කොවිඩ් අර්බුද නෑලු පී.එස්.එල්. සුපුරුදු පරිදි | Page 2 | සිළුමිණ

කොවිඩ් අර්බුද නෑලු පී.එස්.එල්. සුපුරුදු පරිදි

කොවිඩ් වයිරසයට එරෙහි ව ගන්නා සියලු ආරක්ෂිත ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් ම පවත්වා ගනිමින් අර්බුදයකින් තොරව පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර සංවිධානය කරන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් නුවර කේන්ද්‍ර කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට තීරණය කර ඇති බව ඔවුන් පසුගිය දා නිවේදනය කළේ ය.

‘දැනටමත් තරගාවලියට සහභාගිවන්නට විදේශීය ක්‍රීඩකයන් කැමැත්ත පළ කරලා තිබෙනවා. කණ්ඩායම් හයක් මේ තරගාවලිය වෙනුවෙන් තරග වදිනවා. කරච්චි නුවර තමයි තරගාවලියේ පළමු අදියර පවත්වන්නේ. අවසන් අදියර ලාහෝරය කේන්ද්‍ර කර ගෙන සංවිධානය වනවා.‘ පාකිස්තානය නිවේදනය කර තිබුණේ ය.

පසුගිය වසරේ පීඑස්එල් තරගාවලියට එක්වීමට සිටි ක්‍රීඩකයන් හය දෙනෙකු හට කොවිඩ් වැලඳී ඇතැයි සනාථ වීමත් සමඟ තරගාවලිය කල් දැමිණි. ඒ ජීව බුබුළක රඳවා සිටි ක්‍රීඩකයන් වීම හේතුවෙනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තරගාවලිය අඩුඩාබි වෙත රැගෙන යෑමට සංවිධායකයන්ට සිදුවීම ය.

මෙවර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණ සතු උපරිම ධාරිතාව භාවිත කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි පාකිස්තානු රජය පවසා තිබේ. කෙසේ නමුත් කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය හේතුකොට ගෙන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ සියයට විසි පහක ධාරිතාවක් පමණක් සහිත ව තරග පැවැත්වීමට ය. ඒ අනුව නරඹන්නන් අට දහසක් පමණ මෙවර තරග නැරඹීම පිණිස ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හිමිකරගනු ඇත.

පසුගිය 2020 වසරේ සිට පාකිස්තානය තුළ දහතුන් ලක් අසූ එක් දහස් එකසිය පනස් දෙදෙනකු කොරොනා ආසාදිතයන් බවට වාර්තා වී ඇත. ඉන් මියගිය සංඛ්‍යාව විසි නව දහස් එකසිය විසි දෙකකි. මේ තත්ත්වය මත පාකිස්තානය විසින් පී.එස්.එල්. තරගාවලිය ඉතා සීමිත සජීවී ප්‍රේක්ෂක ආකර්ශනයක් සහිත ව පැවැත්වීම කෙරේ දැඩි අවධානය යොමු කර තිබේ. දැනටමත් පාකිස්තානය තුළ විවිධ ස්ථානවල සවිකර ඇති තරගාවලිය පිළිබඳ විශාල දැන්වීම් පුවරුව සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කර ඇත්තේ ප්‍රේක්ෂක ආකර්ශනය අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස ය. තරග සංවිධායකයන් අපේක්ෂා කරනුයේ රූපවාහිනී විකාශය මගින් මෙම තරග නැරඹීම ඉහළ නැංවීමට හැකියාව පවතින බවයි.

‘එය හරිම අපූරු තත්ත්වයක්. මොකද අපේ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් විශාල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි යි. ඒ නිසා ඔවුන් ක්‍රිකට් තරග නැරඹීමට දක්වන්නේ පුදුම කැමැත්තක්. කොහොම වුණත් ප්‍රවේශපත්‍ර මිල වැඩි වෙද්දී හා ආරක්ෂක රැකවල් දැඩි වෙද්දී ප්‍රේක්ෂකයෝ තරග නරඹන්න එන ප්‍රමාණය අඩු වෙන්න පිළිවන්. මොකද කොවිඩ් අර්බුදත් එක්ක තරගයක් නරඹන්න වැඩි ගාණක් දීලා දුෂ්කරතා විඳින එක ගැන ප්‍රේක්ෂකයෝ දෙපාරක් හිතන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මෙවර තමන්ගේ කණ්ඩායම්වලට සුබ පතන්න පිටියට එන ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් අපේක්ෂා කරන්න පිළිවන්.‘ පාකිස්තානයේ ප්‍රාන්ත බලධාරියකු පවසා තිබුණේ සජීවී ප්‍රේක්ෂක සහභාගිත්වය යම් පමණකට අඩු වනු ඇතැයි විශ්වාසය පළ කරමිනි.

තරගාවලියේ එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩකයන් තිස් දෙනෙක් ඇතුළත් කර ගත හැකි වන අතර සෑම තරගයක් වෙනුවෙන් ම ක්‍රීඩකයන් 13 දෙනෙක් සමඟ ඉදිරියට යාමට කණ්ඩායමකට සිදුවේ.

එරට ක්‍රිකට් ප්‍රධානී රමීෂ් රාජා පවසන්නේ දැනටමත් විදේශීය ක්‍රීඩකයන්ගේ දැඩි කැමැත්තක් පී.එස්.එල්. තරගාවලිය වෙනුවෙන් පවතින බව යි. බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් ජේසන් චාර්ල්ස්, නවසීලන්තයේ කොලින් මුන්රෝ ද රිලී රොසුවු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ද එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝඩන් හා ඇලෙක්ස් හේල්ස් ද මෙවර තරගාවලියට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

‘අපිට ප්‍රවේශපත්‍ර ගන්න පුළුවන් නම් අපි තරග නරඹන්න එනවා. කොවිඩ් ප්‍රශ්නය ගැන වද වෙන්නේ නෑ.’ යැයි දැනටමත් ඇතැම් ප්‍රේක්ෂකයන් පී.එස්.එල්. තරගාවලියට තමන් දක්වන දැඩි කැමැත්ත පිළිබඳ පවසා ඇත.

Comments