
'ගෙදර දී සංචාරක සිම්බාබ්වේ පිල 2-1 ක් වශයෙන් පරාජයට පත්කරමින් ජයපැන් බොන්නට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සතියේ සමත් විය. සිම්බාබ්වේ වැනි ලෝක ක්‍රිකට් සිතියමේ පසුබෑමක රැඳුණු කණ්ඩායමක් ඉදිරියේ තරගාවලියක් ජයග්‍රහණය කිරීම මහා ඉහළින් කතා කළ නොහැකි වුව ද ජයග්‍රහණය තුළ ඇති සාධනීය ලක්ෂණ පිළිබඳව මෙම ලිපියෙන් සලකා බැලේ.'
නව වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු ජාත්‍යන්තර එක්දින තරගාවලිය සිම්බාබ්වේ පිලට එරෙහිව 2-1 ලෙස ජය ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පසුගිය දා සමත් විණි. ඒ අනුව ශ්‍රී ලංකාව එම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන සුපර් ලීග් වටයේ සිවු වැනි ස්ථානය කරා ඉදිරියට පැමිණියේ ය.
පිතිකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ තර-ගාවලියක් ලෙස පසුගිය දා මහනුවර පල්-ලෙකැලේ පිටියේ දී නිමාව දුටු දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය දැක්විය හැකි ය. එහෙත් අවසන් තරගය තුළ යම් පමණකට සිය ආධිපත්‍යය පැතිරීමට පන්දු යවන්නෝ සමත් වූ හ.
තරගාවලිය ආරම්භවීමට පෙර සිම්බාබ්වේ යනු දුර්වල කණ්ඩායමක් ලෙස ඇතැමුන් හඳුන්වා දී තිබූ නමුත් ඒ සියල්ල වෙනස් කළ ඔවුහු මෙම තරගාවලිය වඩා උණුසුම් තරගාවලියක් බවට පත් කිරීමට කටයුතු කළහ. පළමු තරගය පරාජය වී දෙවැනි තරගයෙන් ජය ගත් ඔවුන්ගේ පිතිකරුවන් මුල් තරග ද්විත්වයේ දී ඔවුන්ගේ ලකුණු පුව-රුවට ලකුණු 300 ට ආසන්න සංඛ්‍යාවක් (පිළිවෙළින් පළමු තරගයේ 296 ක් හා දෙවැනි තරගයේ දී 302 ක් ලෙස) එක්කිරීමට සමත් වීමෙන් මෙය පැහැදිලි විය.
කෙසේ නමුත් ඔවුන්ගේ පිතිකරණයේ ශක්තිය රඳා පවතිනුයේ පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනා වූ සින් විලියම්ස් නායක ක්‍රෙග් එර්වින් හා සිකන්දර් රාසා මත බව පෙනී ගිය කරුණකි. ඔවුන් තිදෙනාට අමතරව ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කටියානෝ හා චකබ්වා දෙදෙනා ද මුල් තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහර දුන්නේ කිසිදු පිඩනයකින් තොරව ය.
කෙසේ නමුත් මුල් තරග දෙකේ දී මුලින්ම පන්දුවට පහර දී විශාල ලකුණු ගණනක් රැස් කළ ද ලකුණු පසු පස හඹා යාමේ දී ඔවුන් පීඩනයට හසු වන බව අවසන් තරගයේ දී මැනවින් පැහැදිලි විණි. ඒ අනුව අවසන් තරගයේ පන්දුවාර 24.4 ක් තුළ ඔවුහු ලකුණු 70 ක ට දැවී ගියහ. මෙම තරගයේ දී ඔවුන්ගේ පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනා ලකුණු අතරට නොපැමිණීමත් කැපී පෙනිණි.
සංචාරකයන්ගේ පන්දු යැවීම දෙස බලන විට දෙවැනි තරගය ජය ගැනීම සඳහා ප්‍රමුඛතම වේග පන්දු යවන්නන් දෙදෙනා වූ ටෙන්ඩයි චෙතාරා (52/03) හා බ්ලෙසින් මුෂරානි (56/03) සාර්ථක පන්දු යැවීමක නිරත වුව ද ජගත් පිටියේ සාර්ථක වීම සඳහා ඔවුනගේ පන්දු යැවීමේ අංශය කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැහැදිලිව දිස්විණි. විශේෂයෙන් දඟ පන්දු අංශය කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් යොමු කළ යුතුම ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම දෙස බලන විට වඩාත් කැපී පෙනුණු පන්දු යවන්නා ලෙස දැක්විය හැක්කේ කලකට පසු කණ්ඩායමට එක්වූ දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ය. අවසන් තීරණාත්මක තරගයේ දී ඔහු ගේ 10/04 වශයෙන් වූ පන්දු යැවීම වඩාත් කැපී පෙනුණු අතර පළමු තරගයේ දී 44/02 මෙන් ම දෙවන තරගයේ දී 51/03 ලෙස ඔහු පන්දු යවමින් කඩුලු අතරට පැමිණියේ ය.
