පාපන්දු කිරුළ හිමි කර ගන්න බෙල්ජියම් සැලසුමේ එංජිම | සිළුමිණ

පාපන්දු කිරුළ හිමි කර ගන්න බෙල්ජියම් සැලසුමේ එංජිම

 

බෙල්ජියම යුරෝපයේ පිහිටා ඇති ජනගහනය අඩු රටවලින් එකක්. ඇත්තෙන්ම ලෝකයේ වැඩි ම ජනගහනය සහිත රටවල් අතර බෙල්ජියම තියෙන්නේ 82 වැනි ස්ථානයේ යි. දළ වශයෙන් මිලියන 11ක ජනගහනයක් සහිත රටක් විදියට තමයි බෙල්ජියම හඳුන්වන්න පුළුවන්. පුංචි දූපතක් වුණත් ශ්‍රී ලංකාව මිලියන 20කට වැඩි ජනගහනයක් සහිත රටක්. ලංකාව තියෙන්නේ ලෝකයේ 57 වැනි ස්ථානයේ යි.

ජර්මනිය, ප්‍රංශය හා නෙදර්ලන්තය කියන රටවලට මායිම් වෙලා තමයි බෙල්ජියම පිහිටලා තියෙන්නේ. ඔය රටවල් තුන ම ලෝක ප්‍රකට වෙලා තියෙන්නේ පාපන්දු ක්‍රීඩාවත් සමඟයි. එහෙම වුණත් මේ වන විට නම් පුංචියි කියලා නෑ. බෙල්ජියම තමයි පාපන්දු ක්‍රීඩාවෙන් ලෝකයේ අංක එකට ශ්‍රේණි ගත වෙලා තියෙන්නේ.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල බෙල්ජි-යම 71 වැනි ස්ථානය දක්වාත් පහළට ගිහින් තිබුණ රටක්. තමන්ගෙ රටේ සත්කාරය ඇතිව අන්තර්ජාතික පාප-

න්දු තරගාවලියක් පැවැත්වීමේ අවස්-ථාව බෙල්ජියමට 2000 වසරේ දී හිමි වුණා. ඒ වන විට ඔවුන් 30 වැනි ස්ථානයේ තමයි රැඳී සිටියේ. ඒ නිසා එම යුරෝපීය පාපන්දු ශූරතාවට සත්-කාරය ලබාදීමට ලැබීමෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔවුනට අවශ්‍ය වී තිබුණා.

එම තරගාවලියට ආකර්ෂණීය සත්-කාරයක් ලබාදෙන්න බෙල්ජියමට හැකි වුණා. නමුත් ඔවුන්ගේ ජා-තික කණ්ඩායමට නම් ඒ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරිව ගියා.

තරගාවලියේ සමාරම්භක උත්ස-වය ඇරඹුණේ කිංග් බවුඩොයි ක්‍රීඩාංගණයේ අහස් කුස සුදු පැහැති බැලුම් දහස් ගණනකින් අලංකාර කරමිනුයි. එහෙත් ඉන් හරියටම දින නවයකට පසු බෙල්ජියමට ඉතිරි වී තිබුණේ සත්කාරය ලබාදීමේ ගෞරවය පමණයි. එරට පාපන්දු උන්මන්තකයින් දැඩි සේ කලකිරීමට පත් කරමින් බෙල්ජියමට මූලික වටයෙන් ම ඉවත් වීමට සිදුව තිබුණා.

ලෝකයේම අවධානය බෙල්ජියම පාපන්දු ක්‍රීඩාව වෙත යොමු කරවා ගන්නට ලැබුණු වටිනාම අවස්ථාව ඔවුනට මඟ හැරී ගියේ එලෙසයි. නමුත් වැටුණු පසු නැගිටීමට උත්සාහ කිරීම මිස ලතවෙවී කාලය කා දැමීම අවැඩක් ලෙස සලකා අත් වූ ඒ පරාජයම ජයග්‍රාහී ගමනට ආශිර්වාදයක් බවට පත් කර ගන්නට එරට පාපන්දු බලධාරීන් නොපමාව පියවර ගත්තා.

බෙල්ජියම් ජාතික පිලේ තාක්ෂණික අධ්‍යක්ෂක මයිකල් සැබ්ලොන් ඒ සඳහා පියවර ගෙන තිබුණේ පසුදා සිට ම ය.

යොවුන් ක්‍රීඩකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ඔහු ඔවුනට පුහුණුව ලබාදීම ඇරඹීමට සුදුසුම වේලාව පෙරවරු 09.00 බව තීරණය කළේ ය. ඒ වගේම එතෙක් පවත්වා තිබූ යොවුන් පාපන්දු තරගාවලි රැසක්ම විමර්ශනය කිරීමට ද ඔහු උත්සුක විය.

අනතුරුව දීර්ඝ කාලීන සැලැස්මක් සැකසූ සැබ්ලොන් එය යම් යම් අදියරයන් හිදී අසාර්ථක වුවත් දිගටම ක්‍රියාත්මක කිරීමට ද තීරණය කරනු ලැබුවා.

