අට හැවිරිදි අස්මිතා ශ්‍රී ලංකාවට ජය ගෙනේ | සිළුමිණ

අට හැවිරිදි අස්මිතා ශ්‍රී ලංකාවට ජය ගෙනේ

අස්මිතා

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ CFSL ගෝල්ඩන් ජුබිලි ජාත්‍යන්තර ඔන්ලයින් යොවුන් තරගාවලියේ වයස අවුරු අටෙන් පහළ බාලිකා අංශයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ටී.එම්.අස්මිතා සමත් වූවා ය.

ඒ අනුව ඇය විසින් අවුරුදු 8 න් පහළ CFSL ස්වර්ණ ජයන්තිය 2022 චෙස් ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, තරග වට 7 කින් සම්පූර්ණ ලකුණු 7 ම ලබා ගැනීමද විශේෂත්වයකි. අස්මිතා ආරම්භයේ සිටම ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකාවේ සනුල්‍යා ගුරුගේ, චානුමි ජනුල්‍යා, කමණ්ඩි හිරිමුතුගොඩ, සස්වින්දි ගොඩකන්දගේ, බී ප්‍රදේක්ෂස්, ලෝහස්නා ජයවීර යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 6 දෙනාම පරදවනු ලැබිණි. ඒ අනුව එම වයස් කාණ්ඩයේ රන් පදක්කම සහ ශූරතාව ඇයට හිමිවිණි.

ඉන්දියාවේ ට්වේශා අශිෂ් ජේන්, 6 වැනි වටයේ දී අස්මිතා හමුවේ පරාජයට පත් වූ නමුත්, සෙනුලි සිරිවර්ධන, හසදි සෙතුම්සා සයුමි සෙයන්සා, දැහැමි ලියනගේ, යෂ්වි පොන්නම්පෙරුම සහ ඔස්ට්‍රේලියාව සෙනුදි ද වාස් සමඟින් අනෙකුත් තරග 6 ම ජය ගනිමින් ලකුණු 6 ක් හිමිකරගත් හෙයින් රිදී පදක්කම හිමි කරගත්තාය.

ලොන්සා ජයවීර, ඔෂිනි ගෝමස් සහ ජෙනුවි සහබන්දු ද ට්වේෂා සමඟින් ලකුණු 6 ක් ලබා සම තත්ත්වයට පත්වූහ. ලොහාන්ස් සිය දක්‍ෂතාවය මත ලෝකඩ පදක්කම දිනාගත් අතර ඔෂිනි සහ ජෙනුවි අවසන් ශ්‍රේණිගත කිරීම අනුව 4 සහ 5 ස්ථාන ලබා ගත්හ.

ලොහන්සා විසින් නුහන්සා තම්මිආරච්චි, තිනුති විජේතුංගආරච්චි, ඔෂිනි ගෝමස්, ශ්‍රී ලංකාවේ හිමංසිකා අබේසේකර සහ ඉන්දියාවේ ශ්‍රුතිකා ආනන්ද්කුමාර් පරාජය කරනු ලැබිණි. ඇයගේ එකම පරාජය වූයේ අනුශූරිය වූ ට්වේෂා හමුවේයි.

මේ අතර මැලේසියාවේ යූ ටියැන් පෝහ් අවුරුදු 18 න් පහළ විවෘත කාණ්ඩ ජය ගැනීමට සමත්විය. පෝ එම වයස් කාණ්ඩයේ ශුරතාව දිනා ගත්තේ තරග වට 7 කින් ලකුණු 6 ½ ක් රැස්කරමිනි.

පොහ් හමුවේ මලීෂා වීරතුංග, එසදි නවන්සා, අලයිනා වින්සට්(ඉන්දියා) ඉසර බනිදු දහනායක, තිමෙත් ඇලවෙල සහ කෝසල සන්දීප පරදවීය. ඒ අතර වාරයේ තම තෙවැනි වටයේ තරගය කුසල්වින් ලියනගේ හා සම කරගත් ඔහු එම වයස් කාණ්ඩයේ රන් පදක්කමට හිමිකම් කීය.

තේනුජ තිමෙත් අලවෙල ලකුණු 5 ½ ක් රැස්කරමින් රිදී පදක්කම දිනාගත්තේ ය. ඔහු අවසන් වටයේ දී බ්‍රිජේෂ් සරවනභවන් සමඟ තරග වටයේ දී සනුත පෙසන්ජිත්, කේ.ජී. විමලරත්න, ඇලයිනා වින්සන්ට් (ඉන්දියාව), ඉසර බනිඳු දහනායක සහ කෝසල අමරතුංග පරාජය කරමින් ජයග්‍රාහකයන් හමුවේ පමණක් පරාජයට පත්වෙමින් පදක්කම් සටහනට පිවිසියේ ය. ඉන්දියාවේ වින්සන්ට් ඇලයිනා තවත් ක්‍රීඩකයින් 4 දෙනෙකු සමඟින් ලකුණු 5 ක් ලබාගත් නමුත් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විණි.

වින්සන්ට්, ගීනුක ගුණවීර, නෙත්විඳු ජයවර්ධන, මලීෂ වීරතුංග, පාමොක් සමරනායක සහ හරිත හංසන් පරාජය කළ අතර යූ ටියැන් සහ අලවෙල හමුවේ තරග දෙකක් පරාජයට පත්විය. ගේට්වේ ජාත්‍යන්තර පාසලේ බ්‍රිජේෂ් සරවනභවන්, චේනිත මිත්විඳු ඕවිටිගල, ධර්මාශෝක විද්‍යාලයේ එසන්දි නවංස සහ අශෝක විද්‍යාලයේ කවිෂ්ක ගිම්ෂාන් ද තරග 7 කින් ලකුණු 5 ක් ලබා සම තත්ත්වයෙන් පසුවන ලකුණු සටහනට අනුව 4, 5, 6 සහ 7 ස්ථාන හිමිකරගත්හ.

CFSL ගෝල්ඩන් ජුබිලි ජාත්‍යන්තර ඔන්ලයින් යොවුන් ශූරතාවලිය වයස අවුරුදු 8, 10, 12, 14, 16 සහ 18 යන වයස් කාණ්ඩ 6 ක් යටතේ පැවැත්විණි. මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සහභාගි වූ හ. තරගාවලිය වට 7 කින් ස්විස් ක්‍රමය අනුව ටෝර්නෙලෝ වේදිකාවේ පැවැත්වීය.

Comments