ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සියවස් සැමරුම් අර්ධ මැරතන් තරගය | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සියවස් සැමරුම් අර්ධ මැරතන් තරගය

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සියවසක් පිරීම නිමිතිකොට ගෙන පසුගිය සති අන්තයේ සංවිධානය කර තිබූ සියවස් සමරු අර්ධ මැරතන් තරගාවලියේ කාන්තා හා පිරිමි රන් පදක්කම් ද්විත්වය හා මුදලින් රුපියල් ලක්ෂයක් වූ මුදල දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

කිලෝ මීටර් 21 ක් දුරැති පිරිමි මැරතන් තරගය පැය 1 විනාඩි 05 තත්පර 02 කින් නිමා කළ ඉන්දියාව නියෝජනය කළ මැරතන් ක්‍රීඩක කාර්තික් කුමාර් රන් පදක්කම දිනා ගත් අතර, පැය 1 යි විනාඩි 16 තත්පර 06කින් තරගය නිමා කළ සංජීවම් බාවුරාවෝ යාදේව් කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා ය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ලෙස අද හැඳින්වෙන මෙරට මලල ක්‍රීඩා පරිපාලන ආයතනයට වසර 100ක් පිරිමි නිමිත්තෙන් මෙම තරගාවලිය සංවිධානය කෙරිණි. බත්තරමුල්ල

දියත උයන අසලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 දෙනකුගේ සහභාගිත්වය ඇතිව අර්ධ මැරතන් තරගාවලිය ආරම්භ විය. එය ඇතුල්කොට්ටේ හංදිය, සිරිකොත හංදිය, පාගොඩ පාර පසුකරමින් නුගේගොඩ සුපර් මාර්කට් හංදිය හරහා හයි-ලෙවෙල් පාර මහරගම, පන්නිපිටිය, බොරැල්ල පාර තලවතුගොඩ ඔස්සේ නැවත බත්තරමුල්ල හංදිය හරගා දියත උයනට පැමිණීමෙන් තරගය අවසන් විය.

ප්‍රධාන අර්ධ මැරතන් තරගාවලියට සමගාමීව කිලෝ මීටර් 5 ක දුර විවෘත කාන්තා, විවෘත පිරිමි හා පාසල් ළමුන් සඳහා බාලක, බාලිකා වශයෙන් තරග දෙකක් ද සංවිධානය විය.

ඉන්දියාව, නේපාලය හා මාලදිවයින නියෝජ-නය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සියවස් අර්ධ මැරතන් තරගාවලිය එක්ව සිටි අතර පිරිමි තරගයේ දෙවැනි ස්ථානය ද ඉන්දියාව නියෝජනය කළ ධර්මේන්ද්‍රර් දිනාගත්තේ ය. කාන්තා තරග ඉසව්වේ දෙවැනි ස්ථානය එම්.එස්.එම්.පී. පෙරේරා (ශ්‍රී ලංකා නාවික හමුදාව) දිනා ගත්තාය. පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය කේ. ෂන්මුගේෂ්වරන් (මහනුවර) දිනාගත් අතර, කාන්තා ඉසව්වේ තෙවැනි තැන එච්.එම්. සී. එස්. හේරත් (ශ්‍රී ලංකා යුද හමුදාව) දිනාගනු ලැබිණි.

මෙහි ජයග්‍රාහකයන් උදෙසා මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගින් පිරිනැමිණි. තරගයේ පස්වැනි ස්ථානය දක්වා ජයග්‍රහකයන් උදෙසා මුදලින් රුපියල් 50000 දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමට තරගාවලියට අනුග්‍රාහකත්වය පිරිනෑමු නෙස්ලේ ලංකා ආයතනය කටයුතු සම්පාදනය කර තිබිණි.

