ටේලර් ගොයියට වසර තුනහමාරක් මහන්න බෑ | Page 4 | සිළුමිණ

ටේලර් ගොයියට වසර තුනහමාරක් මහන්න බෑ

 

‘ටේලර් කියන්නේ සන්නාලියාට. ඔහු මහන මැෂිමේ මැහුවේ නැති වුණත් සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රිකට් පිටියේදී මහා මැස්මක නිරත වූ ක්‍රීඩකයෙක්. ඒත් පසුගියදා අයි.සී,සී. ය ඔහුගේ මේ මැහිල්ලට තිත් කොමාවක් දාන්න පෙරට ආවා. කොහොම වුණත් ඔහු ඒ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න බව ප්‍රකාශ කර තිබුණා. ඒත් ක්‍රීඩාවේ වෙනස් අන්තයකට සම්බන්ධ වෙන්න ඔහුට තිබුණු අවස්ථාවන්වලට මේ සිදුවීමෙන් අර්බුදයක් මතුවෙනවා. කොහොම හරි දැන් ඉතිං ටේලර් ගොයියාගේ මැහීම සදාකාලයටම නතර වීමක් විධිහට එය සලකන්නත් පිළිවන්. ඒ ගැන කතාකරමින් ක්‍රීඩා තබන සටහනක් මේ.‘

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුනහමාරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) පියවර ගෙන තිබේ. සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ ටේලර් වරද පිළිගෙන ඇති බවත් ඒ අනුව අදාළ තහනම ජනවාරි 28 වැනි දා සිට ක්‍රියාත්මක යව බවයි.

ඒ, අයි.සී.සී දූෂණ විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) යටතේ එල්ල වූ චෝදනා 4 ක් හා තහනම් උත්තේජක නීතියක් උල්ලංඝනය කළ බවට ඔහු විසින් පිළිගැනීමත් සමඟයි.

35 හැවිරිදි බ්‍රෙන්ඩන් ටේලර් 2004 වසරේ සිට 2021 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 284 කට ක්‍රීඩා කර ලකුණු 9,938 ක් රැස් කර ඇත්තේ ශතක 17 ක් සමඟින් ය.

අයි.සී.සී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ එල්ල වූ චෝදනාවලට අමතරව බ්‍රෙන්ඩන් ටේලර් බෙන්සොයිල්කොග්නයින් නම් වූ තහනම් උත්තේජකය ලබා ගත් බවට ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු කෙරුණු පරීක්ෂණයකින් අනාවරණය වී තිබූ බවයි අයි.සී.සීය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව එකී වරදට මාසයක ක්‍රිකට් තහනමක් පනවා ඇතත්, එය අයි.සී.සී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ පැනවූ වසර තුනහමාරක ක්‍රිකට් තහනමට සමගාමීව ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව බ්‍රෙන්ඩන් ටේලර්ට 2025 වසරේ ජූලි 28 වැනිදා සිට යළි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය හැකි බවත් අයි.සී.සීය සදහන් කරයි.

තරග පාවාදීම (spot fix) සඳහා තමන්ට කෙරුණු යෝජනාවක් සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයට නිසි කාලයේ දී දැනුම් දීමට තමා අපොහොසත් වූ බව පසුගිය දා සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කරමින් බ්‍රෙන්ඩන් ටේලර් විසින් පිළිගෙන තිබුණි.

එකි වරද හේතුවෙන් තමාට අයි.සී.සීයෙන් වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පනවනු ඇති බව බ්‍රෙන්ඩන් ටේලර් සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.

ICC විසින් 'Mr S' ලෙස හඳුන්වනු ලබන ඉන්දීය ව්‍යාපාරිකයකු සමඟ ඉන්දියාවේ පැවැති රැස්වීමක දී ඔහු කොකේන් භාවිත කරන ආකාරය රූ ගත කර ඇති බව ටේලර් හෙළි කළේ ය.

ඉන්දීය ව්‍යාපාරිකයකු විසින් තමාට තරග පාවාදීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ බව ද ඔහු අනාවරණය කළේය.

2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී එකී ව්‍යාපාරිකයා සමඟ හමුවක් සිදුව ඇත්තේ අනුග්‍රාහකත්වය ලබා දීම හා සිම්බාබ්වේ දේශය තුළ විස්සයි20 තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙසට ටේලර් ලද ආරාධනාවකට අනුව ය.

එකී සාකච්ඡාව අතරතුර දී ඔහුට මත්ද්‍රවයක් පානය කිරීමට ලබා දී ඇති අතර, මත්ද්‍රව්‍යය ලබා ගන්නා ආකාරය රහසිගතව විඩියෝ ගත කිරීමට ඉන්දීය ව්‍යාපාරිකයා කටයුතු කර තිබේ.

පසුව එකී විඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කරන බව පවසමින් තරග පාවා දීම සඳහා තමාට තර්ජනය කළ බව ටේලර් කියා සිටියි.

ඒ අනුව තරග පාවාදීම සඳහා තමාට

අදාළ ව්‍යාපාරිකයාගෙන් අමෙරිකානු ඩොලර් 15,000 ක මුදලක් ලැබුණු නමුත්, කිසි විටක තරග පාවා දීමට කටයුතු නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.

පවුලේ ආරක්ෂාව පිළිබද සලකා බලා, ඉන්දියාවේ දී සිදු වූ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම ප්‍රමාද කිරීමට තමාට සිදු වූ බවයි සිම්බාබ්වේ හිටපු නායකයා සඳහන් කරන්නේ.

මාස 4 කට පමණ පසුව තමා ඒ පිළිබද අයි.සී.සී ය ට දැනුම් දුන් බව ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

35 හැවිරිදි ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ දී යි. ලබන සතියේ 36 වැනි වියට පා තබන ටේලර් එතැන් සිට පුනරුත්ථාපන සායනයකට ඇතුළත් වීමට ද නියමිතය .

ICC හි අයි.සී.සී දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් පැවසුවේ සිම්බාබ්වේ වෙනුවෙන් වසර 17ක් ක්‍රීඩා කළ සහ අවම වශයෙන් දූෂණ විරෝධී සහ තහනම් උත්තේජක සැසි 13කට සහභාගී වූ ටේලර් නියමිත වේලාවට මෙකී සිද්ධින් වාර්තා කිරීමට අපොහොසත් වීම කනගාටුවට කරුණක් බවයි.

ඔහු වැනි අත්දැකීම් ඇති ක්‍රීඩකයකු එම වගකීම් ඉටු නොකිරීමට තීරණය කිරීම බලාපොරොත්තු සුන් කරවන සුලුය, කෙසේ වෙතත් ඔහු සියලු චෝදනා පිළිගෙන තිබෙනවා,‘ මාෂල් පැවසීය.

මෙවැනි සිද්ධීන් සිදු වූ විගස වාර්තා කරන ලෙස අනිකුත් ක්‍රීඩකයින්ට බ්‍රෙන්-ඩන්ගේ පණිවිඩය මම ප්‍රතිරාවය කරමි, එබැවින් ඕනෑම දූෂිත ක්‍රියාකාරකමක් හැකි ඉක්මනින් ආපස්සට හැරවිය හැකි ය. ඔහුගේ පුනරුත්ථාපනය සඳහා අපි ඔහුට සුබ පතනවා.‘ යැයි ICC හි දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් වැඩිදුරටත් පවසයි.

 

Comments