කෙසේ නමුත් කඩුලු අතර සිටීමට නොහැකි වුව ද මහේෂ් තීක්ෂණ හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන් තරමක ප්‍රවේශමෙන් පන්දුවට පහර දුන් බවක් දැක ගත හැකි විය. මුල් තරග දෙකේ දී තම පන්දු වාර 10 ම යැවූ ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ මුල් තරගයේ දී 40/00,දෙවන තරගයේ දී ලකුණු 49/01අවසන් තරගයේ දී පන්දු වාර හයක් යවා 10/01 වශයෙනි.
මුල් තරග දෙකේ සිම්බාබ්වේ පිතිකරුවන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහර දුන් ආකාරය දෙස බලන විට තවත් විශේෂඥ දඟ පන්දු යවන්නකුගේ සේවය කණ්ඩායමට එක්කර ගත්තේ නම් එය වඩා ප්‍රතිඵලදායක වනු ඇත. අප එසේ කියන්නේ, නම් දැරු වේග පන්දු යවන්නන් දෙදෙනාට අමතරව මඳ වේග පන්දු යවන්නන් වශයෙන් නායක දසුන් ශානක, චාමික කරුණාරත්න අනිවාර්යයෙන් කණ්ඩායමට ක්‍රීඩා කරන බැවිණි. එසේ වූවා නම් ඇතැම් විට තරග ප්‍රතිඵලය මීට වඩා යහපත් වීමට ඉඩ තිබුණේ ය. අවසන් තරගයට පෙර එය තේරුම්ගත් නිසා දෝ ශ්‍රී ලංකා පිල ඊට අවතීර්ණ වූයේ එක් නම් දැරූ වේග පන්දු යවන්නකු හා විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ ය.
පිති හරඹය දෙස බලන විට මෙම තරගාවලියේ වීරයා බවට පත් පැතුම් නිශ්ශංක තවත් පියවරක් ඉදිරියට තැබුවේ විස්සයි විස්ස හා ටෙස්ට් පිටියේ ආරම්භක පිතිකරුවකු වශයෙන් සාර්ථක වූ අයුරින් එක්දින පිටියේ ද සාර්ථකත්වයට පත් වෙමිනි. ශ්‍රී ලංකාව ජය ගත් පළමු තරගයේ දී 75 හා තෙවන තරගයේ දී ලකුණු 55 ලෙස අර්ධ ශතක ලබමින් ඔහු මෙහි දී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ය. ඔහුට අමතරව චරිත් අසලංක තරගාවලියේ ලකුණු අතර සිටි අනෙක් පිතික-රුවා ය. මුල්තරගයේ දී 71,දෙවන තරගයේ දී 23 හා තීරණාත්මක තෙවැනි තරගයේ දී 52 ක් ලෙස ඔහුගේ ලකුණු රැස් කිරීම වාර්තා විය.
දෙවන තරගයේ දී දිගු කලකට පසු නායක දසුන් ශානක වෙතින් වාර්තා වූයේ නායකත්වයේ සුපිරි ඉනිමකි. තම මංගල එක්දින ශතකය මෙහි දී ඔහු ලබා ගත්තේ සටන්කාමි ලකුණු 102 ක් රැස්කරමිනි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 63 දී කඩුලු 04 ක් දැවී තරමක් අසීරු අවස්ථාවක පසුවද්දී පිටියට පැමිණි ඔහු දියත් කළ ඉනිම වඩා සුවිශේෂී ය.
ඔහුට තම ඉනිම ජයග්‍රහණ-යෙන් අවසන් කිරීමට නොහැකි වීම අවාසනාවකි. නායක දසුන් ශානකට අමතරව කමිඳු මෙන්ඩිස් මෙහි දී අංක තුන පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් දෙවැනි තරගයේ ලබා ගත් ලකුණු 57 වඩාත් විශේෂ වන්නේ අනෙකුත් මුල් පෙළ පිතිකරුවන් දැවී යන අවස්ථාවේ ඔහු පීඩනය මැනවින් හැසිර වූ ආකාරයෙනි. ඔහුට අමතරව වඩාත් පළපුරුදු ක්‍රීඩක දිනෙෂ් චන්දිමාල් මුල් තරගයේ දී ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 75 ක් ලබා ගත් නමුත් ඉතිරි තරග දෙකේ දී ඔහුගේ පිත්තේ දායකත්වය නොලැබීම අවාසනාවකි.
අතීතයේ කුමාර ධර්මසේන මෙන් තමන් ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍යම ක්‍රීඩකයකු බව චාමික කරුණාරත්න මෙම තරගාවලියේදීත් ඔප්පු කර සිටියේ පන්දුවෙන් මෙන් ම පිත්තෙන් ද දස්කම් දක්වමිනි. පසු පෙළ ශක්තිමත් කරමින් පීඩනයක් මධ්‍යයේ තමනට පන්දුවට පහර දිය හැකි බව ඔහු තවදුරටත් ඔප්පු කළ අතර පන්දු යැවීමෙන් ද කඩුලු අතර සිටින්නට සමත් විය.