පාපන්දු සම්මාන උළෙල වසරේ විශිෂ්ටයන් ඇගැයුම් ලැබූ රාත්‍රියක් | සිළුමිණ

පාපන්දු සම්මාන උළෙල වසරේ විශිෂ්ටයන් ඇගැයුම් ලැබූ රාත්‍රියක්

ලෝක ජනගහනයෙන් වැඩි ම පිරිසක් නිරතවන ක්‍රීඩාව මෙන්ම ලොව ජනප්‍රියත ම ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ පාපන්දු ක්‍රීඩාව බව අවිවාදිත ය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව සෑම රටක ම පාහේ කුඩා තරුණ වැඩිහිටි සෑම දෙනාගේ ම ආදරයට මෙන් ම ගෞරව බහුමානයට පාත්‍ර වූ ක්‍රීඩකයෝ බොහෝ වෙති. එම ක්‍රීඩකයින් අතරේ විශිෂ්ටත්වයට පත් අය රැසක් ලෝකයේ ඉහළ ම ධනස්කන්ධයකට හිමිකම් කියන බවද නොරහසකි. අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට සාර්ථකව මුහුණ දෙමින් එම තත්ත්වයට පත්වූ බව බොහෝ ක්‍රීඩකයන්ගේ අතීත තොර-තුරු විමසා බැලීමේ දී පෙනෙන්නට තිබෙන පොදු ලක්ෂණයකි. එවන් දක්-ෂතා සපිරි ක්‍රීඩකයන්ගේ හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන් ජාත්‍යන්තරයට රැගෙන යෑමට උත්සුක වූ පාපන්දු පරිපාලකයින් එරට තුළ සිටීම ද ඒ අතර සුපැහැදිලි තත්ත්වයකි.

සැලසුමක් සහිත නිවැරැදි දැක්මක් ඇතිව අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් මෙරට පාපන්දුව ද ජාත්‍යන්තර තලයේ ඉහළින් තැබී-මට හැකිවනු නිසැක ය. ඒ සඳහා නිලධාරීන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ ද උනන්දුව සහ උද්යෝගය මෙන් ම කැපවීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා යන ගමනේදී ක්‍රීඩකයන් මෙන්ම නිලධාරීන් ද පරිපාලකයන් ද ඇගැයීමට ලක් කිරීම වැදගත් ය. එවන් කාලෝචිත අවස්ථාවක් පසුගිය සතියේ මෙරටින් ද දැක ගැනීමට හැකි විය.

කීර්තිමත් අතීතය සහ පරාජයේ වේදනාවට අභියෝග කරමින් නැඟී-සිටින වර්තමානය එකතු කරමින් ශ්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට සංවිධානය කෙරුණු පාපන්දු ක්‍රීඩක වර්ණ ප්‍රදානය ඉකුත් සතියේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ග්‍රෑන්ඩ් මොනෑක් හෝටලයේ දී උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කර තිබුණේ මෙරට පාපන්දුවේ සුබදායි අනාගතයක පෙර මඟ සලකුණු ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර කෙළිබිමේ දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් හට ශ්‍රී ලංකා පාපන්දු වර්ණ පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණු අතර එය අපේ ජාතික ක්‍රීඩකයන් බොහෝ කලක පටන් තිබූ බලාපොරොත්තුවක ඵල දැරීමකි. සතුටු කඳුළු වැගුරූ හැඟීම්බර අවස්ථාවක් ලෙස ක්‍රීඩකයන් වෙතින් එය දැක ගන්නට හැකි වීම කැපී පෙනුණි .

ඉකුත් වසරේ ජුනි මස දකුණු කොරියාවේ දී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට සහ ඔක්තෝබර් මස බංග්ලාදේශයේ දී පැවති දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය හෙවත් සාෆ් ශූරතාවලිය මෙන්ම නොවැම්බර් මස කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරැණි තුරඟ තරග පිටියේ දී පැවති

"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභි-යෝග කුසලාන" පාපන්දු තරගාවලියට එක් වෙමින් කැපී පෙනුණු ක්‍රීඩකයන් වෙත මෙහි දී ශ්‍රී ලංකා පාපන්දු වර්ණ ප්‍රදානය කෙරුණේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඩ් -19 තත්ත්වය මත දෙවසරකින් කල් දමන්නට යෙදුණු සාර්ක් රන් කුසලාන ජයග්‍රහණයේ "රිදී ජුබිලිය" සමරමින් 1995 වසරේ කොළඹ දී පැවැති දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනුණු සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අගයමින් මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබීම එහි දී ඉහළ අගයක් ගත්තේ ය.

