් ලබන්න කියන එක.” ටට්යානා එසේ පවසන්නේ තමා ලද පෞද්ගලික අත්දැකීම ලොවටම උරුම විය යුතු පොදු දායාදයක් ලෙස සලකමිනි.

Comments