
සම්මානිතවීම යනු යම් ක්ෂේත්රයක් තුළ නිරතව සිටින කිසියම් පුද්ගලයකු තමන් විසින් ඉටුකළ හා ඉටුකරමින් පවතින භූමිකාව සම්බන්ධයෙන් ලබන්නා වූ ස්වාධීන ඇගයීමකට ය. එය අතිශය වැදගත් සංසිද්ධියකි. ඒ සම්මානයක් ලැබීම යනු අභිප්‍රේරණයක් ද වන හෙයිනි. සම්මානයෙන් හිමිවන්නා වූ අභිප්‍රේරණය සම්බන්ධයෙන් සමස්ත සමාජ විඥානයම හුරුව තිබේ.
එහෙයින් අද වනවිට සම්මාන ප්රදානය යනු විවිධ ක්ෂේත්රයන් තුළ අනිවාර්යයෙන් සිදුකරන්නාවූ ක්‍රියාවලියකි. සම්මාන බලාපොරොත්තුවෙන් කටයුතු නොකළ ද සම්මානයක් හිමිවීම එය ලබන්නා තුළ ඇතිකරනුයේ මහා උද්යෝගයකි. සම්මානය හිමි නොවුණද ඒ වෙනුවෙන් නිර්දේශවීම ද එක්තරා ආකාරයකට සම්මානිතවීමකි.
පසුගිය කාල වකවානුව පුරා ශ්‍රී ලංකාව තුළ ද විවිධ සම්මාන උළෙල ප්‍රමානයක් සංවිධානය කෙරුණේ ය. ඒ අතරින් ක්‍රීඩා සම්මාන සුවිශේෂී ය. ශ්‍රී ලංකා ක්‍රිකට්, පාපන්දු මෙවන් ඇගයුම් උත්සවයක් සංවිධානය කර තිබූ ක්‍රීඩා පරිපාලනයන් ය. එම සම්මාන උළෙල සංවිධානය වෙනුවෙන් අලුතින්ම එක්වූයේ පාපන්දු සම්මේලනය ය. එය සැබැවින්ම ඇගයුම් කටයුතු උත්සහයකි.
එහෙත් සම්මාන උළෙලක් සංවිධානය කළ යුත්තේ ආවාට ගියාට නොවේ. එවැන්නක් සංවිධානය කළ යුත්තේ එය පවත්වන සාධු අරමුණු නිවැරදිව අවබෝධ කරගැනීමෙන් අනතුරුවය. එසේ නොමැතිව එවැනි සම්මාන උළෙල සංවිධනය කිරීම ගඟට ඉනි කැපූවාක් වැනි ය.
අප එසේ කියන්නේ ඇයි? අප විශ්වාස කරන ආකාරයට සම්මාන උළෙලකට අනිවාර්යයෙන් එක්විය යුතු කරුණු රාශියක් ඇත. ඒ අතරින් පළමු කොටම සම්මාන උළෙලක් සංවිධානය කිරිමේ තීරණයට එළැඹි පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුළ උනන්දුවක් ඇතිකිරීම නිසැකවම සිදුකළ යුතුය. දෙවැන්න වනුයේ එසේ සමාජය තුළ ඇතිකළ අවධානය අඛණ්ඩව පවත්වා ගැනීමට හා එය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ය.
තුන්වැන්න එකී සම්මාන සඳහා සියලු නිර්දේශයන් අපක්ෂපාතී භාවයෙන් සිදුකිරීම ය. සිව්වැන්න වනුයේ එසේ නිර්දේශවන තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳ උපරිම ප්‍රචාරණයක් ලබාදීමට ක්‍රියා කිරීමය. එසේම සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්විමද වැදගත්ය. එමගින් එවැනි සම්මාන උළෙලක සම්මානිතයෙක් වීම යනු මහා ගෞරවයක් බව ඒ සම්මානය ලබන්නා තුළ වර්ධනය වන ආකාරයට සම්මාන උළෙල පැවැත්වීම වැදගත්වන හෙයිනි. මෙතැනදී සම්මාන උළෙලේ උත්කර්ෂවත් භාවය වැදගත් යයි අප කියන්නේ එහි පවතින උණුසුම සමාජය තුළට කාන්දුකරවීමට එකී උත්කර්ෂවත් භාවය මනා රුකුලක් වන බැවිණි.
එසේම සම්මානය පාත්රවන කණ්ඩායම් සම්මාන ලැබූ බව සමස්ත ජන සමාජයම දැනගැනීමද වැදගත්ය. එසේ නොමැතිව සැඟවී සිට ලබාදෙන හා ලබාගන්නා සම්මාන වලින් ප්‍රයෝජනයක් නැත. එය කැලයට හඳ පායනවා වැනි වැඩකි.
තවත් ආකාරයකටද එය මෙසේ තේරුම්ගත හැක. සම්මානයට පාත්රවන්නා තුළ පවතින පුද්ගල අභිමානය තවත් වර්ධනය වන්නේත් එකී අභිමානය ඉවහල් කරගනිමින් ඔහු පෙරට වඩා දක්ෂතා දක්වන්නේත් එය උත්කර්ෂවත් හා ප්‍රමිතියෙන් උසස් සම්මාන උළෙලක් වන විටය, අදාළ සම්මානිතයා සම්බන්ධයෙන් වන සමාජ කීර්තිය තවදුරටත් ඉහළ යන්නේත් එකී සම්මානිතවීම සමාජයම දැනගන්නා විටය. එසේම එවැනි සම්මාන හිමිවීමක් පිළිබඳ දැනගන්නා ළමා, යොවුන් ක්‍රීඩකයන් තමන් ද එසේ අනාගතයේ යම් දිනක සම්මානිතවීමට ඉලක්ක ගතව හැසිරීමට පෙළඹේ. සම්මාන පිදීමක තවත් ප්රමුඛ අවශ්‍යතාවයක් ලෙස එයද සැලකිය හැකිය.
එසේ නොමැතිව සම්මාන උළෙලක් සංවිධානය කිරීම යනු තවත් එක් ව්‍යාපෘතියක් බවට පත්කරගැනීම ප්‍රයෝජනයක් නැත. එවැන්නක් සංවිධානය ජාත්‍යන්තරයෙන් මුදල් ගෙන්වා ගන්නා උපක්‍රමයක් වශයෙන් පමණක් සලකා කටයුතු කිරීමෙන් ඵලක් නැත.
එහෙත් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නිසා තමන්ට, තම හිතවතුන්ගේ පසුම්බියට යම් මූල්‍යමය වාසි ලැබෙන්නට ඉඩ තිබේ. එනමුදු එය ක්‍රීඩාව පාර්ශ්වයෙන් බලන කල එතරම් වැදගත් නොවේ. එහෙයින් සම්මාන උළෙල පැවැත්වීමත්, ඉන් අපේක්ෂා කරන අභිමතාර්ථ තේරුම් ගනිමින් කටයුතු කිරීමටත් සැමවිටම උත්සුක විය යුතුය. සම්මාන උළෙලක සංවිධායකයන් ද සම්මානිත වන්නේ හා ඉතිහාසගත වන්නේ එවිටය.