මේ අතරවාරයේ මෙරට පාපන්දු ඉතිහාසයේ වැඩි ම ත්‍යාග මුදල වෙනුවෙන් ක්‍රියාත්මක කළ සුපර් ලීග් ක්‍රීඩා සමාජාන්තර පාපන්දු තරගාවලියේ ශූරතාව තහවුරු කර ගත් කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට හිමි මිලියන 05 (රුපියල් 5.000.000/=) ක මුදල පිරිනැමිණි.

අනු ශූරයන් වූ සී හෝර්ක්ස් පිලට රුපියල් 3.500.000/= ක් ද තෙවැනි ස්ථානයට පත් කොළඹ පාපන්දු සමාජය ට රුපියල් 2.750.000 /= ක් ද සිව් වැනි ස්ථානයට පත් කොළඹ රිනවුන් ක්‍රීඩා සමාජයට රුපියල් 2.500.000/= ක් ද 05 වැනි ස්ථානය ට පත් නාවලපිටිය අප් කන්ට්‍රී ලයන්ස් පිල ට රුපියල් 2.250.000/= ක් ද 06 වැනි ස්ථානය ට පත් පානදුර රෙඩ් ස්ටාර්ස් සමාජය ට රුපියල් 2.000.000/= 07 වැනි ස්ථානය ට පත් ඩිෆෙන්ඩර්ස් සමාජය ට රුපියල් 1.750.000/= ක් ද

08 වැනි ස්ථානය ට වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය ට රුපියල් 1.500.000/= ක් ද 09 වැනි ස්ථානය ට පත් කොළඹ රත්නම් සමාජයට රුපියල් 1.250.000/= ක් ද 10 වැනි ස්ථානය ට පත් බ්ලූ ඊගල්ස් සමාජයට රුපියල් 1.000.000/= ක් ද බැගින් පිරිනමමින් වත්මන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නව වාර්තාවක් ද බිහි කළ අතර එය අනාගත මෙරට ක්‍රීඩා සමාජ හා පාපන්දු ක්‍රීඩකයන් වෙත සිදු කළ අභිප්‍රේරණයකි.

මෙවර සුපර් ලීග් තරගාවලියේ දී ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව ගෝල් 10 ක් ලබා ගනිමින් විශිෂ්ටත ම ආක්‍රමණික ක්‍රීඩකයා වීමට ෂෙනාල් සංදේශ් ට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස "ගෝල්ඩන් බූට්" සම්මානය මෙන්ම තරගාවලියේ විශිෂ්ටත ම ක්‍රීඩකයා ලෙස ද ද්විත්ව තිළිණ ලබන්නට කළුතර බ්ලූ ස්ටාර්ස් පිල නියෝජනය කළ ෂෙනාල් සංදේශ් ට හැකි විණි.

මෙවර තරගාවලියේ දක්ෂත ම දැල රකින්නා ලෙස සී හෝර්ක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ උදයංග පෙරේරා ට "ගොල්ඩන් ග්ලව්" සම්මානය හිමි විය.

අනාගත බලාපොරොත්තු තැබිය හැකි යොවුන් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීමට කළුතර බ්ලූ ස්ටාර්ස් පිල නියෝජනය කළ 17 හැවිරිදි මොහොමඩ් ඉෂාන් ට හැකි විය.

කළුතර බ්ලූ ස්ටාර්ස් සමාජය ට ආරම්භක සුපර් ලීග් ශූරතා කුසලානය දිනා දීමට මඟ පෙන්වූ රාජමනී දේව-සගායම් මහතා ට දක්ෂත ම පුහුණුකරු සම්මානය ප්‍රදානය කෙරුණි.

සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ දක්ෂතම විනිශ්චකරු ලෙස ජාත්‍යන්තර විනිසුරු තරංග පුෂ්පකුමාර මහතා සම්මාන ලැබූ අතර දක්ෂතම සහාය විනිශ්චයකරු ලෙස ජාත්‍යන්තර සහාය විනිසුරු බුද්ධික ඩයස් මහතා තිළිණ ලැබීය.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර්, එහි ලේකම් උපාලි හේවගේ ප්‍රමුඛ විධායක කමිටුවේ සාමාජික මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

Comments