සියවස් අර්ධ මැරතන් තරගයට සමගාමීව කිලෝමීටර් 5ක් දුර විවෘත මාර්ග ධාවන තරගයක්ද පැවැති අතර පාසල් ලමුන් සඳහා ද තගරවලියක් සංවිධානය විණි. කාන්තා විවෘත මාර්ග ධාවන තරගයෙන් ලෙසා විල්ටන් (කොළඹ නයිට් රන්) ජය ගත් අතර විවෘත පිරිමි මාර්ග ධාවන තරගයෙන් ජය ලැබූයේ ටී.ජී. අර්.එම්.එස්. නෙරංජන් (ශ්‍රී ලංකා පොලිසිය) ය.

පාසල් ළමුන් සඳහා සංවිධානය වූ මාර්ග ධාවන තරගයෙන් බාලිකා තරග ඉසව්වෙන් මීගමුව, නිමල මරියා මහා විද්‍යාලයේ ඕෂධිනි නිලුමිකාටත් බාලක තරග ඉසව්වෙන් ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ දුලක්ෂ මධුෂාන්ටත් ජය හිමි විණි.

පිරිමි අර්ධ මැරතන් තරග ප්‍රතිඵල

1 කාර්තික් කුමාර්- පැය 1:05.02 (ඉන්දියාව), 2 ධර්මේන්ද්‍රන් - පැය 1:07.15 ( ඉන්දියාව),

3 කේ. ශර්මුගේෂ්ස්වරන් - පැය 1:07.28 (මහනුවර), 4 ධනුෂ්ක සඳරුවන් - පැය 1:07.35 (යුද හමුදාව), 5 ඩී.ජී.ඩී. සඳරුවන් - පැය 1:07.59 (යුද හමුදාව)

කාන්තා අර්ධ මැරතන් තරග ප්‍රතිඵල

1සංජීවම් බාවුරාවෝ යාදේව් -පැය 1:16.06( ඉන්දියාව), 2 එම්.එම්.එම්. පී. පෙරේරා -පැය 1:19.48( නාවික හමුදාව), 3 එච්.එම්.සී.එස් හේරත් - පැය 1:21.00 (යුද හමුදාව), 4 නිසංසලා බණ්ඩාර - පැය 1:13.39 (යුද හමුදාව), 5 එම්.ඒ. එන්.කේ. ප්‍රනාන්දු - පැය 1:23.39 ( නාවික හමුදාව)

මාර්ග ධාවන තරගය කිලෝ මීටර් 5 කාන්තා

1 ලෙසා විල්ටන් (කොළඹ නයිට් රන්) විනාඩි 22.30, 2 ඩබ්ලිව්.කේ. රත්නා කුමාරී ( ඩී.එස්. සේනානායක) විනාඩි 22.34, 3 ඉරේෂාද සොයිසා (කොළඹ නයිට් රන් ) විනාඩි 23.14

මාර්ග ධාවන තරගය කිලෝ මීටර් 5 පිරිමි

1 ටී.ජී. අර්.එම්.එස්. නෙරංජන් (පොලිස්) විනාඩි 16.12, 2 මොහොමඩ් හනිෆා රිසා (ටොරින්ටන් ක්‍රී.ස.) විනාඩි 17.28, 3 ඩී.බී. සුරංග ( කොළඹ නයිට් රන්) විනාඩි 17.36

මාර්ග ධාවන තරගය කිලෝමීටර් 5 පාසල් (බාලිකා)

1ඕෂධිනි නිලුමිකා (නිමල මරියා බාලිකා මහා විද්‍යාලය මීගමුව) විනාඩි 15:35.01, 2 අයේෂා සඳනි (කුලියාපිටිය තලකන්දගම මහා විද්‍යාලය) විනාඩි 15:42.03, 3 රශ්මී අමන්දා (පන්නිපිටිය ධර්මපාද විද්‍යාලය) විනාඩි 15:56.04

මාර්ග ධාවන තරගය කිලෝමිටර් 5 පාසල් (බාලක)

1 දුලක්ෂ මධුෂාන් ( ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය) විනාඩි 14:03.01, 2 විහග ප්‍රමේද් ( සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඳාන) විනාඩි 15:04.07, 3 අනුෂ්ක ලක්ෂාන් (ශ්‍රී ඥානෝදය මහා විද්‍යාලය දිවුුලපිටිය) විනාඩි 15:14.05

 

Comments