මහත්වරුන්ගේ ක්‍රිකට් පිත්ත අහිංසක නෑ | සිළුමිණ

මහත්වරුන්ගේ ක්‍රිකට් පිත්ත අහිංසක නෑ

 

ක්‍රිකට් පිත්ත ක්‍රිකට් ක්‍රීඩාවේ අත්‍යාවශ්‍ය අංගයක්. පිත්තක් නැතිව ක්‍රිකට් ක්‍රීඩා කරන්න බෑ. නමුත් ලෝක ඉතිහාසයේ ක්‍රිකට් පිත්තක් පිළිබඳ සඳහන් වී ඇති ඉපැරැණි ම සාක්ෂිය වාර්තා වන්නේ 1624 දී යි. එය මරණ පරීක්ෂණ වාර්තාවක් ආශ්‍රිතවයි.

ක්‍රිකට් පිත්තකින් පහර දී පන්දු රකින්නෙක් ඝාතනය කළ සිද්ධි-යක මරණ පරීක්ෂණ වාර්තාවක ක්‍රිකට් පිත්ත පිළිබඳ ව පළමු සටහන වාර්තා වී තිබෙනවා. ඒ කාලයේ භාවිත කළ ක්‍රිකට් පිත්ත වර්තමානයේ හොකී ක්‍රීඩාව සඳහා භාවිත කරන පිත්ත හා සමාන හැඩයක් ගෙන තිබුණා. එම හැඩයේ පිත්තක ජීවමාන සාක්ෂියක් අදටත් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණ මණ්ඩපයෙහි දැක ගත හැකියි. අදාළ පිත්ත අවසන් වරට භාවිත කර ඇත්තේ 1729 වසරේ දී යි. ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජෝන් චිටී එම පිත්තෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වී තිබෙනවා.

1770 වසර වන විට ක්‍රිකට් පිළි-බඳ පැවැති නීති රීති යම් යම් වෙන-ස්කම්වලට භාජනය වුණා. ඒ අනුව සම්මත ක්‍රිකට් පිත්තේ පළල අඟල් 4.25 ක් ලෙස තීරණය කෙරුණා. ඊට පෙර පිත්තේ පළල ලෙස ගැනුණේ ක්‍රීඩා තරගයට භාවිත කරන කඩුල්ලක පළලයි.

ඇතැම් විට අඟල් 7-8 ක පළලකින් යුතු විශාල පිති භාවිත කරන්නටද ක්‍රි.ව. 1700ට පෙර කටයුතු කර තිබුණා. නමුත් එවකට ක්‍රිකට් පිත්තේ පළල පිළිබඳ ව නිශ්චිත අගයක් නියම කෙරුණත්, පිත්තේ දිග සහ හැඩය ආදිය පිළිබඳ ව නිශ්චිත රීතියක් නියම කෙරුණේ නැහැ.

1800 වන විට ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තය සහ එංගලන්තයේ යටත් විජිත රටවල ටිකෙන් ටික ජනප්‍රියත්වයට පත් වුණා. ඒත් සමඟම ක්‍රිකට් පිත්තේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණා. මේ වන විට ප්‍රමිතිගත ක්‍රිකට් තරග සඳහා භාවිත කරන පිති සියල්ලක් ම පාහේ නිර්මාණය වූයේ විලෝ ලීයෙනුයි. විලෝ ලීය කියන්නේ වර්තමානයේ පවා ක්‍රිකට් පිති නිර්මාණය කරන්නට භාවිත කරන සුලබ ම ලී වර්ගය යි.

1800 දී ක්‍රිකට් පිත්ත ඉහළට නෙරූ ආකාරයෙන් නිර්මාණය කළ යුතු යැයි කතිකාවක් මතු වුණා. වර්තමාන ක්‍රිකට් පිත්තේ හැඩයට අනුව පිති සැකසීම ඇරඹුණේ ඒ අනුවයි. ඊට පෙර ක්‍රිකට් පිත්තෙහි පෘෂ්ඨය සමතල ස්වරූපයක් ගත්තා.

1835 වසරේ දී ප්‍රමිතිගත ක්‍රිකට් පිත්තක දිග අඟල් 38 ක් විය යුතු යැයි සම්මතයක් පැනවුණා. ක්‍රිකට් පිත්තේ මිටට ස්ප්‍රින් එකක් සවි කරනු ලැබුවේද එම කාලයේ දී යි. ඒ රබර්, වේවැල් හෝ වැල්බෝන්වලින් ස්ප්‍රිින් එක සකසා ගැනීම සිදු වූවා.

20 වැනි සියවසේ දී ක්‍රිකට් පිත්තේ හැඩය, ප්‍රමාණය පිළිබඳ ව සුළු සුළු වෙනස්කම් සිදු කෙරුණා. අද වන විටත් ප්‍රමිතිගත ක්‍රිකට් පිත්ත දිග අඟල් 38 ක ට නොවැඩි විය යුතුයි. ඒ වගේම පිත්තේ පළල අගල් 4.25 ක ට නොවැඩි විය යුතු බවත් පිත්තේ ගැඹුර අඟල් 2.64 ක ට වැඩි නොවිය යුතු බවටත් වන පිළිගැනීමේ වෙනසක් නැහැ.

විවිධ කාලවල දී ලොව විවිධ රටවල ක්‍රීඩකයන් විසින් භාවිත කරන ලද පිති නිසා ඇති වූ මතභේද බොහෝමයි. 1979 වසරේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩෙනිස් ලිලී විසින් ඇලුමිනියම් ලෝහ මිශ්‍ර පිත්තක් භාවිත කළ අතර එතුළින් පන්දුව පළුදු වන බවට චෝදනා එල්ල කෙරුණා. එම චෝදනාව සාවද්‍ය යැයි ඔප්පු වූ නමුත් ඊට ටික කලකට පසුව ලීවලින් පමණක් ක්‍රිකට් පිත්තක පෘෂ්ඨය නිමවිය යුතු යැයි නීතියක් සම්මත වන්නට එම සිද්ධිය හේතු වුණා.

2005 වසරේ දී රිකී පොන්ටින් භාවිත කළ කාබන් සහ ෆයිබර් මුසු පිත්තක්ද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා රීති අනුව නීති විරෝධී යැයි මතභේදයක් ඇති වුණා. අයිසීසීය විසින් එම චෝදනාව සනාථ කළ අතර එම පිත්ත නිමවූ ආයතනය නැවතත් එම ආකාරයේ පිති නිර්මාණය නොකරන්නටද වගබලා ගත්තා.

ගිනස් වාර්තා වෙනුවෙන් ක්‍රිකට් පිති සකසන්නටත් ඇතැම් ක්‍රීඩා සංවිධාන කටයුතු කර තිබෙනවා. ඉන්දියාවේ ක්ලැසික් මාල් සංවර්ධන සමාගම විසින් සාදන ලද අඩි 52ක් උසැති ක්‍රිකට් පිත්ත, ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ සවි කර ඇති අඩි 100 ක් උසැති පිත්ත ඒ ආකාරයෙන් ගිනස් වාර්තා පොතට ගිය අපූරු ක්‍රිකට් පිති දෙකක්.

 

Comments