රට තුළ සිටින සෑම තරාතිරමකට ම අයත් පුහුණුකරුවන් අතරින් 70 දෙනෙකු මේ කටයුත්තට ඔහු සම්බන්ධ කර ගත්තා. ඔවුන් සියලු දෙනා එකතු වී තම තමන් සතු දැනුම මිශ්‍ර කොට කාලීන වැදගත් කමකින් යුත් ඉදිරිපත් කිරීම් 120ක්ම නිර්මාණය කළා. එම මූලික කටයුතු සඳහා පමණක් ඔහුට වසරක පමණ කාලයක් වැය වුණා.

රට තුළ ක්‍රියාත්මක වූයේ ක්‍රීඩා සමාජ දුසිම් දෙකක පමණ සංඛ්‍යාවක්. ඒ නිසා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට එම කණ්ඩායම් සියල්ලන්ම ඒකරාශී කර ගැනීම ද සැඩ්ලොන්ට අසීරු වුණේ නැහැ. බෙල්ජියමට පාපන්දු ක්‍රීඩාවේ විජයග්‍රාහී ඉතිහාසයක් නොතිබුණු බැ-වින් බලාපොරොත්තු වන කඩඉමට ළඟා වන තුරු කිසිවකුගේ අවධානයක් ලක් නොවී සිටීමේ වාසනාවද ඔවුනට තිබුණා.

ඔහු වැඩ අරඹන ලද්දේ රොබෙලු ලුකාකු, ඒවන් නසාඩ්, කවින් ඩී බෘයින් ඇතුළු අවුරුදු 10 නොයික්ම වූ දරුවන් පිරිසක් ද එකතු කර ගනිමිනි.

එහිදී අතර මඟ කඩා වැටීම්වලටද මුහුණ දෙන්න ඔවුනට සිදු වුණා. 2003 වසරේ 16 වැනි ස්ථානයේ සිටි බෙල්ජියම 2007 දී 71 දක්වා ඇද වැටී 2010 වන විට 48 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

දීර්ඝ කාලීන සැලසුමක හොඳ ප්‍රතිඵල අත්විඳිය හැක්කේ ප්‍රමාදයන් ද සහිත ව ය. ඒ නිසා ඉවසීම අතිශය වැදගත් ය. ඔවුන් කිසිම වි‍ෙටක ආපසු හැරුණේ නැත. ඒ නිසා 2014 වසරේ පළමු වරට ඔවුන් අංක එක හිමි කර ගත්තා. 2016 වසරේ අංක 02 දක්වාත් 2018 වසරේ අංක 03 දක්වාත් පහළට ගියත් එතැන් සිට මේ දක්වා යළිත් අංක එකේ රැඳී සිටින්නට බෙල්ජියමට හැකියාව ලැබුණා.

අවසන් වියේ දී ජාතික පිලට එක් වූ රොමේරු ලුකාකු අද එරට වැඩිම ගෝල ලාභියාය. ලෝකයේ සිටින හොඳම ආක්‍රමණිකයාය. තරග 101 දී රට නියෝජනය කර ඇති ඔහු ගෝල් 68ක්ම වාර්තා කර ඇත. ඔහුට අමතරව ඒඩන් හසාට්, තිබෝට් කර්ටොයින්, කෙවින් ඩී බෘනින්, යුරී ටියල්මන්, චිචී බැට්පුහායි, චෙච්රික් බොයාටා එරට ජාතික කණ්ඩායමට එක්ව සිටින 90 දශකයේ උපන් ප්‍රබල ක්‍රීඩකයින්ය.

මයිකල් සැබ්ලොන් බෙල්ජියම් සාම්ප්‍රදායිකව තරග වැදුණු 4 - 4- 2 සමඟ දැල් රකින්නා ක්‍රමය බැහැර කළා. ඒ වෙනුවට ආක්‍රමණය හා ආරක්ෂාව සම්මිශ්‍රණය කොට 4-3-3 සමඟ දැල් රකින්නා ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලැබුවා.

අද වන විට යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින් අතරින් සියයට 50ක් ම බෙල්ජියම් ක්‍රීඩකයින්.

එසේම පසුගිය වසර 10 තුළ බෙල්ජියම පාපන්දු කණ්ඩායමේ වටිනා කම ද පස් ගුණයකින් ඉහළ ගොසින්. මෙම සැලසුම ආරම්භ කරන විට යුරෝ මිලියන 140ක වටිනාකමක් තිබූ එරට ජාතික පිලට 2018 වසර වන විට යුරෝ මිලියන 750 ඉක්මවන වටිනාකමක් ලැබුණා.

අදාළ සැලසුම් ක්‍රියාත්මක කළ දිනයේ සිට මේ දක්වාම එය කඩාකප්පල් කරන්නට කිසිවකු හෝ මැදිහත් වී නෑ. චෝදනා දෝෂ දර්ශන එල්ල වීමක් ද අසන්නට වත් නෑ.

දැන් ඔවුන් කළ යුත්තේ වැටෙන්නට නොදී රැකෙන්නට අවැසි සැලසුම් ක්‍රියාත්මක කිරීම යි.

 

Comments